2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

අභයාරාමයේ හරක් පෙරහර

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කරන ලෙසට හඬක් නැඟුණේ කලක සිටය. මින් වසර කිහිපයකට පෙර බෝවත්තේ ඉන්දරතන නම් හිමි නමක් මහනුවර දළදා මාලිගය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත්තේද ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලමිනි. බලයට පැමිණි නව රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රුස්වීමේදී ගව ඝාතනය තහනම් කිරීමේ නීතිරීති ගෙන එන බව ප්‍රකාශ කළේය. එයට මන්ත්‍රීවරුන්ගේ අනුමැතියද පළ විය. විවිධ පාර්ශ්වවල අදහස් ද විමසා බලා මසකින් පමණ ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ගව ඝාතනය තහනම් කිරීමට නීති ගෙන ඒමට පියවර ගැනීම සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි නාහිමිවරැන් ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලාගේ හා සිවිල් සමාජයේ ප්‍රසාදය හිමිවී තිබේ. ගව ඝාතනය තහනම් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු යැයි ද, ඒ පිළිබඳ නීති රීති කඩිනමින් සම්පාදනය කළ යුතු යැයි ද පෙන්වා දෙමින් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මහා ගව පෙරහරක් සංවිධානය කළහ. මනාව සරසන ලද ගවයන් 35ක පමණ සංඛ්‍යාවක් හා හෙද විදුහලේ සිසු සිසුවියන්, පාසල් සිසුන්, සමාජ ක්‍රියාකාරිකයන් හා බෞද්ධ භික්ෂූන්වහන්සේ පෙරටු කරගත් එම පෙරහර අභයාරාමයේ සිට කොළඹ මහ නගර සභාව ඉදිරිපිට ඇති ධර්මපාලතුමාගේ පිළිරුව තිබෙන ස්ථානය තෙක් ගමන් කළේය.

මෙම ගව පෙරහර පැවැත්වීමට සැප්තැම්බර් 17 දින යොදා ගත්තේ එදිනට අනගාරික ධර්මපාලතුමන්ගේ උපන් දිනය යෙදී තිබූ බැවිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ 

ගවයා යනු දෙවැනි කිරි මවයි. ඉන්දියාවේ ගවයා සලකන්නේ දේවත්වයෙන්. අපේ රටේ කිරි අම්මාව මරාගෙන කනවා. අනගාරික ධර්මපාලතුමන්ගේ චින්තනය වූයේ ගවමස් කෑමෙන් වළකින ලෙසටයි. එතුමා හැඳින්වූයේ ගෙරිමස් කන්නෝ වසලයන් ලෙසයි. එතුමාගේ අදහසත් යළි සමාජගත කරමින් ගවමස් කෑම නතර කිරීමට ජනතාව පෙළඹවීමේ අරමුණ ඇතිවයි අපි මෙම ගව පෙරහර පැවැත්වූයේ. අගමැතිතුමා ගව ඝාතනය තහනම් කිරීමට නීතිරීති ගෙන ඒම මසකින් කල් දමා තිබෙනවා. එය කල් ඇදි ඇදී නොගොස් කඩිනමින් සිදුකිරීමේ වැදගත්කම පෙන්වා දීමත් මෙම පෙරහරේ එක් අරමුණක් වුණා. මෙය කිසිදු ආගමකට විරුද්ධ ක්‍රියාවලියක් නොවෙයි. පංච සීලය රකින ලෙසට ආණ්ඩුව කියනවා. එහෙනම් ප්‍රාණ ඝාතනයෙන් වැළකිය යුතුයි. මේ රටේ ඕන තරම් පෝෂ්‍යදායී ආහාර තිබෙනවා. ගවමස් නොකෑව කියලා හානියක් වෙන්නේ නැහැ. සියලුම සත්වය ඝාතන නතර කළ හැකි නම් එය ඉතා වැදගත්. එහෙත් එය එකවර කළ නොහැකියි. යනුවෙන් පැවසූහ.

අභයාරාමය මගින් සංවිධානය කළ ගව පෙරහරට කොළඹ අවට කෝවිල්වල ගවයන් ලබා දීමට හින්දු කෝවිල් භාරකරුවන් පියවර ගෙන තිබිණි. ඒ අනුව සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙමින් අභයාරාමයේ ගව පෙරහර කොළඹ නගර සභාව ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගවමස් කෑමෙන් වළකින බවට ප්‍රතිඥාවක්ද දෙනු ලැබීය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප- සුමුදු හේවාපතිරණ

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02