පාතාලයේ කෙරුවාවල් එකින් එක දිගහැරෙමින් ඇත. කුමක් හෝ හේතුවකින් පාතාලයත් කුඩුත් මර්දනය කිරීම සඳහා රජය ගත් පියවර නිසා කුඩුත් පාතාලයේ සැබෑ හිමිකරුවන් කවුද යන්න සමාජය හමුවේ නිරාවරණය වෙමින් පවතී. සැබවින්ම රටේ කුඩු වික්කේ පාතාලයට තටු දුන්නේ වෙනින් කවුරැත් නොව ඇතැම් දේශපාලකයෝත් පොලීසියේ ඇතැම් අයත් බව දැන් අනාවරණය වී ඇත.
කුඩු ආයුධ අල්ලා හුරේ දමා, මාධ්‍ය සංදර්ශන දමා ලෝකයටම පෙන්වා පස්සා දොරෙන් කුඩු ආයුධ විකිණීම සිදුකර ඇත්තේ වෙනින් කවුරැත් නොව පොලීසියේ වගකීම් සහගතම කණ්ඩායමක් බව දැන් අනාවරණය වී ඇත. ඇතැම් අය මේ වනවිට පොලීසියට කොටු වී ඇතත් තවත් පිරිසක් තවමත් සිටින්නේ නිදැල්ලේ බවද කිව යුතුමය. මේ සියලු දෙනා කුඩු ජාවාරම්වලට උදව් උපකාර කර ඇත්තේ ඇතැම් වැටලීම් චිත්‍රපට ජවනිකා ලෙස පෙර සිටම පිඹුරැපත් සකසමිනි.
කෙසේ වෙතත් මේ සියල්ල සිදුවන විට තවමත් රට තුළ කුඩු ආයුධ සංසරණය වෙමින් ඇත. එය පුදුම සහගත දෙයක් බව කිවයුතුමය. එසේ නම් එලෙස සිදුවන්නේ මහ මෝරැන් එළියේ සිටින නිසාද? නැත්තන් රට තුළ කුඩු ගබඩාවක් ඇති නිසාද? ඒ සියල්ලටම පිළිතුරු සොයාගත හැක්කේ පොලීසියටම පමණි.
• ඩුබායි කුඩු රජවරු
දැනට ලංකාවට කුඩු ගෙනෙන බොහෝ දෙනා ඉන්නේ ස්ථාන දෙකකය. එක් පිරිසක් ඩුබායිවලය. අනෙක් අය ලංකාවේය. දැනට ඩුබායිවල ඉතිරිව ඇති දෙදෙනා වන්නේ අන්නාසි මොරිල් සහ පාකිස්ථානු ජාතික සමින්ජාන්ය. කුඩු බිස්නස් කරන බොහෝ දෙනෙකු ඩීල් කතා කරගන්නේ ඩුබායි සිටය. ඒ කුඩු ජාවාරමේ මහා පරිමාණයෙන් සිටින පාකිස්ථානු ජාතිකයන්ගේ වාසස්ථානය ඩුබායි රාජ්‍යය වන නිසාය. එසේම කළු සල්ලි සුදු කළ හැකි හොඳම තැන ඩුබායි වන නිසාත්ය.
කෙසේ වෙතත් ඩුබායි සිටින සමින්ජාන් යනු ලංකාවට කුඩු දෙන, කුඩු බෙදන මහ මොළකරැ බව දැනගන්නට ඇත. 2016 වසරේදී ඩුබායි රාජ්‍යයට පැනගන්නා වෙලේ සුදාට ළඟම මිතුරා වන්නේ මොහොමඩ් සිද්ධික්ය. සිද්ධික් යනු එවකට ඩුබායි රාජ්‍යයේ කුඩු මාෆියාකරැවෙකි. එසේම සමින්ජාන්ගේ මිතුරාය. වෙලේ සුදාට අවශ්‍ය වූයේ කෙසේ හෝ ලංකාවට කුඩු එවා රජවීමටය. ඒ නිසා සුදා, සිද්ධික් සහ සමින්ජාන්ලා සමඟ කුඩු මාෆියාව ආරම්භ කළ අතර ඒ කුඩු වෙනුවෙන් මිනිස් ඇපයක් ලෙස තබාගත්තේ වෙලේ සුදාය. වෙලේ සුදාට ඕනෑම මොහොතක සිද්ධික්ලා, සමින්ජාන්ලා කුඩු දුන්නේ සුදාව මිනිස් ඇපකරයක් හැටියට තබා ගනිමිනි. අවසානයේ වෙලේ සුදා පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලයේ හිත දිනාගත් නිසා ඕනෑම අවස්ථාවක කුඩු ලබාගැනීමේ හැකියාවක් වෙලේ සුදාට ඇති විය. මේ නිසා සුදා, සිද්ධික් සහ සමින්ජාන් වශයෙන් කුඩු රජුන් තිදෙනෙකු ඩුබායි රාජ්‍යයේ බිහි වූ අතර ඔවුන් මෙරටට කුඩු ගෙනෙන ජාලයේ මොළකරැවෝ වූහ.
