
ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා අත්‍යවශ්‍ය කුළුබඩු විශේෂයක් වන කහ හිඟය ගැන මැසිවිලි නගති. කර්මාන්තකරුවෝ අමුද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය කාර්මික මෙවලම් ආනයනයට පනවා ඇති බාධා ගැන කනස්සල්ල පළ කරති. කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ දුර්වල ආදායම ගැන සැලකිල්ල යොමු කළ ආණ්ඩුව ආර්ථිකය ගැන සැලකිල්ල යොමු කර තිබේ. ආනයන පාලනය කර ඇත. එය විදේශ විනිමය ඉතිරිකර ගන්නා පියවරකි. මෙරට වගා කළ හැකි දේ ආනයනයෙන් වළකින අතර එය ගොවියන්ට අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කරයි.
අත්‍යවශ්‍ය නොවන දේ ආනයනය පාලනය කිරීම ප‍්‍රශ්නයක් නැත. පාරිභෝගිකයාගේ අවශ්‍යතා ගැන ද සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. වෙළෙඳපොළ පාලනය ඉතා සංකීර්ණය. තම අවශ්‍යතා නොලැබෙන අවස්ථාවක ජනතාව කනස්සල්ලට පත්වෙති. පැලැන්ති ප‍්‍රශ්න ගැන සැක මතුවෙයි. ඉහළ සමාජයට අවශ්‍ය දේ ගෙන්වන අතර පොදු ජනතාවගේ වුවමනා ගැන නොසලකන බව කල්පනා කරති. අලුතින් බලයට පත් වූ ආණ්ඩුවකට එවැනි පසුබිමක් හිතකර නැත.
ආනයන ලැයිස්තුව දෙස බලා තීරණයක් ගැනීම
රටට ගෙන්වන දේ අතර ආහාර ද්‍රව්‍ය ඉහළම වියදමක් නොවේ. රේගු වාර්තා දක්වන අන්දමට ඛනිජ තෙල් ආනයනය විශාල පිරිවැයකි. ශ‍්‍රී ලංකාව ආනයනය කරන බොරතෙල් වෙනුවෙන් කරන වියදම සමස්ත ආනයනයෙන් සියයට පනහත් හැටත් අතර ප‍්‍රතිශතයක් බව දක්වයි. බොරතෙල් අත්‍යවශ්‍යය. බලශක්තිය නිපදවනු සඳහා ප‍්‍රබල වෙනත් විකල්පයක් දැනට නැත. මහ මග ධාවනය වන වාහන ප‍්‍රමාණය හා පුළුස්සන ඉන්ධන ප‍්‍රමාණය සලකන විට ඉන්ධන ආනයනය බලවත් අවශ්‍යතාවයක් බව පැහැදිලිය. එහෙත් ලෝකය වෙනස් වෙමින් තිබේ. බොරතෙල් රාමුවෙන් ගැලවෙමින් සිටී. ගල් අඟුරු යුගයේ සිටි ජාත්‍යන්තරය එයින් වෙන්වී බොරතෙල්වලට අවතීර්ණ වූ අතර පසුව පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව අත්හදා බැලීම ආරම්භ කරනු ලැබීය. ජල විදුලිය හොඳ විකල්පයක් විය. සුළං විදුලි බලාගාර නිර්මාණය කෙරිණ. මුහුදු රළ වලින් පවා විදුලිය නිපදවන ව්‍යාපෘති සාර්ථක වී තිබේ. සූර්ය විදුලිය බල නිෂ්පාදනය එහි තවත් පියවරකි. ලෝකය පුරා සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. ශ‍්‍රී ලංකාවට එහි නිරත විය හැකිය.
