2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

වසර පහකට පසු යළි පණ ලබන මත්තල ගුවන් තොටුපොළ

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:48 85

ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් ඉදි වූ හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවස්ථා ගණනාවකදීම මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේද දැඩි අවධානයට යොමු වූ ස්ථානයක් ලෙසින් ඉතා ප්‍රකටය. 2009 වසරේ නොවැම්බර් 27 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ගුවන් තොටුපොළ 2013.03.18 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්ම ජනතා අයිතියට පත්කෙරැණේ විශාල ජනතා ආකර්ෂණයක්ද හිමි කරගනිමිනි. සම්පූර්ණ වැඩ නිම වූ පසු හෙක්ටයාර 2000ක තරම් භූමි බාගයක විසිරී පවතින මෙම ගුවන් තොටුපොළ සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 210කි.

මත්තල ගුවන් තොටුපොළක් ඉදිකර එය ජනතාවට නැරඹීමටද අවස්ථාව ලබාදෙමින් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා දියත් කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන්ම එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්ය. මේ නිසාවෙන් විපක්ෂයට එය විඳ දරාගැනීමට නොහැකි විය. මේ නිසාම විපක්ෂයට දේශපාලනිකව කුමක් හෝ මාතෘකාවක් කරළියට ගෙන ආ යුතුව තිබුණි. ඒ අනුව විපක්ෂයේ පිරිස් මත්තල ඉදිවූ ගුවන් තොටුපොළෙහි විවිධ අඩුපාඩු ඇති බවට ජනතාවට ඒත්තු ගන්වන්නට විය. ගුවන් යානා මත්තලට පැමිණීමේදී වන සතුන්ගෙන් සිදුවන හානිය වැඩි බව පවසමින් විපක්ෂයේ ඇතැම් පිරිස් ලාංකික ජනතාවට වගේම විදෙස් රටවලටද ගතු කියන්නට විය. මේ නිසාම ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට සිය ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට පෙර දෙපාරක් සිතා බැලීමට සිදුවිය.

2015 වසර වනවිට මත්තල රාජපක්ෂ  ගුවන් තොටුපොළ ගුවන් යානා පැමිණීමට නුසුදුසු ගුවන් තොටුපොළක් බවට ප්‍රචලිත කිරීමට එදා විපක්ෂය කටයුතු කළත් එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය දිනපතා ගුවන් ගමන් වාර කිහිපයක් මත්තල ගුවන්තොටින් ආරම්භ කිරීමට කටයුතු කෙරුණි.

මේ අතර පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වීමත් සමග බලයට ආවේ රනිල්-මෛත්‍රි ප්‍රමුඛ යහපාලන රජයයි. ආරම්භයේ පටන් විවිධ බාධක මධ්‍යයේ පවත්වාගෙන ආ මත්තල ගුවන් තොටුපොළට කණකොකා හඬන්නට වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් මොකටද කියූ එදා සිටි පාලකයින් මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමට තීන්දු කෙරුණි. ඒ අනුව ස්කෑනින් යන්ත්‍ර, අධි තාක්ෂණික ගිනි නිවීමේ යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතාගාර කාමර සහිත රුපියල් කෝටි 200ක පමණ වටිනාකමක් සහිත වූ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ගබඩාව වී ගබඩාවක් බවට පත්කෙරුණේ විශාල ජනතාවකගේ විරෝධතා හමුවේය. මේ හේතුව නිසාම මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ ජාත්‍යන්තරික වශයෙන් අපකීර්තියට පත් වූ අතර ලොව වී ගබඩාවක් වූ එකම ගුවන් තොටුපොළ පිහිටා ඇත්තේ ලංකාවේ බවද ලොවම දැනගත්තේය. මත්තල වී ගබඩා කිරීමත් සමග එතෙක් මත්තලට පැමිණි ගුවන් යානා කිහිපයද සිය ගමන්වාර නවතා දැමීමට පියවර ගත්තේය. පාලකයන්ගේ තිබූ පටු දේශපාලන අරමුණු නිසා මත්තල ගුවන් තොටුපොළ ගෙවුණු වසර 05කට ආසන්න කාලයක් පැවතියේ නමට පමණි.

