2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

සාහිත්‍ය සම්මාන යටින් උත්සවාකාර ගේම්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

ඇල්මැරී තිබූ සාහිත්‍යයට උණුසුමක් ලබාදෙමින් සාහිත්‍ය සම්මාන සමය ඇරඹී තිබේ. මේ සමඟම සම්මාන උළෙලවලට එල්ල කරන විචාර විවේචන ද අඩුවක් නැතිව මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද දැකගැනීමට ලැබේ. මුලින්ම පැවැත්වූ සම්මාන උළෙල වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශය සංවිධානය කරන විද්‍යෝදය සම්මාන උළෙලය.

සැප්තැම්බර් 2දා උළෙල පැවැත්වූ දින සිටම එයට එල්ලවන විවේචන බරපතළය. සම්මාන උත්සවයට පෙර දින ඒ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූ පුවත්පතක අන්තර්ජාල සංස්කරණයේ සම්මානලාභීන්ගේ නම් සහ පොත්වල පිටකවර පළ කෙරිණි. එයට අනුව අනුරාධා නිල්මිණීගේ රිදුම් පිරිමැදුම් කවිපොත, අනුරසිරි හෙට්ටිගේගේ මැරීන් ඩ්‍රයිව් කෙටිකතා සංග්‍රහය, එරික් ඉලයප්පආරච්චිගේ පේත නවකතාව, යසවර්ධන රුද්රිගූගේගේ යසයාගේ වාක්කිය තීරුලිපි සංග්‍රහය යන කෘතිවලට සම්මාන හිමිව ඇති බව සඳහන්ව තිබුණි. ඒ අතරම සම්මාන උළෙලේ සංවිධායකයන් විසින් ඒ ඒ ලේඛක ලේඛිකාවන්ට දුරකථනයෙන් පවසා අනිවාර්යයෙන් පැමිණෙන ලෙසද දැනුම් දී තිබුණි. ඒත් සම්මාන ප්‍රදානය කිරීමේදී ප්‍රතිඵල ලේඛනයේ වෙනස්කම් සිදුවූ අතර ගීත රචනා ක්ෂේත්‍රයේ සම්මානය කපාහැර තිබුණි.

සම්මාන උළෙලේ සංවිධායිකා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ උත්සව සභාවේදී පැවසුවේ හොඳම ගීත රචනා සංග්‍රහයක් සඳහා සම්මාන පිරිනොනැමීමට සංවිධායක කමිටුව තීරණය කළ බවය. ඒත් ඒ සිද්ධියට යටින් වෙනම ගේමක් ක්‍රියාත්මක වූ බව සමාජමාධ්‍ය ඔස්සේ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ ද හෙළිදරව් විණි. මේ අතර ගීත රචනා කෘති විනිශ්චය කළ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ ගීත රචනා සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනයත් හා බාහිරින් ඊට අතපෙවූ මහාචාර්යවරයකුත් තමනට බලපෑම් කළ බව පවසමිනි. ඒ ගැන මහාචාර්ය සුනේත්‍රා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ ලිපියේ මෙසේ සඳහන් වේ.

අවසාන ගීත පොත් පහ තේරී සති දෙකක් පමණ ගතවන තෙක්ම උක්ත මහාචාර්යවරයාට හෝ සංවිධායිකාවට කිසිදු විරෝධයක් නොතිබිණි. සම්මානය හිමි කෘතිය රත්න ශ්‍රී ගේ සුවඳ මුවරද යැයි නිර්දේශය මා විසින් ලබාදීමෙන් අනතුරැව මේ දෙදෙනාට උභතෝකෝටික ප්‍රශ්නයක් මතුවිය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කල්ලි ගැසී සම්මාන ලබාදීමේ කූඨ ව්‍යාපාරයක් මේ රටේ ඇති බවයි.

කාව්‍ය කෘතිය සඳහා සම්මාන ලබාගැනීමට පවුලේ අයත් සමඟ පැමිණෙන ලෙස අනුරාධා නිල්මිණීට දුරකථනයෙන් දැනුම් දී තිබුණි. ඒත් සම්මානය හිමිවූයේ ඇයට නොව අජිත් තිලකරත්න කවියාගේ මොන තරම් අවුලක්ද? පොතටය. අනුරසිරි හෙට්ටිගේට කෙටිකතා පොතට හිමි සම්මානය වෙනුවට ලැබුණේ තීරුලිපි කෘතියට සම සම්මානයකි. මේ ගැන මුහුණුපොතට සටහනක් එක්කරමින් ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන මෙසේ සඳහන් කර තිබුණි. මරු නේද විශ්වවිද්‍යාල සාහිත්‍ය උළෙලවල්. කොහොම තිබුණු තැන්ද මේ වගේ ගඳ ගහන වැඩ කරන්නේ. කොහොම වුණත් මේ සාහිත්‍ය මාෆියාවෙන් සමීක්ෂිකාවක් හැටියට තමන්ගේ විනිශ්චයට ආපු ආයතනික බලහත්කාරකමට විරැද්ධව නීතිය හමුවට යන්න මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ ගත්ත තීරණය අභීත එකක්.

