නවක වදය යනු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බිහිවූ ශ්‍රී ලංකාවටම ආවේණික වරෙක නිර්මාණශීලි සහ වරෙක සාහසික ක්‍රියාදාමයකි. නවක වදය මෙරට විශ්වවිද්‍යාල තුළ ආරම්භය 1940 දක්වා ඈතකට විහිදී යන අතර එහි ස්වරණමය සහ නිර්මාණශීලීම යුගය ලෙස සඳහන් වන්නේ 1950-1970ත් අතර කාලය තුළ බව විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළත් සඳහන් වේ.
එහෙත් ඒ සියල්ල උඩියටිකුරු කරමින් 1970න් පසුව නවක වදයේ ස්වරූපය සාහසික වූ අතර එහි ප්‍රථම කළු පැල්ලම 1974 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළින් වාර්තා විය. රූපා රත්නශීලී නම් සිසුවියකට විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් සිදුකළ බරපතළ නවක වදය හේතුවෙන් ඇය එම විශ්වවිද්‍යාලයේ රාමනාදන් නේවාසිකාගාරයෙන් බිමට පැන සියදිවි නසා ගැනීමට තැත් කළාය. එහෙත් ඇයට වාසනාවට මෙන් ජීවත්වීමේ වරම් හිමිවූ අතර අවාසනාවන්ත ලෙස එක්තැන් වූවාය. මානසික කඩාවැටීම මත ගත් ඒ තීරණය හමුවේ ඇය පසු කාලයේ දැඩි ලෙස පීඩාවට පත්වූ නිසා අවසානයේ 2002 වර්ෂයේදී සියදිවි නසාගත්තාය.
එම සිද්ධියෙන් පසුව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය නම් අමානුෂික ක්‍රියාව බරපතල ලෙසින් සිදුවන්නට වූ අතර පේරාදෙණිය, කැලණිය, ජපුර සහ රුහුණ විශ්වවිද්‍යාල මේ අමානුෂික ක්‍රියාවේ කප් ගැසූ තැන් බවට පත්විය.
එදා සිට අද දක්වා විශ්වවිද්‍යාල නවක වදය නිසා දිවි අහිමිවූවෝ 14 කි. අබාධිත වූවෝ දහස් ගණනකි. මෑත ඉතිහාසයේ සංඛ්‍යාලේඛන අනුව 2016/17 වසරේදී ළමුන් 637 කුත්, 2015/2016 වසරේදී 1352 දෙනෙකුත් 2017/2018 වසරේදී 2000කුත් වශයෙන් විශ්වවිද්‍යාලය හැරගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කාලයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාලනය කළ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල විය. එහෙත් අද වනවිට අන්තරය පාලනය වන්නේ පෙරටුගාමී පක්ෂය හරහා නිසා එම චෝදනා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත එල්ලවන තැනට පත්ව ඇත. කෙසේ වෙතත් මෙම පක්ෂ දෙකේම ප්‍රකාශ එකට ගොනු කළහොත් ඔවුන් සඳහන් කරන්නේ තම පක්ෂ මීට සම්බන්ධ නැති බවත් මෙවැනි වද බන්ධන සිදුකිරීමට එරෙහි බවත් මෙය විවිධ පුද්ගලයන්ගේ මානසික ව්‍යාකූලතා හේතුවෙන් සිදුකරන දේවල් බවත්ය. එහෙත් පුදුමය නම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බලය හිමිකර සිටින මෙම පක්ෂ දෙකෙන් හෝ එකක් ප්‍රායෝගිකව මෙම නවක වදය නවතා දැමීමට තවමත් මැදිහත් නොවීමය. ඒ නිසා මෙය එම පක්ෂ දෙකට චෝදනාවක් හැටියටද බාරගත හැක.
නවක වදයේ ඇති අමානුෂිකතාවය නිසාම එය වැළැක්වීමට 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරෑපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත වශයෙන් විශේෂ පනතක් ගෙනාවේය. එම පනතට ආයතනය තුළ හෝ බාහිරව ඒ සඳහා සෘජුව සහ වක්‍රව සහයෝගය දක්වන අයට ලැබෙන දඬුවම් සුළුපටු නැත. එම පනතේ දෙවැනි වගන්තිය අනුව එවැනි පුද්ගයන් වෙත මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වසර දෙකකට නොඉක්මන කාලයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදිය හැක. එසේම වින්දිතයන්ට වන්දි මුදල් ලබාදීමට හැකියාවක් ඇත. එසේම යම් ලිංගික අපයෝජනයකට හෝ අතවරයකට ලක්කරගන්නෙකුට වසර දහයක උපරිම සිර දඬුවමක් සහ ලක්වන්නෙක්ට වන්දියක් ලබාදීමේ හැකියාවද ඇත. ඒ සියල්ල පනතක් මගින් සඳහන් කර තිබුණත් අද වනතෙක් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදයේ ඇති කෲරත්වය නිමැවී නැත. ඊට මෑතක ඇති හොඳම උදාහරණය වන්නේ පසුගිය වසරේ ජපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් වෙත ටයරයක් පෙරළීමේ සිද්ධියි. එම සිද්ධිය විශ්වවිද්‍යාලයේ නවක වදය මාර සැපක් යැයි සිතන, පුදුම බැඳීම් ඇති කරන්නක් යැයි අර්ථකතනය කරන නවකවද ඔස්තාද්ලාට අනුව සුළු සිදුවීමකි. එහෙමත් නැතිනම් නවක වදය නොවන්නකි. එහෙත් එය අමු අමුවේ අලුත් සිසුවකු වෙනුවෙන් සිදුකළ නවක වදයක් බව අපේ අදහසය.
මේ ලිපිය ලියන මොහොතේ ලියුම්කරැට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් තවත් නවක වදයක් ගැන අනාවරණය කළේය. එය ස්මාර්ට් නවක වදයකි. එය ඉතාම නින්දිත ලෙස සිදුකරන ලිංගික හිංසනයක් බව කිවයුතුමය. එනම් ජංගම දුරකථනය ඔස්සේ මැසේන්ජර්, වට්ස්ඇප් ඇමතුම් ගෙන ජ්‍යෙෂ්ඨ පිරිමි සිසුන්ට පෙනෙන්නට නවක සිසුන් ස්වයං වින්දනයේ යෙදිය යුතු වීමය. නැතහොත් සමලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු වීමය. බලහත්කාරයෙන් සිදුකරන මේ අමානුෂික ක්‍රියාදාමය නිසා ගැහැනු මෙන්ම පිරිමි සිසුන් දැඩි මානසික කඩාවැටීමකට පවා ලක්ව ඇති බව සඳහන්ය.
කෙසේ වුවද යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ මේ අමානුෂික ක්‍රියාදාමයේ යෙදෙන්නේ සිංහල සිසුන් විසින් බව කිවයුතුමය. විශ්වවිද්‍යාල භූමිය තුළ එක්රුස්වීම් තහනම් නිසා සිංහල සිසුන් නාගවිහාරයේ බෝධි පූජාවක් කැඳවා එය සූදානම් කර එයට සහභාගී වූ නවක සිසුන්ගෙන් දුරකථන අංක ගෙන ඇමතුම් ලබාගන්නා අවස්ථාවල සිටිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත. ඒ උපදෙස් අනුව විශ්වවිද්‍යාලවල නවක සිසුන් සිටිය යුතු බව ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස වී ඇත. කෙසේ වෙතත් මේ අමානුෂික ක්‍රියාව මේ වනවිට හෙළිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
විශ්වවිද්‍යාල භූමියක් යනු සැබවින්ම වෙනම රටක් හෝ ලෝකයක් නොව වෙනම සංස්කෘතික කලාපයක් බව පිළිගත යුතුව ඇත. ඒ උප සංස්කෘතිය ඇතුළත බිහිවෙන නිර්මාණ, සංවාද, අදහස්, මතවාද, දේශපාලනය නැවුම් සහ අලුත්ය. එවන් භූමියක බලහත්කාරකමට වඩා නිදහස අත්‍යවශ්‍ය බව ලියුම්කරු මෙන්ම නිදහස් මතධාරීන්ගේද මතය වී ඇත. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. එහෙත් එකී නිදහස වල්බූරුකමේ යොදවා තවත් සිසුන් පිරිසක් මර්දනය කරන්න, පීඩා කරන්න, වධ බන්ධන දෙන්න ක්‍රියාකරනවා නම් එය නියත වශයෙන්ම කඩා බිඳ හෙළිය යුතුය.