කෙසේ වෙතත් පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී නැවතත් ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් ඇති වූ නව රජය යටතේ මත්තල යළි පණ ලබන්නට විය. ඒ අනුව වත්මන් රජය බලයට පත් වී ඉතා කෙටි කලක් තුළ සිටම යළි මත්තලට ගුවන් යානා පැමිණීම ආරම්භ කෙරැණි. ගෙවුණු වසර පහක කාලය තුළදී එකදු ගුවන් යානයක්වත් නොපැමිණි මත්තලට අද වනවිට දිනකට ගුවන් යානා පහක් හයක් තරම් පැමිණීම දක්වා වර්ධනය වී තිබේ. ඒ පැමිණෙන ගුවන් යානා අතරට ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානාද පැමිණීම විශේෂත්වයකි. එමෙන්ම වත්මන් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් සේවා අමාත්‍යවරැන්ද සිය රාජකාරි අරඹමින් පැවසුවේ කටුනායක ගුවන් තොටුපොළට නොදෙවෙනි ලෙස මත්තල ගුවන් තොටුපොළත් සංවර්ධනය කරන බවයි.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා:

යහපාලන ආණ්ඩුව සමයේ වී ගබඩා කර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සිදුකළ හානිය නියම පරික්ෂණයක් කර වගකිවයුත්තන්ගෙන් එය අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. මේ රටට විශාල මුදලක් ගේන්න තිබුණු මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ තමයි යහපාලන ආණ්ඩුව විසින් මේ හිතාමතාම වී ගබඩා කර පාඩු ලබන ස්ථානයක් බවට පෙන්වන්න කටයුතු කළේ හා විනාශ කළේ. ඒ නිසා අපි මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා ඊට සම්බන්ධ අයට දඬුවම් කරනවා විතරක් නෙමෙයි එම පාඩුව ඒ අයගෙන් අයකර ගැනීමටත් කටයුතු කරනවා. පසුගිය වසර පහ තුළදී මත්තලට අහිමිවුණු සංවර්ධනය අපි යළි ආරම්භ කරනවා. අද වනවිට මත්තල ගුවන් තොටුපොළ සක්‍රීය ගුවන් තොටුපොළක් බවට පත්කරලා ලාභ උපයන තැනක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා සංචාරකයන්ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය සියළු පහසුකම් ගුවන් තොටුපොළ තුළ ස්ථාපනය කරනවා. පවතින කොරෝනා තත්ත්වයට මුහුණදීම සඳහා මත්තල ගුවන් තොටුපොළ තුළ වෛද්‍ය රසායනාගාරයක් ආරම්භ කිරීම කෙරෙහිත් අවධානය යොමුවෙලා තියෙනවා. ඒ තුළින් මත්තලින් දිවයිනට පැමිණෙන මගින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ මෙහිදීම සිදුකළ හැකියි. මේ වනවිට මත්තලට පැමිණෙන ගුවන් යානා සඳහා විශාල පහසුකම් රුසක් අපි ලබාදීමට පියවර අරගෙන තියෙනවා. ඉදිරි වසර කිහිපය තුළ මත්තල ගුවන් තොටුපොළ සක්‍රීය හා කාර්යබහුල ගුවන්තොටුපොළක් බවට පත් කරනවා යැයි පැවසීය.

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මෙලෙස පැවසීය.