මේ අතරට පැමිණි මාකඳුරේ මධූෂ්ද වෙලේ සුදා පසුකරගෙන යාමේ අරමුණක සිටියේය. ඒ වෙලේ සුදා මෙරටට රුගෙන ආ පසුව මරණීය දණ්ඩනය හිමිවූ නිසාය. මේ නිසා වෙලේ සුදාගේ අඩුව පුරවන්නට මධූෂ් ඇතුළු විය. ඒ සඳහා මධූෂ් තම සගයා කරගත්තේ සමින්ජාන්ය. මධූෂ් පමණක් නොව කංජිපාණි ඉම්රාන්ද සමින්ජාන්ගේ මිතුරෝ වූහ. කෙසේ වෙතත් මේ අතර මොහොමඩ් සිද්ධික්ද මෙරට පොලීසියට කොටුවූ නිසා අවසානයේ මධූෂ් ඩුබායි වල වෙලේ සුදා වෙන්නට ගියේය.
එහෙත් වෙලේ සුදා යනු කුඩු ජාලයේ මහමොළකරැවෙකි. තමාව පසුකරගෙන යාම කිසිවකුටත් ඉඩදිය නොහැකි නිසා වෙලේ සුදා කාලයක් මධූෂ් සමඟ සිටි අන්නාසි මොරිල්ව යොදාගෙන රුලම එකවර කොටුකර දුන්නේය. ඒ සඳහා මෙරට ආරක්ෂක සාමාජිකයන්ද එකතු කරගත් අතර ඒ සියලු මෙහෙයුම සිදුකළේ බන්ධනාගාරයේ සිටි වෙලේ සුදාය. ඒ අනුව කුඩු දාම් ලෑල්ලෙන් මධූෂ්ව කපා හැරියේ එසේය. එහෙත් පුදුමය නම් අන්නාසි මොරිල්ද ඒ වනවිට සමින්ජාන් සමඟ ව්‍යාපාරවල යෙදී සිටීමය.
• මුජහිඩීන් නාටකය
මෙහි අනෙක් තක්කඩියා වන්නේ මේ රටේ ලොකු ලොක්කන්ගේ මෙන්ම නළු නිළියන්ගේද හිත දිනා සිටි මුජහිඩීන්ය. මුජහිඩීන් යනු මෙරට චිත්‍රපටයක නිෂ්පාදකවරයාය. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණි මොහොතක ඔහු නැවතී සිටි හෝටලයට රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් අහුරැ ගණන් පැමිණි බවද සඳහන්ය. ඒ ඔහුගෙන් මෙරටට ආයෝජන ලබාගන්නටය. එහෙත් ඔහු ආයෝජනය කළේ සල්ලි නොව කුඩුය. සිංගප්පූරැවේ සිට ඔහුගේ ජාලය හරහා මෙරට කුඩුවලින් ස්වයංපෝෂිත කිරීමට මුජහඩීන් නොපිරිහෙලා කටයුතු කළේය. ඒ නිකන් නොව රජ සැපද විඳමින්ය. පුදුමය නම් මුජහිඩින් තවමත් සිටින්නේ නිදහසේ තම කුඩු ජාලය හසුරවමින් වීමය. එපමණක් නොව තවමත් ලංකාව තුළ මුජහිඩීන්ගේ කුඩු ජාලය ක්‍රියාත්මක වන බව නොරහසකි. අල ගෝනි තුළ කුඩු එන්නේ නම් ඒ මුජහිඩීන්ගේ බඩු බව ප්‍රසිද්ධ රහසක් ඇත .එහෙත් මුජහිඩීන් පොලීසියට කොටු වෙයිද, කොටු කරන්නට ඇතැම් අය ඉඩ දෙයිද යන්න ගැන අපට ඇත්තේ ප්රශ්නයකි. ඒ වගේම විහිළුවකි.