සූර්ය බලයෙන් විදුලිය නිපදවන පියවරකට වැඩිපුර බර තැබුවහොත් බොරතෙල් ඇතුළු පොසිල ඉන්ධන ආනයනය අඩු කළ හැකිය. සාමාන්‍යයෙන් අවුරුද්දකට අමෙරිකානු ඩොලර් බිලියන පහක් ඉක්මවන වියදමක් දැරෙයි. එය මෑතක් වනතුරු මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන ලාංකිකයන් උපයා එවන විදේශ විනිමය ප‍්‍රමාණයට සමාන මුදලක් බව විශේෂඥ වාර්තා දක්වා තිබුණි. මෙම පිරිවැයෙන් යම් කොටසක් ඉතිරිකර ගැනීමට සූර්ය විදුලිය ප‍්‍රචලිත කළ හැකිය.
අලුත් ආණ්ඩුවේ ඉලක්කය සූර්ය බලයට
වත්මන් ආණ්ඩුව සූර්ය තාප විදුලිය ගැන විශ්වාසයක් තබන බව පෙනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශවල සැලසුම් සමාලෝචනය කරන අවස්ථාවේදී සූර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘති ගැන සඳහන් කළේය. එය ඉතා වැදගත්ය. දැනට යෝජනා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිවලට ඉක්මන් ප‍්‍රතිචාර දක්වන සේ දැනුම් දුන් ජනාධිපතිවරයා දින විසි එකක් තුළ අදහසක් පළ නොවේ නම් විරෝධතාවයක් නැති සේ සලකා ව්‍යාපෘති ඉදිරියට ගෙන යන්නට යෝජනා කර තිබේ. එවැනි කඩිනම් පියවරක් අද වැනි විනිමය හිඟයකට මුහුණ පා ඇති අවස්ථාවකදී අවශ්‍යය. තවදුරටත් බොරතෙල් ආනයනය කරන සහ ඒ වෙනුවෙන් අධික වියදමක් දරන පිළිවෙළ නුසුදුසුය.
වාර්තා පෙන්වන අන්දමට 1996 වසරේ මෙරට නිවාසවලින් විදුලිය සැපයුණේ සියයට 26ක ප‍්‍රතිශතයකට පමණක් බව දැක්වෙයි. එහෙත් අද වන විට නිවාසවලින් සියයට 99.3කට විදුලිය ලැබේ. විදුලිය ආලෝකය සඳහා පමණක් නොවේ, ග‍්‍රාමීය ප‍්‍රදේශවල කර්මාන්ත සහ ව්‍යාපාරවලට අවශ්‍ය සාධකයකි. නගරයෙන් බැහැරට විදුලිය සැපයීම ව්‍යවසායකත්වය ඇති කරයි. එහිදී විදුලිය පාරිභෝජනය දිගටම ඉහළ යන්නට ඇති අවකාශයක් ඇත. ගල් අඟුරු බලාගාර තව තවත් ඉදිකළ හැකිද? ද්‍රව ගෑස් බලාගාර ඉදිකරන යෝජනාවක් තිබේ. විදුලිය නිපදවීමට න්‍යශ්ටික බලය උපයෝගී කර ගැනීමට හැකියාව ඇති බව තත්ත්ව වාර්තා අනාවරණය කර ඇත. මේවා අධික වියදමක් දරන්නට සිදුවන හා අවදානමක් සහිත යෝජනාය. පරිසරය සම්බන්ධයෙන් ද අභියෝග මතුවෙයි.
නිරන්තර සූර්යාලෝකය ලැබෙන, මූලික ආයෝජනයෙන් පසු පිරිවැයක් රහිත සහ නඩත්තුව ඉතා අඩු සූර්ය විදුලියට ආයෝජනය තර කළ යුතුය. ආයතනික මට්ටමින් හා ගෘහස්ත වශයෙන් සූර්ය කෝෂ ජනප‍්‍රිය කරවන්නට අවශ්‍යය. දැනට රට තුළ සූර්ය විදුලිය කෝෂ සවිකරන සමාගම් දෙසිය ගණනක් ඇති බව දැක්වෙයි. මේවායේ පරිමාව රට ආවරණය කරන තැනට පත් කිරීම සුදුසුය.