මේ ගැන කවි කපිල එම්. ගමගේ ද මුහුණුපොතට සටහනක් එක්කර තිබුණි. මම අනුරාධාට කිව්වෙ දිගටම ලියන්න.. ලංකාවේ සම්මාන කියන්නෙ කල්ලි කණ්ඩායම්, ගුරු ගෝල, ස්ත්‍රී පුරැෂභාවය, මිල මුදල්, තෑගි පාර්සල් මත පදනම් වූ ඒවා මිසෙක නිවැරදි ඇගැයීම් නිර්ණායක නොවේ. දැනුමේ ඉහළම ආයතනයක් ලෙස සැලකෙන විශ්වවිද්‍යාලයක මෙහෙම වීම අපේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ඛේදවාචකයක්.

හොඳම කෙටිකතා කෘතියට (විශ්‍රාමික පෙම්වතිය) සහ හොඳම නවකතාවට (පේත) හිමි සම්මානය එරික් ඉලයප්පආරච්චිට හිමිවිය. ඔහු පවසන්නේ ලංකාවේ පොදු සාහිත්‍ය විචාර භාවිතයක් නැතිවීම මෙවැනි ගැටලුවලට හේතුවන බවය.

22 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය 10දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී නවකතා (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) කෙටිකතා, පද්‍ය, යොවුන් නවකතා, පරිවර්තන සාහිත්‍ය, ශාස්ත්‍රීය කෘති, පුවත්පත් තීරුලිපි, දෙමළෙන් සිංහලට පරිවර්තිත කෘති ආදී වශයෙන් සම්මාන හිමිවිණි. හොඳම නවකතාව ලෙස සුනේත්‍රා රාජකරැණානායකගේ නිෂ්කාන්ත්‍රිය සම්මානයට පාත්‍ර විය. ප්‍රශස්ත නවක දායකත්වය වශයෙන් සම්මාන හිමිවූයේ සුරත් ද මැල්ගේ තී හා තා ය. මේ කෘති දෙකම ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘති ලෙස ද ඇගැයීමට ලක්විය.

මෙම සම්මාන උළෙලේද කෙටිකතාවට හිමි සම්මානය එරික් ඉලයප්පආරච්චිට හිමිවිය. හොඳම තීරැලිපි සංග්‍රහය වූයේ චමල් අකලංක පොල්වත්තගේ සහ සුජිත් අන්නමලේගේ ශ්‍රී විකාරයි. හොඳම ශාස්ත්‍රීය කෘති ලෙස රෝහණ සෙනෙවිරත්නගේ කෘතිය (සුරභාරතීවර්ණාර්ථමහාර්ණවබින්දු) සහ සිරිනිමල් ලක්දුසිංහගේ ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා කෘති තේරුණි.

ගොඩගේ සම්මාන උළෙලට එල්ලවන චෝදනාවක් වන්නේ සම සම්මාන බහුලව ප්‍රදානය කිරීමය. අදාළ කෘති අතරින් හොඳම එක් කෘතියක් තෝරාගැනීමට විනිශ්චය මණ්ඩලය අපොහොසත් වීම ඉන් පැහැදිලි වේ. මෙවරත් යොවුන් නවකතා දෙකක්ද (ඒත් අපි පියාඹමු - සුජාතා අලහකෝන් සහ හත F - බුවනෙක වන්නිආරච්චි) හොඳම කවිපොත් දෙකක්ද (සරමිණි සුමුගුව - කුමාර හෙට්ටිආරච්චි, රන්වන් පත් - සුනන්දා රණසිංහ) හොඳම පරිවර්තන කෘති දෙකක් (මුල් කවය - ඩබ්ලිව්.ඒ. අබේසිංහ, විවාහකයා - චන්ද්‍ර ශ්‍රී රණසිංහ) ද වශයෙන් සම සම්මාන පිරිනැමුණි. මේ ගැන අපි ඇසුවේ ගොඩගේ සම්මාන උළෙලේ සංවිධායක අනුරසිරි හෙට්ටිගේගෙනි. ඒක සිදුවන්නේ සමීක්ෂකයන්ගෙ අතින්. පෞද්ගලිකව මම පිළිගන්නවා කෘතියකට සම සම්මාන දීමෙන් එකඟතාව පිළිබඳ ගැටලුවක් පවතින බව. නමුත් සමීක්ෂකයන් එසේ නිර්දේශ කළහොත් අපට එය පිළිගැනීමට සිදුවෙනවා. මුල් වටයෙන් කෘති අවසන් වටයට පිවිසෙන්නේ ලකුණු ක්‍රමයක් මගින්. අවසන් කෘතිය තෝරාගන්නේ සමීක්ෂකයන් එකතුවෙලා සාකච්ඡා කරලා. අවසන් වටයට පිවිසෙන කෘති අතර ලකුණු මට්ටමින් තිබෙන්නේ පොඩි වෙනසක් පමණයි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සම්මාන උළෙල වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පසුගිය 12 වැනි සෙනසුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මාන ශාලාවේදී පැවැත්විණි. මුලින්ම පවතින වාතාවරණය යටතේ සම්මාන උත්සවයක් නොපැවැත්වීමට තීරණය කර තිබුණද පසුව සෞඛ්‍ය අංශවල නිර්දේශ මත එය පැවැත්විණි.

