2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

ගමේ පාසලට යන බස් පුස්තකාල

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

රෝද හතරක් උඩ පොතක් කියවන පුස්තකාලයක් නුහුරු විය හැක. නමුත් ඈත දුෂ්කර ඇතැම් පාසල්වලට අඩුපාඩුවක්ව පැවතෙන පුස්තකාල පහසුකම් සපුරාලන්නට අතහැර දැමූ දිරාපත් වුණ ධාවනය කළ නොහැකි ලංගම බස් රථයකට හැකිවන්නේනම් එය අනාගත දරු පරපුරට නම් කොතරම් අපූරු අත්දැකීමක්ද?

සුනාමි ව්‍යසනයෙන් මුහුදුබඩ බොහෝ පාසල් විනාශ වෙද්දී පුස්තකාල පොත්පත් සියල්ල මුහුදේ ගැඹුරු පත්ලට ගසාගෙන යනු ලැබීය. ඒ නිසාවෙන් ඇතැම් එවැනි මුහුදුබඩ පාසල් කළේ අබලන් වූ අතහැර දැමූ බස්රථ නැවතත් පිළිසකර කර පුස්තකාල බවට පරිවර්තනය කර ගැනීමය. ඒ අනුව බස් පුස්තකාල සංකල්පය රටට හඳුන්වා දෙනු ලැබීය. මුහුදුකරය ආශ්‍රිත පාසල් කිහිපයකට මෙම බස් පුස්තකාල සේවය එකල ලැබුණි. නමුත් යම් යම් පරිපාලන ගැටලු හේතුවෙන් මෙම බස් පුස්තකාල ව්‍යාපෘතිය එතරම් සාර්ථක නොවීය.


රටට සංකල්පය අලුත් දෙයක් නෙවේ. සුනාමියෙන් වෙරළට ගසාගෙන විනාශ වුණ පාසල් පුස්තකාල වෙනුවෙන් රජයෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන එකතු වී මෙලෙස බස් පුස්තකාල ලෙස නිපදවා පාසල් වෙත ලබා දී තිබුණා. නමුත් පරිපාලන ගැටලු හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. මේ අතරේදී මෑතකදී ජනාධිපතිතුමා මැදිරිගිරිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙද්දී පාසල් දැරියක කළ ඉල්ලීමක් හේතුවෙන් නැවතත් මෙම ව්‍යාපෘතිය මෙලෙස ආරම්භ වුණා. යැයි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන දේශයට අදහස් දක්වමින් පැවසීය.

පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ බොහෝ පැති සංචාරය කරමින් ජනතාවගේ ගැටලු පිළිබඳව සොයාබැලීය. ජනතාව බොහෝ ගැටලු පැවසූහ. මැදිරිගිරිය ප්‍රදේශයේදී පාසල් දැරියක් ජනාධිපතිතුමන්ගෙන් තම පාසලට පුස්තකාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය. ඒ වනවිටත් ඉතා දුෂ්කර පාසලක් වූ එම දැරියගේ පාසලට පුස්තකාල පහසුකමක් තිබුණේ නැත. දැරියගේ ඉල්ලීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් ජනපතිවරයා අබලන්ව පැවති පාවිච්චියට නොගත හැකිව අතහැර දමා තිබූ තට්ටු දෙකේ බස් රථයක් නැවත අලුත්වැඩියා කර එය බස් පුස්තකාලයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව පාසල් දැරියගේ ඉල්ලීමට ඉතා කඩිනමින් පිළිතුරක් ලැබුණු අතර ඇයගේ පාසලට බස් පුස්තකාලයක් තෑගි ලැබුණේය.

මෙම ව්‍යාපෘතිය මෙයින් නතර නොවන්නට අවශ්‍ය උපදෙස්ද ජනාධිපතිවරයාගෙන් අදාළ නිලධාරීන්ට ලැබීමද සුවිශේෂීකමකි. ලංකාවේ දුෂ්කර පාසල් බොහෝමයකින් නාගරික පාසල්වල දරුවන් වර්තමානයේදී අන්තර්ජාලය ඔස්සේ අවශ්‍ය දැනුම පාසලේදී හුවමාරු කරගනිද්දී කියවන්නට පොතක් නැති පොතක් කියවන්නට තැනක් නැති දුෂ්කර පාසල් බොහෝමයක් අදටත් මේ දුෂ්කර ගම්මානවල පවතී. එවැනි දුෂ්කර පාසල් බොහෝමයකට අදටත් පුස්තකාල පහසුකම් නැත.

මේ අනුව නැවත භාවිතයට ගත නොහැකි අබලන් වූ බස් රථ විසි පහක් නැවත ප්‍රතිනිර්මාණය කර පුස්තකාල ලෙස දුෂ්කර පාසල් වෙත ලබාදීමට කටයුතු සූදානම් විය. ඔක්තෝබර් පළවැනිදාට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කළ මුල්ම බස් පුස්තකාල පහ දිස්ත්‍රික්ක පහකට ලබාදීමට සූදානම් වෙමින් පවතී. ඉතිරි බස්රථ විස්ස පුස්තකාල පහසුකම් රහිත දුෂ්කර පාසල් විස්සකට ඉදිරියේදී ලබාදීමටත් කටයුතු කෙරෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වනවිටත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම සංවේදී මිනිසුන්ගේ අනුග්‍රහයද ලැබෙයි. සතියක් පුරා සාහිත්‍ය සතිය වෙනුවෙන් පැවති පොත් ප්‍රදර්ශනයේදී සංවේදී හිත් ඇති බොහෝ පුද්ගලයෝ පොත් මිලදීගෙන මෙම මහඟු ව්‍යාපෘතිය වෙනුවෙන් පොත් තිළිණ කළහ.

මුලින් මේ අබලන් වුණ බස්රථ යකඩවලට තමයි විකුණලා තිබුණේ. යකඩවලට වුණත් විශාල බරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් මේ අබලන් වූ බස්රථ යොදවන්න අපි කැමති වුණා. පුස්තකාල වගේම කාර්යාල සඳහාත් මේ අබලන් වුණු බස්රථ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ජනාධිපතිතුමන්ගෙන් පාසල් දැරියක් කළ ඉල්ලීමකට අපි බස් රථයක් ප්‍රතිනිර්මාණය කරලා පුස්තකාලයක් ලෙස ලබා දුන්නා. පසුගියදා දිනෙක පුස්තකාල මණ්ඩලය ඇතුළු අනුග්‍රාහකයන් කිහිපදෙනකු අපෙන් මෙවැනි අබලන් බස්රථ පාසල් පුස්තකාල සඳහා ලබාදෙන්නයැයි ඉල්ලීමක් කළා. අපිට විතරක් මෙම අබලන් වුණු බස්රථ ප්‍රතිනිර්මාණය කරන්න අමාරුයි. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. ඒ සඳහා අනුග්‍රාහක ආයතන කිහිපයක්ම තම කැමැත්ත පළකර තිබුණා. ඒ අනුව අපි එවැනි අබලන් වූ බස්රථ ලබාදීමට තීරණය කළා. මේ වනවිට බස්රථ පහක් ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා. එවැනි අබලන් වූ බස්රථ දෙසීයක් පමණ තියෙනවා. පාසල් බස්රථ සඳහා මේ වනවිට විසිපහක් පමණ වෙන් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ ඉල්ලීම් ලැබෙන පරිදි ඉතිරි බස්රථ ප්‍රතිනිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. යැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක දේශයට අදහස් දක්වමින් පැවසීය.

ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් පළවැනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමු අදියරේ මුල් බස් පුස්තකාල පහ එම දුෂ්කර පාසල්වලට තිළිණ කිරීමට සූදානම් වේ. මෙම බස් පුස්තකාල කොළඹ සිට ඒ අදාළ දිස්ත්‍රික්ක වෙත ධාවනය වීමේදී කැමැති අයට පොත් තිළිණ කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.
මෙය අංග සම්පූර්ණ බස් පුස්තකාලයකි. බස් රථය තුළ සාමාන්‍ය පුස්තකාලයක් පරිද්දෙන්ම සකසා ඇති රාක්කවල පොත් දෙදහසකට අධික ප්‍රමාණයක් ඇසුරුම් කළ හැක. කියවීම සඳහා අසුන්ද ඇති අතර අන්තර්ජාල පහසුකම් සහ ලැප්ටොප් යන්ත්‍රද මෙම බස් පුස්තකාලයේ පවතී.
බසයෙන් අනාගතයට යන මේ මහඟු කර්තව්‍ය වෙත ඔබටත් පොතක් තිළිණ කර දායකත්වය ලබාදිය හැක.

 දිශානි ජයමාලි කරුණාරත්න