සූර්ය විදුලි පොලිය අඩු කරන යෝජනාවක්
ශ‍්‍රී ලංකාවේ සූර්ය තාප විදුලිය උත්පාදන යෝජනා ක‍්‍රම සඳහා ආසියානු සංවර්ධන බැංකු සහාය ලැබී තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් 2017 වසරේදී ලැබුණු අතර තවත් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක තාක්ෂණික ආධාර රටට දෙන්නට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකු වෙබ් අඩවියේ සඳහන්ය. මෙම ආධාරවලින් කොටසක් ප‍්‍රයෝජනයට ගෙන සූර්ය බල සංග‍්‍රාමය ව්‍යාපෘතියක් රජය අරඹන ලදී. පසුගිය ආණ්ඩුව කරන ලද එම සැලැස්ම අනුව වාර්ෂික සියයට අටක පොලියකට සූර්ය කෝෂ මිල දී ගත හැකිය. මෙම ආයෝජනය පියවන්නට විදුලිය පාරිභෝගිකයන්ට වසර 15ක් ගත වෙයි. රුපියල් ලක්ෂ පහක ණයක් වසර දහයකින් ගෙවන්නට ගන්නා පාරිභෝගිකයකුගේ මාසික විදුලිය බිල රුපියල් පන් දහසක් නම් බැංකු ණය ගෙවන්නට වසර පහළොවක් ගතවන අතර එම කාලය අවසන් වන විට සූර්ය කෝෂවල ධාරිතාව පහත වැටේ. අලුත් තාක්ෂණික මෙවලම් එන්නට බැරි නැත. මෙම ක්ෂේත‍්‍රය වේගයෙන් දියුණු වන අතර ලෝකයේ නොයෙක් රටවල් අධි තාක්ෂණය භාවිත කර තාපය විදුලියට හරවන සෙල් කෝෂ නිපදවමින් සිටී. දැන් භාවිත වන මෙවලම් තව වසර හත අටක් ගතවන විට ප‍්‍රයෝජනයක් නැත. අවසානයේ දී පරිසර හානියක් පමණකි. අද ඇති අවස්ථාව ඉක්මනින් ප‍්‍රයෝජනයට ගැනීම ඉතාම සුදුසු යෝජනාවකි.
වත්මන් ආණ්ඩුව බැංකු පොලිය අඩු කළේය. එය විශාල සහනයක් වී තිබේ. සාමාන්‍ය පුද්ගල ණය පවා සියයට නමයක මට්ටමට පහත වැටී ඇත. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය ආධාර මත සියයට පනහක පොලී සහනයක් සහිතව සූර්ය කෝෂ සවිකර ගැනීමට දෙන ණය වෙනුවෙන් අය කරන පොලිය සියයට අටකි. මහා භාණ්ඩාගාරය තවමත් සියයට පහළොවක් දක්වා බරපැන බැංකුවලට ගෙවයි. මේවා යාවත්කාලීන කළ යුතුය. බැංකු අසාධාරණ අන්දමට උපයන ධනය මහජන යහපතට යොමුකිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. දැන් පවතින පොලිය සියයට 9ක් වන පසුබිමක මහා භාණ්ඩාගාරය සියයට 4.5ක් ගෙවා මහජනතාවට සූර්ය කෝෂ සවිකර ගැනීමට සියයට 4.5ක පොලියට වාණිජ බැංකු ණය නිකුත් කිරීමට බැරිකමක් නැත.
සියයට දෙකක තුනක සූර්ය බලය රටට අවාසියකි
විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලයෙන් ලැබෙන විදුලිය 2011 දී සියයට දෙකකි. 2014 දී එය සියයට එකක් දක්වා පහත වැටී ඇත. එයින් පසු තොරතුරක් අනාවරණය නොවේ. විදුලිබල මණ්ඩලය සූර්ය කෝෂවලින් නිපදවන විදුලියේ අතිරේක ප‍්‍රමාණය මුදල් ගෙවා මිල දී ගන්නා බව ප‍්‍රසිද්ධ කරයි. විදුලිබල මණ්ඩලයේ තොරතුරැ ඒකකයට කතා කළ විට එය සුනිත්‍ය බල අධිකාරියෙන් විමසන සේ පැවසීය. සුනිත්‍ය බල අධිකාරියට අනුව අතිරේක විදුලිය වෙනුවෙන් මුදල් උපයන පාරිභෝගිකයෝ සෑහෙන පිරිසකි.