එහෙත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මනමාලිය නැති මඟුල් ගෙදර මෙන් විය. එයට හේතුව ප්‍රශස්ත කෘති අතරින් ස්වර්ණ පුස්තකය වූ පේත නවකතාව රචනා කළ එරික් ඉලයප්පආරච්චි සම්මාන උළෙලට පැමිණ නොසිටීමය. ඔහු වෙනුවෙන් සම්මානය ලබාගත්තේ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්තිය. මේ නිසා 18 වැනි සිකුරාදා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී රජත පුස්තක සම්මාන ප්‍රදානයත් සමඟ ස්වර්ණ පුස්තක සම්මානය ද නැවත පිරිනැමීමට නියමිත බව ප්‍රකාශකයන්ගේ සංගමය කීවේය.

මේ පිළිබඳව සමාජ මාධ්‍යවල විවේචන බහුලව සංසරණය වනු දැකගත හැකි විය. අප ඒ ගැන විමසුවේ ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරියගෙනි. මෙතන කිසිම අත්වැරදීමක් වුණේ නෑ. අවසන් කෘති හතර ගැනම වීඩියෝ ක්ලිප් හදනවා. එරික් ඒ ක්ලිප් එකකටත් ආවා. ඔහු දිනය පටලවාගෙන ඇති නිසයි ඇවිත් නැත්තේ. අපි පොත පළකළ ගොඩගේ ආයතනයට දුරකථනයෙන් පැවසුවා. අනෙක් සියලුම ප්‍රකාශන ආයතන ඔවුන්ට හිමි ආරාධනාපත් පැමිණ රුගෙන ගියා. ඒ අතර අපි තැපෑලෙන් ලිපියක් සමඟ ආරාධනාපත්‍රයක් ද යැව්වා. හැම ලේඛකයෙක්ම ගෙන්වාගැනීමේ වගකීම තිබෙන්නේ ප්‍රකාශකයන්ට. පසුගිය අවුරැදු 14 තුළම සිදුවූයේ එයයි. තමන් අවසන් කෘති අතර සිටින නිසා ත්‍යාගයක් තිබෙන බව ඔහු කොහොමත් දන්නවනේ. ඇත්තටම මෙතන වෙලා තිබෙන්නේ ඔහු දිනය පටලවාගැනීමයි. වෙන කිසිම දෙයක් නොවේ.

පේත නවකතාව තුන් ඈදුතු නවකතාවක අවසන් කොටස වේ. එහි මුල් කොටස බගන්දරාය. දෙවැනි කොටස රතු පලසය. පරම්පරා තුනක දේශපාලන විකාශනයක් මේ මගින් මතුකර පෙන්වයි. මෙය නවකතාවක් නොව නවෙල්ලා නමින් හැඳින්වෙන කුඩා නවකතාවක් බව කතුවරයාම පසුවදනේ සඳහන් කර තිබේ. එවැනි කුඩා කෘතියකට සම්මානය දිය හැකිදැයි සමහරැ ප්‍රශ්න කරති.

අපි එරික් ඉලයප්පආරච්චිට කතා කළේ මේ ගැන ඔහුගේ අදහස කුමක්දැයි විමසීමටය. ඇත්තටම මම සම්මාන උත්සවය පවත්වන දිනය නිශ්චිතව දැනගෙන හිටියේ නෑ. රජත පුස්තක සම්මාන උත්සවයත් පවත්වපු නැති නිසා මේකත් නොතියා 18දා ත්‍යාග ලබාදේවි යැයි සිතුවා. මගෙ ඔළුවෙ වැඩ කළේ ඒ දිනයයි. තැපැල් මගින් එවූ ආරාධනා පත්‍රය ලැබුණේ නෑ. මේක තාක්ෂණික දෝෂයක් නිසා වුණු දෙයක් ඔහු කීවේ සිනහ වෙමිනි.

 කුසුම්සිරි විජයවර්ධන