දහසක් බලාපොරොත්තු සහ කැපවීම් මත පැමිණෙන දරැවන්ට අධ්‍යාපනය නොලබා නවක වදය නිසා හැරුණු තැපෑලෙන් ගෙදර යන්න සිදුවනවා නම්, ඒ අශිලාචාර, නින්දිත සංස්කෘතිය මර්දනය කළ යුතුමය. ඊට ඉඩක් ලබා නොදිය යුතුමය. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වෙත රජයේ මැදිහත්වීමක් සිදුවූවා කියා ගැස්සෙන්නට, පුදුම වෙන්නට දෙයක් නැත. එවැනි තැනකට වැටුණේ විශ්වවිද්‍යාල සිසුන්ගේම වරදින් බවත් කිවයුතුවම ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ මේ නවකවදය කුඩු පාතාලය මෙන් නවතා දමන ලෙසය. ඒ නිසා දැන් උදාවී ඇත්තේ මෙතෙක් කල් භුක්ති විඳි වල්බූරැ නිදහසේ අවසානය බව කිවයුතුවම ඇත. එනම් ආරක්ෂක අංශ විසින් ඉදිරියේදී විශ්වවිද්‍යාල සඳහා බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට තින්දු කර ඇත. ඒ සම්බන්ධයෙන් හොඳ නරක වශයෙන් අන්ත දෙකකින් අර්ථකතනය කිරීමේ හැකියාව ඇතත් බහුතර මතය මෙය හොඳ මතයක් ලෙස අර්ථ ගන්වනු ඇත. ඒ විශ්ව විද්‍යාල සංස්කෘතිය ඇතුළේ පිළිලයක් ලෙස වැඩුණු නවකවදය නැවැත්විය හැකි එකම ක්‍රමය මෙය බව වටහා ගන්නා නිසාය.
ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ මේ බුද්ධි මෙහෙයුම ගැන කතා කළ විට විශ්වවිද්‍යාල සිසුන්, කථිකාචාර්යවරු, කාර්ය මණ්ඩල සුළු සේවකයන්, කම්කරැවන් අතර මෙම බුද්ධි නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇත. ඔවුන් විශ්වවිද්‍යාල භූමිය තුළ සිදුවන අමානුෂික නවකවදය සම්බන්ධයෙන් තොරතුරැ වාචික සහ ලිඛිතව පමණක් නොව නූතන තාක්ෂණය ඔස්සේද ලබා ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහා අධි සංවේදී කැමරා, ශබ්ද පටිගත කරන යන්ත්‍ර යොදා ගැනීමටත් තීරණය කර ඇත.
යම් සිදුවීමක් සිදුවහොත් අදාළ තොරතුරු ළඟම ඇති පොලීසියට ලබාදී එම සිසුන් අත්අඩංගුවට ගන්නත්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් තීරණය කර ඇත. කෙසේ වෙතත් ඇතැම් බුද්ධි තොරතුරැ දෙන්නන් නවකවදයට විරුද්ධ ක්‍රියාකරන සිසුන් සහභාගී කරගන්නත් තිරණය කර ඇත.
අපි බලන්නේ මේ නවක වදය නතර කරලා දරැවන්ට හොඳ, නිදහස්, අධ්‍යාපන ආයතනයක් ලබාදෙන්න. අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ගොන්නේ ඉන්නේ. එවැනි ආයතනවලින් ළමයි පළවෙනි අවුරැද්දෙම රුග් එකක් නිසා ගෙදර යනවා නම් ඒක තේරුමක් නෑ. හැම දරැවටම නිදහසේ ඉන්න, ඉගෙනගන්න අයිතියක් තියෙනවා. ඒක මේ කිහිපදෙනෙක් විසින් අමානුෂික නවකවදයක් යොදාගෙන අවහිර කරලා. අපිට දරැවන් මර්දනය කරන්න අවශ්‍ය නෑ. අපිට ඕන මේ අමානුෂික නවක වදය නතර කරන්න. ඒක අපි නතර කරනවා රටේ නීතියට අනුව. ඒ නිසා අපි ඒ දරැවන්ගෙන් ඉල්ලන්නේ ඉතාම හොඳින්, සහයෝගයෙන් තවත් පිරිසකට පීඩා නැතුව අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිදහසේ යෙදෙන්න කියලා. ඒ නිදහසට අපි බාධාවක් නෑ යැයි මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් ශිෂ්‍ය මර්දනයක් සිදු නොකළ යුතුය යන තැන අපිද සිටිමු. එහෙත් සිසුන්ට පීඩා කරන, අධ්‍යාපනය අහිමි කරන, මානසික ලෙඩුන් බවට පත් කරන, ජීවිතේ පවා අහිමි කරන අමානුෂික නවක වදය නැවතිය යුතුය. මේ අමානුෂික මුහුණුවර වෙනස් කළ යුතුය. ඒ සඳහා සිසුන්ද මැදිහත් විය යුතුය. සැබවින්ම ඊට ආරක්ෂක අංශවලට වඩා සිසුන්ගේ මැදිහත්වීම අත්‍යවශමය.
I ගයාන් ගාල්ලගේ