• කොස්ගොඩ සුජීගේ කුඩු භූමිකාව
කොච්චර කුඩු ඇල්ලුවත් තවමත් කුඩු රටට ඇතුළු නොවනවා කියා සහතික දිය නොහැක. පසුගිය කාලයේ කුඩු මීගමුව, කල්පිටිය, මන්නාරම, යාපනය ආදී ප්‍රදේශ වලටද මුහුදු මාර්ගයෙන් ආවත් දැන් එන්නේ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරයෙනි. එයිනුත් දකුණ ඉහළ තැනක ඇත. එනම් කුඩු ජාවාරමුන් බොහෝ දෙනෙකුගේ කුඩු නැව් මාර්ගය වැටී ඇත්තේ දකුණු මුහුදු තීරය හරහාය. ඒ නිසා රට තුළට කුඩු රැගෙන ඒමේ ලොකුම ජාවාරම සිදුවන්නේ දකුණු මුහුදු තීරයෙන් බව අමුතුවෙන් කිවයුතු නැත.
මෙකී දකුණු මුහුදු තීරයේ බලය ඇත්තේ දැනට ඩුබායි පැන සිටින කොස්ගොඩ සුජීටය. මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසුව පොඩි ලැසී දකුණු මුහුදු තීරයේ බලය ඇල්ලීමත් සමඟ ලැසීව සුජීගේ ගොන්නට එකතු කරගත්තේ විශාල අරමුණු රුසක් ඇතිවය. සුජී යනු කුඩු මහ මුහුදේ සිට ගොඩට ගෙනත් දෙන මෙහෙයුම්කරැ බව අනාවරණය වී ඇත. සුජීටත්, ලැසීටත් හිතවත් ධීවර බෝට්ටු හිමිකරුවන් සිටින නිසා මේ කුඩු රට තුළට ගෙන ඒමේ මෙහෙයුම බාරගන්නේ සුජීය. ඒ සඳහා සුජී ලොකු කොමිස් මුදලකුත් කුඩු කිලෝ 500ක් නම් ඉන් කුඩු කිලෝ 10කුත් ලබා ගැනීම සිදුකරයි. එසේ ලබාගන්නා කුඩු සුජී විසින් ලැසීට ලබාදී දකුණේ විකුණනු ලබයි. මෙය සුජීගේ ක්‍රමය වන අතර සුජී යනු මේ ජාලයේ මහ මොළකරැවකු නොව ප්‍රවාහන සපයන්නෙකි.
• කුඩු ජාලය බිඳ හෙළිය නොහැක්කේ ඇයි?
කුඩු ජාවාරමුන්ගෙන් බහුතරයක් දැන් ඉන්නේ බන්ධනාගාරයේය. ඔවුන්ගෙන් ප්‍රබලයෝ දැන් ඉන්නේ අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේය. ඒ නිසා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා දැන් ඩුබායි රාජ්‍යයේ සිටින කුඩු ජාවාරමුන්ට විශාල ඉඩක් වෙලේ සුදා හිරවීමත් සමඟ ඇතිව ඇත. ඒ හේතුවෙන් ඩුබායි සිටින බොහෝ දෙනා විවිධ ඇම යොදා පාතාලයේ ඉහළට එන්නන් සොයමින් සිටින්නේ අලුත් මුහුණුවරකින් නැවත මෙරට තුළ කුඩු ජාවාරම ආරම්භ කිරීමටය. ඒ සඳහා අලුතින් කළඑළි බසින බොහෝ දෙනකුට ජාත්‍යන්තර කුඩු ජාලයෙන් ඇමතුමක්, එස්.එම්.එස්. එක නියත වශයෙන් ඉදිරියේ ලැබෙනු ඇත. එසේ අමතා ඔවුන් අවශ්‍ය මොනවාද යන්නත් සල්ලි ආයුධ සොයා දිය හැකි බවත් එසේ නම් තමන්ගේ කුඩු ටිකක් විකුණා දෙන ලෙසත් ඉල්ලීමක් කෙරෙනු ඇත. ඒ නිසා ගොඩක් පාතාලයන් මෙකී ලණු කා කුඩුවලට අත ගැසීම සාමාන්‍ය පුරුද්දය. මේ නිසා කුඩු ජාලය බිඳහෙළීම අසීරැ වන අතර ඔවුන් කොහේ හෝ නයකුට කිරි පොවා ඇතිදැඩි කරන බව අමුතුවෙන් කිවයුතු නැත. ජාත්‍යන්තර ජාලය අවසන් වනතෙක් මෙරට කුඩු මෙහෙයුම අවසන් කිරීමේ හැකියාවක්ද නැත.
• ඇප ලැබූ සිද්ධික් අතුරුදන්
උසාවියෙන් ඇප ලබා එළියට පැමිණි සිද්ධික් සොයාගන්නටත් නැත. ඔහු ඉන්නා තැනක් කොහේද කියා දන්නෙත් නැත. එහෙත් ඔහු මෙරට ආරක්ෂාකාරීව සිටිමින් කුඩු ජාලය මෙහෙයවන බව බොහෝ දෙනා සැක කරති. විශේෂයෙන් දැනට සිද්ධික්ගේ කුඩුවලින් පෝෂණය වන්නේ මරණිය දණ්ඩනය හිමිවී සිටින දෙමටගොඩ චමින්ද සහ එළියේ සිටින ඔහුගේ සොහොයුරු දෙමටගොඩ රැවන් ඇතුළු පිරිසය. ඔවුහු පාතාලය මෙන්ම කුඩු ජාලයද සක්‍රීයව මෙහෙයවමින් සිටිති.
ඔවුන්ට කෙතරම් බලයක් ඇත්තේද යන්නට හොඳම උදාහරණය වන්නේ දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා ඇමරිකානු හමුදාව භාවිත කරන ජීප් රථයක් අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේදී දෙමටගොඩ පොලීසියෙන් එය අත්අඩංගුවට ගනු ලැබුවත් උසස් පොලිස් නිලධාරීන්ගේ බලපෑම මත ඔහු නිදහස් කිරීමය. එය පුදුම සහගත දෙයකි. ඒ නිසා ඔවුන් තවමත් සක්‍රීයව සිටින්නේ කාගේ හයියෙන්ද යන්න දන්නෝ දනිති යැයි අපිට කිව හැක. එහෙත් එක් රටක් එක් නීතියක් නම් මේ ආකාරයෙන් පාතාලයන් යට පොලීසිය ඉන්නා රටක මොන එක නීතියක්ද යන්න අපට ඇති ප්රශ්නයකි. කෙසේ වෙතත් පොලිසීයටත් කොකා පෙන්වමින් සැඟවී සිටින සිද්ධික් තවමත් බත් කන්නේ කුඩු විකුණා බව කවුරැත් අමතක කළයුත්තේ නැත. අමතක වී ඇත්නම් දැන් හෝ නින්දෙන් ඇහැරී ඒ ගැන සොයා බලන්න යැයි අපි පොලීසියෙන් ඉල්ලා සිටිමු.
• මෙහෙන් පැන්නොත් ගුණාගෙන් හෙවනක්
වර්තමාන මෙහෙයුමත් සමඟ ගොඩක් පාතාලයෝ සහ කුඩු ජාවාරමුන් රටෙන් එළියට පැන ගැනීමට නොහැකිව දුක් විඳිති. ඒ එක් පැත්තකින් ගුවන් තොටුපළ වසා ඇති නිසාය. ඒ නිසා ගොඩක් ජාවාරම්කරැවන් ධීවර වෙස්ගෙන දකුණු ඉන්දියාවට පැනයාම සිරිත වී ඇත. දකුණු ඉන්දියාවට පනින අය ඉන්නේ කොහෙද යන්න කාටත් ප්‍රශ්නයක් වී ඇත. එහෙත් ඇත්ත නම් දකුණු ඉන්දියාවට පනින ඕනෑම කෙනකුට අතදීමට අපේ කෙනකු එහේ සිටින නිසාය. ඒ වෙනින් කවුරුත් නොව කිඹුලා ඇළ ගුණාය. ගුණා යනු මෙරට කුඩු ජාවාරමේ සිටි අයෙකි. පසුව ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට පැනගත් අතර අද ගුණාගේ එක් ආදායමක් වන්නේ ලංකාවෙන් එන අයට ඉන්න හිටින්නට උදව් කිරීමය. ඒ සඳහා ඔහුගේ සොහොයුරා සුරේෂ්ද සහයෝගය දක්වයි.