වසර 2025 වන විට නිවාස ඒකක දස ලක්ෂයක් හිරු එළියෙන් ආලෝකවත් කරන සැලැස්මක් තිබුණි. එය මෙරට පාරිභෝගිකයන්ගෙන් පහෙන් එකක කොටසකි. එම පිරිස බිල් නොගෙවන තැනට පත් වූ විට බොරතෙල් ආනයනය සීමාසහිත වනු ඇති අතර රටට ඉතිරිවන ධනය අති මහත්ය. වාර්තා දක්වන පරිදි එක දැවි තෙල් ලීටරයකින් විදුලිය ඒකක හතරක් පමණක් නිපදවිය හැකිය. දැවි තෙල් ආනයනය කර විදුලිබල මණ්ඩලයට විකුණන තෙල් සංස්ථාව මුදල් අය කරගත නොහැකි තැනට පත්ව තිබ්. තෙල්වලින් නිපදවා රට පුරා විකුණන විදුලිබල මණ්ඩලය අති විශාල පාඩුවක් ලබන බවද අනාවරණය වන කරුණකි.
ආයතන හා නිලධාරීහු පැරණි ව්‍යුහයකට තදින් ඇබ්බැහි වී සිටිති. සූර්ය විදුලියට හැරෙන විට තෙල් ආනයනයෙන් හා විකිණීමෙන් රජයට ලැබෙන විශාල බදු ආදායම අහිමි වෙයි. ගතානුගතිකව කල්පනා කරන විට අයවැය පියවන්නට ආදායම නැති තැනට පත්වෙයි. සූර්ය විදුලිය මගින් බද්දක් නොලැබේ. මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට එයින් අතිරේක වාසි නැත. එහෙයින් කෙළින්ම සූර්ය බලය ප‍්‍රයෝජනයට ගැනීමේ ප‍්‍රතිපත්ති පුළුල් කරන්නේ නැත. සූර්ය විදුලිය සමඟ විදුලි කාර් භාවිතය ද ප‍්‍රචලිත කළ හැකි අතර දිවා කාලයේ දී වාහන ආරෝපණයට තැන් ස්ථාපිත කළ හැකිය. ඒවා නොමිලේ බලශක්තිය ලබාගත හැකි උත්සාහයකි. අලුත් ව්‍යවසාය රටාවක් හැදේ. වාහන ගාල් කරන ස්ථානවල ඇති අවකාශය මේවාට ප‍්‍රයෝජනයට ගත හැකිය. ආණ්ඩුව කළ යුතු ප‍්‍රතිපත්ති යෝජනා කිරීමය. නියාමනයක් සකස් කිරීමය. පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට ඒවායේ අවස්ථා ඇති කළ හැකිය. වාහන ධාවනය විදුලි බලයට හැරවීම හරි අඩක් කළහොත් රටට ගෙන්වන තෙල් තවත් පිරිමැසෙන තත්ත්වයට අඩු කළ හැකිය.
ආනයනන වියදම ගැන සඳහන් කරන විට ජනතාව දකින්නේ වෙනත් ඉලක්කම්ය. ගොවියන් පොළඹවා විනිමය ඉතිරි කරන්නට සූදානම් වෙයි. කර්මාන්ත හා ව්‍යාපාර අඩාල කරන පරිදි අමුද්‍රව්‍ය ආනයනය කෙරේ. ඒවා සුළු වෙනස්කම්ය. අලුත් බලශක්ති රාමුවක් රටට සූදානම් කළ යුතුය. පරිසරයට වැඩදායකය. අද පවතින දරැණු විනිමය හිඟයට උත්තරයක් වනු ඇත. ඉක්මන් තීරණ ගැනීම අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද