2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

කස්ටම් කට්ටියක් එක්ක හවුලේ පැන්නූ කහ - උඳු

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

ගැසට් නිවේදනයක් හරහා කුළුබඩු ආනයනය කිරීම තහනමට ලක්කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ අරමුණු කිහිපයක් ඇතිවය. ආනයනය සඳහා වැයවන වියදම නතර කිරීම, දේශීය කුළුබඩු සඳහා ස්ථාවර මිලක් ඇති කිරීම හරහා දේශීය ආර්ථිකය ගොඩනැංවීමද එහිදී අදහස් කෙරිණ.

රටේ සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය කුළුබඩු රැසක් ආනයනය කෙරෙමින් තිබූ පසුබිමක කුළුබඩු ගණනාවක් ගෙන්වීම තහනම් කිරීම නිසා දේශීය වෙළෙඳපොළේ දැඩි කහ හිඟයක් මතුවී තිබේ. තත්ත්වය පාලනයට පාරිභෝගික අධිකාරිය කහ කිලෝව සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බවට නියෝග කළද මේ වනවිට වෙළෙඳපොළ තුළ කහ කිලෝව රුපියල් 3500 ඉක්මවා අලෙවි කෙරේ. මේ අනුව මිල පාලනයට පාරිභෝගික අධිකාරිය අසමත්ව සිටින අතර පවතින අධික මිල හමුවේ බරපතළ ලෙස කහ ජාවාරමක් සිදුවෙමින් පවතී.

මුහුදු මගින් කහ ජාවාරම සිදුකෙරෙන බව සාක්ෂි සාධක සහිතව හමුවෙද්දී රේගු නිලධාරීන්ගේ සහාය මත වරාය හරහා සිදුකරන්නට ගිය මහා පරිමාණ කහ ජාවාරමක් අනාවරණය කර ගැනීමට බ්ලූමැන්ඩල් පොලීසියේ නිලධාරීහු පිරිසක් සමත්ව සිටිති.

බ්ලූමැන්ඩල් පහුකරගෙන මෝදර පැත්තට යද්දී වම් පැත්තේ නිල්පාට ගේට්ටුවකුත් එක්ක ඇතුළේ ගබඩා සංකීර්ණයක් තියෙනවා. එතන 651 ගබඩාවට කන්ටේනර් තුනක් ඇවිත් හොරෙන්ම බඩු බානවා. තුවක්කු පතුරම්ද දන්නෙත් නෑ. ඉක්මනට ගියා නම් මොකක් හරි කරන්න පුළුවන්.

පොලිස් මූලස්ථානයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.වී. ලියනගේ මහතාට පෞද්ගලික ඔත්තුකරු වකුගෙන් ලැබුණු දුරකථන පණිවුඩයකි. මීට ඉහත අවස්ථා ගණනාවකදී එම ඔත්තුකරු ලබාදුන් තොරතුරු සත්‍යවීම නිසා එදිනද වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතාගේ සහායට පොලිස් කොස්තාපල්වරුන් වන (14536) අමිල සහ (14563) හේරත් යන අයද ගොස් තිබිණ.

ස්ටෝරුව පිවිසුමේ ගේට්ටුවට ඔබ්බෙන් පාර හරහා නතර කළ කන්ටේනර් රථයකි. ඊට ටික දුරකට වන්නට ගබඩාව ඉදිරියේ නතර කළ තවත් ලොරි රථ දෙකකි. රියැදුරන් ඇතුළු සැකකරුවන් පසෙක රඳවාගෙන ඉහළ නිලධාරීන් වෙත කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාට ගතයුතු පියවර සම්බන්ධ උපදෙස් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ලබාදී තිබිණ. ඒ සමඟ අදාළ කන්ටේනර් රථ පරීක්ෂාවට ලක්කිරීම සිදුකර තිබිණ. එම රථවල ප්‍රථමයෙන් දකින්නට තිබී ඇත්තේ ආනයනික වීදුරු තොගයකි. ඒවා අඩි 8X8 ප්‍රමාණයේ ඒවාය. රථයෙන් වීදුරු තහඩු කිහිපයක් ඉවත් කිරීමේදී හාඩ්බෝඩ් ලෑල්ලක් මතුවී ඇත. එතැන් සිට ගෝනි ගණනාවක් දකින්නට ලැබී ඇති අතර එහි අඩංගුව තිබුණේ උඳු ඇටය. කිලෝග්‍රෑම් 50 අඩංගු ගෝනි ඇසුරුම්වලින් පසුව වෙනත් ඇසුරුම් තොගයක් හමුව ඇත. එය පරීක්ෂාවේදී හඳුනාගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස ආනයනය කරන කහ තොගයක් ඇති බවය.

ඩුබායි සිට වීදුරු ආනයනය කරන බවට පෙන්වා රේගුව හරහා නිදහස් කොටගෙන අදාළ ස්ටෝරුව වෙත රැගෙන විත් තිබූ කහ තොගය කිලෝග්‍රෑම් 33,000ට අධිකය. මේවා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය සඳහා සූදානමින් තබා සිටි කුඩා ලොරි රථ කිහිපයක්ද එතැන තිබී අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීන් සමත්ව ඇත. ඒ මොහොතේ සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ ඔරුගොඩවත්ත පිහිටි රේගු අංගනයේ තිබියදී මෙම කන්ටේනර් රථ තුන 651 ගබඩාවට ගෙනැවිත් ඇති බවය. ඒ අනුව රේගුවේ නිසි පරීක්ෂාවකින් තොරව කන්ටේනර් රථ නිදහස් කර ඇති බව හඳුනා ගැනිණි. එය රේගුවට හොරෙන් කළාද? නොඑසේ නම් රේගු නිලධාරීන්ට සන්තෝසමක් ලබාදී ඔවුන්ගේ සහායෙන් සිදුකළාද යන්න පොලිසිය හමුවේ පැවැති ගැටලුවකි.

විමර්ශන ආරම්භයේදීම ජාවාරමේ මහමොළකරු බවට හඳුනාගත් වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සමඟ අදාළ ගබඩා පරිශ්‍රයේ හිමිකරුද අත්අඩංගුවට ගනු ලැබීය. රේගු නිලධාරීන් දෙදෙනකුට අල්ලස් ලබාදෙමින් අදාළ කන්ටේනර් රථ තුන නිදහස් කරගෙන ඇති බව හෙළිකර ගැනීමත් සමඟ ඔරුගොඩවත්ත රේගු අංගනයේ සේවයේ යෙදී සිටි රේගු අධිකාරිවරයකු සමඟ සහකාර රේගු අධිකාරිවරයකුද අත්අඩංගුවට පත් වූහ. ඒ සමඟ භාණ්ඩ තොගයේ ආනයනකරු වූ මට්ටක්කුලිය පදිංචි මොහොමඩ් රිෂ්වි නැමැත්තාත් ගබඩා බාරකරු වූ කෙසෙල්වත්ත පදිංචි ඉන්නා මොහොමඩ් යන අයත් ජාවාරම්කරුගේ උපදෙස් මත භාණ්ඩ ගෙන්වා දීමට මැදිහත් වූ භාණ්ඩ ආනයන ආයතනයක් පවත්වාගෙන යන පානදුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නියාස් නැමැත්තාද සමඟ ජාවාරමට හවුල් වූ රියැදුරන් 7 දෙනෙක්ද අත්අඩංගුවට ගැනු ලැබූහ.

මොවුන් සියලුදෙනා භාණ්ඩ තොගයේ හිමිකාර ජාවාරම්කරු යටතේම සේවය කරන පිරිසකි. අදාළ කන්ටේනර් තුන නිදහස් කර ගැනීමේ කටයුතු සිදුකළ වාප්පු ලිපිකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක අතර මේ වනවිට සිද්ධියට සැකපිට පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. ඒ අනුව නීති විරෝධීව කහ ගෙන්වීම ඊට රේගු නිලධාරීන්ගේ සහාය ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (1) නෙරංජන් අබේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.වී. ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.


 සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02