&මත්තල ගුවන් තොටුපොළ මේ වනවිට සක්‍රීය ගුවන් තොටුපොළක් බවට පත්ව තියෙනවා. මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව පැවති දුර්මතය තුරන් කිරීම සඳහා අපි ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්වලට මත්තල සංචාරයකට එන්න කියලා ආරාධනා කළා. ඒ අනුව මත්තලට ආ ගුවන් සමාගම් නියෝජිතයන් පවා පුදුම වුණා මත්තල ගුවන් තොටුපොළ දැකලා. ඒ විතරක් නෙමේ එම නියෝජිතයන් සිය ගුවන් සමාගම් දැනුවත් කරලා ඔවුන්ට අයත් ගුවන් යානා මත්තලට පැමිණීමට එකඟතාවය පළකළා. මේ වනවිට සංචාරක අමාත්‍යවරයා විසින් මත්තලට ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නවතා තැබීමේදී අයකරන ගාස්තුව වසරක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළට සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවයි මේ තීරණය ගත්තේ. ඊට අදාළ ගැසට් නිවේදනයත් පසුගිය 08 දින ප්‍රකාශයට පක් කිරීමට කටයුතු කෙරැණා. එමෙන්ම මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානයක් පැමිණි පසු සිදුකරනු ලබන බිම් මෙහෙවර සේවාව සඳහාත් ඉදිරියේදී සැලකිය යුතු වට්ටමක් ලබා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා. දකුණු මුහුදු තීරයට පැමිණෙන විදේශීය සංචාරකයින් ඉදිරියේදී මත්තල හරහා දිවයිනට ගෙන්වා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළවල් රුසක් මේ වනවිට ආරම්භ කර තියෙනවා* යැයි පැවසීය.

මත්තල ගුවන් තොටුපොළේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසුරිය මහතා මෙලෙස පැවසීය.

මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත්ව තියෙනවා. විශේෂයෙන්ම අද වනවිට මත්තල නාවිකයන් හුවමාරැ කිරීමේ ප්‍රධාන හුවමාරැ මධ්‍යස්ථානයක් බවට පත්ව තියෙනවා. ඒ වගේම ගුවන් භාණ්ඩ රුගත් ප්‍රථම ගුවන් යානය 2020.08.09 පස්වරැ 5.45ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. ඒ ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරන ගුවන් යානයෙන් දේශීය ඇඟළුම් නිෂ්පාදන ටොන් 28ක් රැගෙන. ඊට පසුව නැවත සළාම් ගුවන් සේවයට අයත් OV 1432 දරන ගුවන් යානයෙන් දේශීය එළවළු හා පළතුරැ කිලෝ 3371ක ප්‍රමාණයක් ඕමානයේ මස්කට් නුවර බලා රුගෙන ගියා. ඉන්පසු දිගින් දිගටම මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළින් භාණ්ඩ අපනයන ගුවන් යානා පිටව ගියා. ගුවන් භාණ්ඩ අපනයනකරුවන් පවා මත්තලින් සිය ගුවන් භාණ්ඩ අපනයනය කිරීමට කැමැත්ත පළකර තියෙනවා. මේ වනවිට ගුවන් භාණ්ඩ අපනයන මධ්‍යස්ථානයක් ලෙස වගේම නාවිකයන් හුවමාරැ කිරීමේ ස්ථානයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ ඉතා ප්‍රචලිත ‍වෙලා තියෙනවා. පසුගිය ජුනි සහ ජූලි මාසවලදී පමණක් ගුවන් ගමන් වාර 62ක් හසුරැවමින් ගුවන් මගීන් 2212 කට සේවා සැපයීමට මත්තල ගුවන් තොටුපොළ සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වනවිට මත්තලට පැමිණෙන ගුවන් යානාවලින් අයකරන හා ගුවන් යානාවක් නවතා තැබීමේදී අයකරන ගුවන් තොටුපොළ බද්ධ වසරක කාලයක් අය නොකිරීමටත් තීන්දු කර තියෙනවා. ඒ හරහා මත්තලට වැඩි වශයෙන් ගුවන් යානා පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

සටහන හා සේයා රූ  

 සූරියවැව නුවන් ජයසේකර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02