පසුගියදා සපුගස්කන්ද ප්‍රදේශයේ දරමඩුවක තිබී සොයාගත් කෝටි ගාණක කුඩුවල හිමිකරැ වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකි. ඔහු මෙය අනාවරණය වීමත් සමඟම අසුවූ දිනේම සවස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැනගත් අතර එහෙත් සැප්තැම්බර් 3 වැනිදා එරට පොලීසියට කොටුවිය. ඇත්තෙන්ම ඔහුට පැන යාමට උදව් කර ඇත්තේ කුඩු ජාවාරම්කරැවන් වුවත් ඉන්දියාවේදී බාර ගැනීමට සිට ඇත්තේ ගුණාලා විසිනි. එහෙත් ඔහු ඊට පෙර පොලීසියට කොටුවිය.
කෙසේ වෙතත් ගුණාගේ කණ්ඩායම දැන් එරට සිටින ප්‍රබල කල්ලියක් වන අතර ඔවුහු දකුණු ඉන්දියානු කුඩු ජාලය මෙහෙයවති. එහෙත් දකුණු ඉන්දියානු කුඩුවලට මෙරට මාර්කට් එකක් නැති නිසා ඔහු මෙරට ජාවරම්කරැවන් එහාට පැන්න පසු නිවාස ආරක්ෂාව ලබාදී රටින් පිටකිරීම සිදුකරනු ලබයි. ඒ සඳහා ගුණා විශාල මුදලක් ලබාගන්නා බවද සඳහන් වේ.
• ජාවාරම්කරුවන්ගේ ලණු කෑ පොලීසිය
මේ ජාවාරමට බොහෝ පොලිස් නිලධාරීන් සම්බන්ධ වන්නේ අධික මුදල් උපයාගත හැකි මාර්ගයක් නිසාය. එකී අධික මුදල්වලට ඇති ඇතැම්හු කෑදරකම නිසා කුඩු අත්අඩංගුවට නොගෙන සිටියා නොව කුඩු අල්ලා විකුණන තැනට පත්වූහ. එහෙත් කළකම් පලදේ බව සනාථ කරමින් මිනුවන්ගොඩ ටයිල් චමින්ද හරහා බොහෝදෙනාගේ මේ වෙස්මුහුණු ගැලවිණි.
තොරතුරු ලබාගැනීම සඳහා ජාවාරම්කරුවන් සමඟ මිත්‍ර වන පොලීසිය අවසානයේ නොදැනුවත්වම ඔවුන්ගේ ගිරයට අසුවන්නේ ඔවුන්ගේ ඔත්තුකරැවන් හරහාය. එනම් ඔත්තුවක් වෙනුවට ලැබෙන මුදලකට වඩා තවත් කුඩු ටිකක් රටට ගෙන ඒමේ ගිවිසුම් මත සිදුකරන බොහෝ වැටලීම්වල අවසානය වන්නේ තව තවත් කුඩුවලින් රට පිරවීම පමණකි. අවසානයේ ඔත්තුකරැවන්ම ගෙනෙන යෝජනාවලට අනුව සිදුකරන ගනුදෙනු මත පොලිස් නිලධාරීහු මහා පරිමාණයෙන් මේ ජාලවල ක්රියාකාරිකයන් වී සිටිති.
මේ සියල්ලෙහි ගෝඩ් ෆාදර් වෙලේ සුදාය. සුදා හැමදාම පොලීසියේ මහත්වරු හමුවේ හුරතල් වෙමින් සිදුකළේ පොලීසියටම කොකා පෙන්වීමය. තමන්ට බරක් වන සියලුදෙනා සුදා විසින් ඔත්තු දී ඇල්ලුවා පමණක් නොව ඒ හරහා ලැබුණු ප්‍රසිද්ධිය සහ ධනයෙන් පොලිස් නිලධාරීන්ගේ ඇස් අන්ධ විය. අවසානයේ ඔවුන් සිදුකළේ මහා ජාවාරම්කරැවන්ටත් කොකා පෙන්නා ඇතුළේ කුඩු ව්‍යාපාරය තමන් විසින් සිදුකරගෙන යාමයි. එහෙත් ඔවුන්ට එකක් අමතක විය. කුඩු දාම් බෝඩ් එකේ ඉත්තන් අදින්නේ ජාත්‍යන්තරව නිසා ඉත්තන් ඉන්නවාද නැද්ද යන්න තීරණය කිරීම ඔවුන් සතුවන නිසාය. ඒ නිසා ඉත්තන් කපාගෙන ඉදිරියට යන ඕනෑම ඉත්තකුගේ අවසන් ඉරණම ජාත්‍යන්තර කුඩු ජාලය විසින් විසඳනු ඇත. ඒ ඊට හොඳම උදාහරණය වර්තමානයයි.
ගයාන් ගාල්ලගේ