පසුගිය මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය සමග සන්ධාන ගතවූ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණු නායක මනෝ ගනේෂන් මැතිවරණයට පෙර තමනට ලබාදෙන බවට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදෙන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබිණි. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූයේ මන්ත්‍රී ධුර 7ක් පමණක් වූ බැවින් ඉහත කී සුළු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැත. මේ සම්බන්ධයෙන් සුළු පක්ෂ නායකයන් සිත්තැවුලට පත්ව සිටින අතර. ඔවුන් කියා සිටියේ දැනට ප්‍රසිද්ධ කර ඇති ජාතික ලයිස්තුව තම අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධ කර ඇති හෙයින් ඊට තම විරෝධය පළ කරන බවයි.
සමගි ජනබලවේගය සමඟ තම පක්ෂය හා තවත් පක්ෂ සන්ධානගත වී සිටින හෙයින් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කොට සන්ධානයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පරිදි එය සකස් කරන ලෙසද, තනි නායකයකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. සමගි ජන බලවේගය තුළ සන්ධානගතව සිටින සියලු දෙනාටම එක හා සමානව කටයුතු කිරීමට අවස්ථාවක් ලබාගැනීමේ අරමුණින් ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි පැවසේ.
සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුමක් මගින් පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය සමඟ සන්ධානගතවූ සුළු පක්ෂවල සිත් රිදීමක් ඇති වුවද තමන් සන්ධානයෙන් ඉවත් නොවන බවට ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණු නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ ස්ථාවරය දැන ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.
මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැත. පසුගිය මහ මැතිවරණයට මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබලවේගය යටතේ තරගකොට පාර්ලිමේන්තුවට පත් වූ මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කොට තීරණය කරනු ඇති බවයි.
බොහෝ දිස්ත්‍රික්කවල මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබලවේගය සමඟ එක්ව තරග කළා. මුස්ලිම් ජනතාවගේ ඡන්ද විශාල ප්‍රමාණයක් සමගි ජනබලවේගයට හිමිවුණා. 1989 සිට සෑම මැතිවරණයකදීම අප පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර එකේ සිට හතර දක්වා ප්‍රමාණයක් හිමි වුණා. අපට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අහිමි වූ පළමු අවස්ථාව මෙයයි. ඒ ගැන දැඩි කණගාටුවක් අප පක්ෂයට තිබෙනවා. අපට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර ලබා දෙන බවට අපේ පක්ෂ නායක හකීම් මන්ත්‍රීතුමා හා සජිත් ප්‍රේමදාස මහතා සමග විවෘත ගිවිසුමක් තිබුණා. මෙවැනි තත්ත්වයක් යටතේ අපට සජිත් ප්‍රේමදාස සමඟ තවදුරටත් ඉදිරියට යා හැකිද යන ගැටලුව මතුවෙනවා. මම එය ඔහුට සෘජුවම ප්‍රකාශ කළා. ඔහු ගිවිසුම අනුව කටයුතු නොකරන්නේ නම් අපට තව දුරටත් සිතා බලන්නට සිදු වෙනවා. අපේ පක්ෂය හා මන්ත්‍රීවරැන් පස් දෙනා එක්ව අපට වඩා යහපත් යැයි සිතෙන තීරණයක් ගන්නවා. යනුවෙන් සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂය හා එක්වන ලෙසට මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බවත් තමන් විවෘත මනසින් යුතුව බලා සිටින බවත්, සැමවිටම නිවැරුදි තීරණයක් ගන්නා බවත් පැවසූ නසීර් අහමඩ් මහතා සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වී ඇතැයිද ප්‍රකාශ කළේය. තමන්ගේ ප්‍රධාන අරමුණ ජනතාවට සේවය කිරීම හෙයින් වත්මන් ආණ්ඩුවේ සියලු යහපත් කටයුතු සඳහා සහාය දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තම පක්ෂයේ මන්ත්‍රීවරැන් හා දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද. එහි මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් අයහපත් තීන්දු තීරණ නොමැති නම් එයට සහය දැක්විය හැකිවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා