මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා කොබෙයිගනේ පාසලක වේදිකාවේ රඟපාද්දී හිටිගමන් වේදිකාවේ ලෑලිත් කඩාගෙන අපායට ගිය කතාවක් මීට පෙර ඔබ අසා තිබුණාද? ප්‍රේක්ෂකයින්ට මේ සිද්ධියෙන් සිනාසෙන්නද? අඬන්නදැයි නොදැන සූ කියන ශබ්දය පමණක් ඔවුන්ගේ හඬ ශාලාව පුරා පැතිර ගියහ. මේ අත්දැකීමට ලක්වූ ප්‍රතිභාන්විත නළුවා විජය නන්දසිරිය.
විජය නන්දසිරි හා මේ ලියුම්කරුගේ සම්බන්ධයට වසර 50 පිරීමට ඔන්න මෙන්න තිබියදී ගල්කිස්ස කලාපුර නිවසකදී හරියටම ඔහු ජීවිතයෙන් සමුගැනීමට වසර දෙකකට ඉහත, 2016 අගෝස්තු 04 වැනිදා විජයත් ඔහුගේ දයාබර බිරිය දේවිකා මිහිරානිත් හමුවූ බව දිනපොතේ ලියැවී ඇත.
මොකක්ද නන්දේ, අර මනමේ කරන්න ගිහින් වේදිකාව කඩාගෙන වැටුණ කතාව?* මෙම ලියුම්කරු ඇසුවේය.
ඒක මතක් වෙනකොටත් ඇඟ කිළිපොලා යනවා. විජය හරිබරි ගැසී ඉඳගත්තේය.
කොබෙයිගනේ ඉස්කෝලේ උත්සව ශාලාව අලුතින් හදපු ශාලාවක්. මම රඟපෑවේ මනමේ කුමාරයාට. කුමරිය ලෙස රඟපෑවේ යශෝධරා සරච්චන්ද්‍ර. වැදි රජුට රඟපෑවේ සමරවික්‍රම කියන නළුවා. දැන් මනමේ කුමාරයයි වැදි රජුයි සටනට අවතීර්ණ වෙලා.
මගේ තෙද බල නොම දැන - ආවද මා සමඟ සටනටා...
මම උඩ පනිමින් ගී ඛණ්ඩය කිව්ව විතරයි වේදිකාවේ ලෑලිත් කඩාගෙන මාව පහළට වැටුණා. මම හිටියේ අන්ද මන්ද වෙලා. හරියට මම හිස දන්දුන් සිරිසඟබෝ රජු වගේ මගේ හිස විතරයි ප්‍රේක්ෂකයන්ට පෙනෙන්නේ. මේ වෙලාවේ වේදිකාවේ තිරය වැහැව්වේ නැහැ. වැදි රජ්ජුරැවෝ දුනු හී තල පැත්තක තියලා මාව උඩට ගන්න උත්සාහ කළා. වාසනාවට මට සුළු තුවාලයක්වත් වෙලා තිබුණේ නැහැ. ආයෙත් අපි සටන අළුතින් පටන් ගත්තා.
විජය නන්දසිරි සිනාවෙන් ජීවත් වූ අපූරැ රසවතෙක්, දයාබර සැමියෙක් වගේම සෙනෙහෙබර පියෙක්. විජය 1949 මැයි 06 වැනිදා මහරගම උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම කලාවට, රඟපෑමට ආශා කොට ඇත. හතරවැනි පන්තියේදී වෙස්සන්තර නාට්‍යයේ රජ මාලිගයේ හේවායෙක් හැටියටයි රඟපා ඇත්තේ. ඒ ගැන විජයට තවත් අත්දැකීමක් අපට කියන්නට තිබුණි.
මම මුලින්ම වේදිකාවට පිවිසුණේ වෙස්සන්තර නාට්‍යයෙන්. අපේ පන්ති භාර ගුරු මහත්මිය වූයේ මියුලින් පෙරේරා මහත්මිය. එතුමිය සරසවිය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ විමලසිරි පෙරේරා මහතාගේ බිරිය.
රජ සභාවේ හේවායන්ට රඟපාන ළමයින් අම්මාට කියලා පරණ සාරියක් ඉල්ලගෙන එන්න. මියුලින් ගුරු මහත්මිය කීවා.
මම අම්මා විවාහයේ දෙවැනි ගමනට ඇඳපු රතු සාරිය අරගෙන හේවායාට උචිත ලෙස ඇඳගත්තා.
අයියෝ විජය මේ සාරිය හොද වැඩිනේ. අම්මගෙන් පරණ සාරියක් ඉල්ලගෙන එන්න.
නෑ.... අම්මා තමයි මේක තෝරලා දුන්නේ...
එහෙනං අම්මට මීට වඩා වටිනා සාරි ඇති... ගුරු මහත්මිය කිව්වාය.
මම වෙස්සන්තර නාට්‍යය ගෙදර පුහුණුවෙනවා දැකලා අම්මා කිව්වා පුතා හොඳට රඟපානවා. මගේ හොඳම සාරිය දෙනවා කියලා.
මගේ කලාවට අත්වැල, පදනම දැම්මේ මියුලින් පෙරේරා හා එම්.වයි. පෙරේරා කියන ගුරැ මහත්මීන්. වෙස්සන්තර නාට්‍යයේ හා පුරා කියලා රඟපාන්න ගිය දවසේ සෙනඟ දැකලා මගේ කකුල් දෙකම ගැහෙන්න ගත්තා. කොටින්ම උණ ගත්තා.
ඉළුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැණු දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක තුන්වැන්නාය. විජයගේ පියා සයිමන් සිංඤෝය. ඔහු ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර දෝන කැරලයින් සේනාධීර නම් මව සෞඛ්‍ය දෙපාර්තමේන්තුමේත් කොළඹ ජාතික රෝහලේත් සේවය කළාය. පවුලේ අයගෙන් කලාවට සම්බන්ධ එක් සොහොයුරෙක් වූ සුජිත් ඉළුක්පිටිය රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ප්‍රතිභාපූර්ණ නර්ථන ශිල්පියෙකි. දැන් ඔහු ඉතාලියේ රෝම නගරයේ නර්තන පාසලක් පවත්වාගෙන යයි.
විජය නන්දසිරි 1965 වසරේ ප්‍රේමසිරි නාවලගේ නිෂ්පාදනය කළ පරවුණු මල් නාට්‍යයේ රඟපෑමෙන් වේදිකාවට පැමිණියේය.
මම ප්‍රසිද්ධ වේදිකාවට ආවේ 1966 අමරදාස ජයතුංගගේ වීදුරු දුව නාට්‍යයේ උප සෙනෙවිගේ චරිතයෙන්.
විජයගේ ප්‍රථම ආදර නාටකය ඇරුඹෙන්නේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලයේදීය. මිශ්‍ර පාසලක් වූ විද්‍යාකරයේ සිටි ලස්සන ශිෂ්‍යාවකට විජය පෙම් බැන්දේය. ඒ කතාව විජය අපට විස්තර කරද්දී ඔහුගේ බිරිය දේවිකා මිහිරානි අසා සිටියේ කුහුලෙනි.
මම ඇයට පෙම් හසුනක් පොතක් ඇතුළේ දාලා දුන්නා. ඇය මගේ උපන්දිනය දා ලේන්සු තුනක් තෑගි දුන්නා. එහෙත් අපේ ප්‍රේමය වැඩිදුර නොගියේ වැඩිහිටියන් එදිරිවීම නිසා. ඒ කාලේ අපි හිටියේ එච්.එස්.සී. පන්තියේ. මමත් මගේ හොඳම යාළුවෝ දෙන්නා වූ මොරිස් හා සෝමරත්නත් විවේක කාලයේ ජෝතිපාලගේ ගීත කියමින් හිටියා. ඉඳහිට මොහිදීන් බෙග්ගේ ගීත කිව්වා. අපේ පන්තියේ ගැහැනු ළමයි හයදෙනෙක් හිටියා. අපි සුනිල් සාන්තගේ ගීතයක් ගැයුවා.
කෝකිලයන්ගේ - කෝකිල නාදේ...
අපේ පන්තියේ හිටියා මල්ලිකා කියලා ලස්සන ගැහැනු ළමයෙක්. අපි ගීතයේ අන්තිම කොටස මගේ අසෝකා වෙනස් කරලා ගැයුවා.
මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරි... මගේ අසෝකා - මගේ මල්ලිකා....
මල්ලිකාට හොඳටම කේන්ති ගිහින් රවාගෙන එළියට බැහැලා කෙළින්ම විදුහල්පති ගාවට ගියා. ගියේ ටික වෙලාවයි කාර්යාල සහායක අපේ පන්තියට ඇවිත් මෙහෙම කිව්වා.
අන්න ඔය ළමයින්ට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා....
මමත්, මොරිස් හා සෝමරත්නත් ප්‍රින්සිපල්ගේ කාමරයට ගියා.
දණ ගහනවා...
අපි දණ ගහගෙන හිටියා වටේ ගොස් විදුහල්පතිතුමා මගේ කම්මුලට වේගවත් පහරක් දුන්නා. හරි සනීපයි.
හා තමුසේ නාට්‍ය රඟපානවා නේද? තමුසෙලා ගෑනු ළමයිට විහිළු කරනවා නේද?
නෑ සර්... අපි සුනිල් සාන්තගේ සින්දුවක් කිව්වේ....
හා එහෙමද මාටින් ගිහිල්ලා සුනිල් සාන්තටත් එන්න කියනවා. විදුහල්පති එහෙම කියනකොට කාර්යාල සහායකට හිනා ගියා. අපිටත් හිනා. විදුහල්පතිවරයාට සුනිල් සාන්ත ගැන දැනුමක් නොතිබුණත් සේවාකයා සුනිල් සාන්තගේ රසිකයෙක්.
සර්, සුනිල් සාන්ත කියන්නේ හොඳ ගායකයෙක්නේ?
එහෙනං උඹත් දණ ගහපන්....
කියමින් විජය නන්දසිරි හයියෙන් සිනාසුණා.
විද්‍යාලයීය කැඩෙට් කණ්ඩායමේ ජූනියර් සාජන්ට් කෙනෙකු වූ විජයගේ ඒකායන අරමුණ වූයේ යුද හමුදාවට යන්නය. අම්මා එයට හරස් වූවාය. එහෙත් දෛවය ඔහුව නාට්‍ය කලාවටම කැප කළේය. විජය රඟපෑ වීදුරු දුව නාට්‍ය නැරඹූ දයානන්ද ගුණවර්ධන තම නරි බෑනා නාට්‍යයේ ගමරාළගේ චරිතයටද, බක්මහ අකුණු නාට්‍යයේ මුදලි ලෙසද, ජසයා හා ලෙන්චිනා නාට්‍යයටද තෝරා ගත්තේය. චන්ද්‍රසේන දසනායකගේ රංකඳ නාට්‍යයේ පේරාදෙණිකාරයාගේ චරිතයද, ප්‍රේම ප්‍රේම රංජිත් තිලකරත්නගේ කෝන්තරය මහාචාර්ය සරච්චන්ද්‍ර ෙග් මනමේහි (මනමේ කුමරැ) ලෙසද රඟපෑවේය.
විජය හා දේවිකා මිහිරානිගේ ආදර කතාව විසිතුරැය. විජය ඒ කතාව අපට වරක් හෙළි කළේය.
මම ඒ කාලේ ශේෂා පලිහක්කාරගෙන් නර්තනය හදාරනවා. මේ නිසා මම හවසට සුදර්ශි ශාලාවට යනවා. දවසක් එහි කැන්ටිමේ ලස්සන කෙල්ලක් තම යෙහෙළියන් සමඟ තේ බොමින් සිටියා. නිත්තවෙල ගුණයා ගුරැන්නාන්සේගේ පුතා වූ සෝමදාස නිත්තවෙලගේ උඩරට නැටුම් පන්තියට එන යුවතියකි මේ. එදා වැහිබර සැන්දෑවක්. සුදර්ශියේ ජෑම් ගහ යටදී මේ යුවතියත් සමඟ කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. කතාව පටන් ගත්තේ ඇයයි.
ඔයා මනමේ කුමාරයා නේද?
අපි ආ ගිය දේ කතා කළා. මේ අතර මාව සොයාගෙන සයිමන් නවගත්තේගම සුදර්ශියට ආවා. ඔහුගේ සුභ සහ යස නාට්‍යයේ මහ ඇමැතිගේ චරිතයට මාව තෝරාගත් බව කිව්වා.
විජේ මගේ නාට්‍යයට දාසිගේ චරිතයට ගැහැණු ළමයෙක් ඕනෑ කරලා තියෙනවා.
ඉන්න නැටුම් පන්තියක ඔය චරිතයට හොඳ ළමයෙක් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න.
මම ජෑම් ගහ යට සිටින යෙහෙළියන්ගෙන් මගේ සිත්ගත් තරුණිය ළඟට ගියා.
කතා කළා මිස නමවත් මම දන්නේ නැහැනේ?
මම.... දේවිකා මිහිරානි පෙරේරා.
දේවිකා කැමතිද සයිමන් නවගත්තේගමගේ නාට්‍යයක රඟපාන්න.
කැමතියි. අම්මගෙන් අහල කියන්නම්.
කලාවට ලැදි දේවිකාට මවගේ අවසරය ලැබිණ. එකල ඇය 16 හැවිරිදි නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ සිසුවියකි. සුබ සහ යස නාට්‍ය රඟපෑමේදී දේවිකාගේ ආරක්ෂකයා වූයේ විජයයි. නාට්‍ය අවසන් වී ඇගේ කොහුවල නිවසට ඇරලුවේද ඔහුය. දෙදෙනාම කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයට බැඳී නර්තනය ඉගෙන ගත්හ.
විජය හා දේවිකා 1986දී විවාහ වූ පසු දේවිකා ටෙලිනාට්‍යය ලෝකයේ වැජඹුණාය. ලංකාවේ ප්‍රථම ප්‍රාසාංගික ටෙලිනාට්‍යය වූ නිහාල්සිංහගේ දිමුතු මුතු, රේඛා ඉන් දෙකක් පමණකි. විජය චිත්‍රපට නළුවකු ලෙස කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ නෑදෑයෝ, මංගලා, හිඟන කොල්ලා චිත්‍රපට ඇතුළු චිත්‍රපට රැසක රඟපෑ අතර කුස පබාවතී නාට්‍යය නිෂ්පාදනය කළේය. එය අතිශයෙන් ජනප්‍රිය විය.
විජය හා දේවිකාගේ දියණිය නවාංජලී ව්‍යාපාරික චමින්ද සමග විවාහ වී ඕස්ට්‍රේලියාවේද පුතු රසාංගන සුමිත්‍ර විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරයි.
විජය විකට චරිත රඟපෑමේ සූරයෙකි. රූපවාහිනියේ නෝනාවරුනි - මහත්වරුනි ටෙලිනාට්‍යයේ මෙන්ම සිකුරු හතේ චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රිය නළුවකු වූ ඔහු ජනප්‍රිය හා හොඳම නළුවා සම්මානවලින් පුද ලැබීය.
2016 අගෝස්තු 08 වැනිදා ඔහු ජීවිත සිනමාවෙන් සමුගත්තේය.
ඒ.ඩී. රන්ජිත් කුමාර