රුසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල තුනක වෛද්‍ය උපාධිය පිළිනොගැනීමට හා ඒවා අනුමත විශ්වවිද්‍යාල ලේඛනයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබේ. මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ, රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය (මීට පෙර ලුමුම්බා සරසවිය) පිරගොෆ් වෛද්‍ය සරසවිය සහ ත්වේර් රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධියයි. මෙම තීරණයට එළඹ ඇත්තේ පසුගිය ජූනි මස 26 දින පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව බව පැවසේ. මෙම විශ්වවිද්‍යාල තුනේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරන ප්‍රමිති මට්ටමට නොමැති හෙයින් විදේශ උපාධි කමිටුව මෙම තීරණය ගන්නා ලදැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සඳහන් කර තිබේ. එය කිසිවකු හිතුමතයේ ගන්නා ලද තීන්දුවක් නොව විද්වත් මණ්ඩලයක් මගින් ගන්නා ලද තීන්දුවක් බවද එම තීන්දුව වෛද්‍ය සභා රුස්වීමේදී සම්මත වූ බවද මහාචාර්යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වසර පහකට වරක් විදේශීය විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ පිළිබඳ සමාලෝචනයක් කිරීම සාමාන්‍ය ක්රියාදාමයයි. එහිදී නිසි ප්‍රමිතියක් නොමැති විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලබා දෙන්නේද නැතිද යන්න තීරණය කෙරේ.. වෛද්‍ය සභාවේ මෙම තීරණයත් සමඟ දැනට එම විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍යත්වලාභී සිසුනට වෛද්‍ය සභා ආඥා පනත අනුව විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි වනු ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් දැක්වීය. විදේශයන්හි වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් වන ප්‍රමිතිය නියාමනය කරනු ලබන ව්‍යවස්ථාපිත මණ්ඩලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඔවුනට ඇති අයිතිය සම්බන්ධයෙන් කිසිවකුට අභියෝග කළ නොහැකියි. සමාලෝචන කටයුතු සිදුවන්නේ විදේශ වෛද්‍ය උපාධි සමාලෝචන කමිටුව මගින්. එහෙත් ඔවුනට පවතින නීති රෙගුලාසි උල්ලංඝණය කොට අත්තනෝමතික ලෙස කටයුතු කළ නොහැකියි. ඇත්ත වශයෙන්ම දැන් ඇති වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපට පැහැදිලි වැටහීමක් නැහැ. මේ සම්බන්ධයෙන් වහා වාර්තාවක් කැඳවන ලෙස පසුගියදා සෞඛ්‍ය ඇමැතිතුමිය හමු වූ අවස්ථාවේ අප ඉල්ලා සිටියා. එමෙන්ම මේ සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස අප වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටියා. එහෙත් මේ වන තෙක් ඔවුන් හේතු දක්වා නැහැ. මේ වන විට වෛද්‍ය සභාවේ සභාපතිවරයා හා ලේඛකාධිකාරිවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා. ලේඛකාධිකාරිවරයා මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ ජුනි 26 දින පැවැති වෛද්‍ය සභා රැස්වීමේදී මෙම විශ්වවිද්‍යාල තුන තහනම් කිරීමට පියවර ගත් බවයි. ඉන් පසු වෛද්‍ය සභාවේ සහකාර ලේඛකාධිවරයා ඇතුළු පිරිසක් වෛද්‍ය සභාවේ නිල වේබ් අඩවියෙන් මෙම වෛද්‍ය විද්‍යාල තුන ඉවත් කළා. මේ වන විට මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත් වෙලා. වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා සිටියේ මෙය ඉතා නිවැරුදි තීරණයක් බවයි. රුසියාවට වෛද්‍ය සිසුන් යවන දේශීය ඒජන්තවරැන්ගේ වාණිජ අරමුණු නිසා මෙම තහනමට විරුද්ධව හඬ නඟන බවද ඔහු කියා සිටියා. ඉන් දෙදිනකට පසු ඔහු ප්‍රකාශ කළේ මෙය අත් වැරදීමකින් සිදු වූ බවයි. මෙම වෛද්‍ය විද්‍යාල තහනම් කිරීමට වෛද්‍ය සභාවට බලතල නොමැති අතර එය කළ යුත්තේ සෞඛ්‍ය ඇමැතිතුමිය විසින් බව පැවසූ ඔහු. වෛද්‍ය සභාව නියෝජනය නොකරන එහෙත් එහි සේවයේ නියුතු පුද්ගලයකුගේ අතපසු වීමකින් වෙබ් අඩවියෙන් මෙම වෛද්‍ය විද්‍යාල තුන ඉවත් කර ඇති බවත් කියා සිටියා.
1920 ගණන්වල ආරම්භ කෙරැණු වෛද්‍ය සභාව මෙරට රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහතික කරන කීර්තිමත් ආයතනයක්. පසුගිය රජය සමයේ ඇමැතිවරයාගේ හිතවතුන් එයට පත් කළා. සාමාන්‍යයෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ධුර කාලය වසර 5යි. එහෙත් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාලයේ වසර 5ට සභාපතිවරු 5 දෙනෙක් හිටියා. ඔවුනට ස්වාධීනව වැඩ කිරීමට ඉඩ ලැබුණේ නැහැ. වර්තමාන වෛද්‍ය සභාව සද්භාවයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරලා මහජනයාට වෛද්‍ය සභාව කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමමින් සිටිනවා. වෛද්‍ය සභාව කියනවා ඔවුන්ට අත්වැරදීමක් වුණා කියලා. එසේ විය නොහැකියි. වෛද්‍ය සභාවේ සිටින ඇතැම් වෛද්‍යවරුන් වෙනත් රැසියානු විශ්වවිද්‍යාල සමඟ සමීප සබඳතා පවත්වන බවට චෝදනා එල්ල වනවා. මෙවැනි කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන ලෙසට අප සෞඛ්‍ය ඇමැතිවරියගෙන් ඉල්ලා සිටියා. එය නොබෝ දිනකින් ක්‍රියාත්ම වේවි.
වෛද්‍ය සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රැසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය භාර රුසියානු මධ්‍යස්ථානය මගින් නිවේදනයක්ද නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාව හා රුසියාව 60 වසරකට අධික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවත් පවතින අතර එම කාලය පුරා රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ශ්‍රී ලාංකීය සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්රදානය කොට වෛද්‍ය ක්ෂේත්රය ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි කීර්තිමත් වෘත්තිකයන් බිහි කිරීමට රුසියාව දායකත්වය දී ඇති බවයි. මෙවන් වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුසියාවේ ප්රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳ රැසියාවේ දැඩි අවධානය යොමුව ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම තීරණය මත, ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රැසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රියාවලිය ඇනහිටීමෙන්, ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන මාහැඟි අවස්ථාවක් අහිමි විය හැකි බැවින් එය වැළැක්වීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එහි සඳහන්ය.
වෛද්‍ය සභාවේ මෙම තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස රාජ්‍ය අංශයෙන් හා වෙනත් පාර්ශ්වවලින් මේ වන විට ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා වෛද්‍ය සභාව හදිසි රැස්වීමක් කැඳවීමට නියමිතය.
ඉහත සඳහන් විශ්වවිද්‍යාල තුන අවලංගු කිරීමට නිර්දේශ කර ඇත්තේ වෛද්‍ය සභාවේ විදේශ වෛද්‍ය උපාධි පිළිබඳ ඇගැයීමේ කමිටුව මගිනි. එහෙත් එම කමිටුවට ඉහත කී අත්වැරුද්ද නිවැරුදි කළ නොහැකිය. ඒ සඳහා තීන්දු ගත යුත්තේ වෛද්‍ය සභාව මගිනි. වෛද්‍ය සභා ආඥා පනතේ පැහැදිලිව සඳහන් වන පරිදි මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත හැකි වන්නේ සෞඛ්‍ය ඇමැතිවරියටය. සෞඛ්‍ය ඇමැතිවරියගේ තීරණය ප්‍රකාශ කිරීමට පෙර මෙම වෛද්‍ය විද්‍යාල තුන වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීම වැරැදි ක්‍රියාවකි. එහෙයින් එම වැරැද්ද කරන ලද පුද්ගලයන් හට දඬුවම් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය වී තිබේ. පසුගිය රජය සමයේ අ.පො.ස උසස් පෙළ අසමත් සිසුන්ද වෛද්‍යවරුන් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් පැවැතියේය. එය අදටත් ක්‍රියාත්මකය. සාමාන්‍ය සාමාර්ථ තුනක් තිබූ ශිෂ්‍යයන්ට වෛද්‍යවරුන් වීමට අවස්ථාව හිමි විය. ඊට බලපෑවේ වෛද්‍ය සභාවේ ඇතැම් තීන්දු තීරණ බවද එහෙයින් දේශපාලන බලපෑම් මත නොව ස්වාධීන කණ්ඩායමක් වෛද්‍ය සභාවට පත් කළ යුතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා