2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

වැල්ලවත්තෙන් බත්තරමුල්ලට බෝට්ටුවෙන් යමු

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

කොළඹ නගරයේ පවතින මාර්ග තදබදයට යම් විසඳුමක් ලෙසින් බෝට්ටු ප්‍රවාහන සේවයක් පසුගියදා ආරම්භ විය. කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මෙම බෝට්ටු සේවාව නැවතත් ආරම්භ වීමත් සමඟම මගීන්ගේ උනන්දුවද වැඩි විය.

“මෙවැනි බෝට්ටු ප්‍රවාහන සේවයක් පිළිබඳව මුලින්ම සංකල්පය ඇතිවූයේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරය දරන කාලයේදීයි. නාවික හමුදාව යොදවා මෙම කටයුත්ත ආරම්භ වුණා. මුලින්ම නාවල දක්වා මෙම බෝට්ටු සේවාව පටන්ගත්තා. නමුත් (ගැඹුර) ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් එය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය ලැබීමත් සමඟ එතුමාගේ සංකල්පය නැවතත් ක්‍රියාත්මක කරන්නට අපිට උපදෙස් ලබා දුන්නා.”

නාගරික සංවර්ධන, සහ නිවාස පහසුකම් අමාත්‍යංශ අනුබද්ධිත LRDC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, රියද් අද්මිරාල් (විශ්‍රාමික) එම්. ආර්. අමරවීර මහතා දේශයට එසේ පැවසීය.

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවාව ආරම්භ කිරීමට ප්‍රථමව අමරවීර මහතා ඇතුළු නාවික හමුදා කණ්ඩායමක් බෝට්ටුවක ගමන් කරමින් ඒ හරහා ඇති සියලුම පාලම්වල උස සටහන් කරගැනීම ආරම්භක පියවරේදී සිදුවිය. එයට ප්‍රධානම හේතුව වූයේ පාලම් ඉතා පහළින් පවතින විට බෝට්ටුවක ඉහළ කොටස පාලමේ ගැටීමට ඉඩ තිබීමය. ඒ අනුව ඔවුන් සටහන් කොටගත් උසට සරිලන ලෙස වහළය අවශ්‍ය පරිදි ඉහළ පහළ කරගත හැකි ලෙස බෝට්ටුව නිර්මාණය කිරීමට පියවර ගැනිණි. එය නාවික හමුදාවේ සැලැස්මකි. 

“අපි මේ ගමන් මග ඔස්සේ ගිය මුල්ම දවසේ හරියට බෝට්ටුවකට යන්නවත් විදිහක් තිබුණේ නැහැ. කුණුවලින්, මඩවලින් ඇළ මාර්ගය අවහිර වෙලයි තිබුණේ. අපි ඒවාවල ඡායාරෑප ගෙන සංස්ථාවට පෙන්වා ඉංජිනේරැවන්ගේ උපදෙස් මත ඒ සියල්ලම පිළිසකර කළා. ඇළ අයිනේ ඇති ගස් නිසි පරිදි සකසා එය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළා.”

අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේය.

මාර්තු මස 11 වැනිදා වැල්ලවත්ත සිට බත්තරමුල්ලට මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ විය. එයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. නමුත් නොසිතූ මොහොතක මුළු ලොවම කොරෝනා වසංගතයට ගොදුරැවීමත් සමඟම එම බෝට්ටු සේවාවද අතරමග නතර කර දමන්නට සිදුවිය.

මාස ගණනාවකට පසුව කොරෝනා වසංගතයෙන් යම් අස්වැසිල්ලක් ලක්වීමත් සමඟ පසුගියදා නැවතත් මෙම වැල්ලවත්ත - බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ විය. සෑම සතියේ දිනකම උදෑසන හයයි පනහට දියත උයන අසලින් ආරම්භ වන මෙම බෝට්ටු සේවාව මගින් විනාඩි පහළොවකට වරක් බෝට්ටුවක් එහාමෙහා ධාවනය කරයි. උදෑසන කාලයේදී පාසල් දරුවන් මෙන්ම කාර්යාල සේවක සේවිකාවන් මෙහි ගමන් කරන අතර සවස කාලයේදී දියත උයන වෙත පැමිණෙන බොහෝ දෙනෙක් වැල්ලවත්ත සිට මෙම බෝට්ටු සේවාව තම ගමන් සඳහා යොදාගනිති. පවතින මාර්ග තදබදය හේතුවෙන් වැල්ලවත්ත සිට බත්තරමුල්ලට මහා මාර්ගය ඔස්සේ වාහනයකින් ගමන් කිරීමට විනාඩි හතළිස් පහක් හෝ පැයක් ගතවුවද මෙම බෝට්ටු ප්‍රවාහනයෙන් ගතවන්නේ විනාඩි විස්සක් වැනි ඉතා අඩු කාල සීමාවකි.

 

නොයෙකුත් රාජකාරි කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට මෙන්ම බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය, විදේශ සේවා නියුක්ති කාර්යංශය, ඉසුරුපාය, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය, හැඳුනුම්පත් කාර්යාලය ආදී කාර්යාල කටයුතු සඳහා පැමිණෙන ජනතාවට මෙම බෝට්ටු සේවාව ඉතා පහසු ගමන් මාර්ගයක් වී තිබේ.

විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් විසින් මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක කරනා බැවින් ඉතා විනයගරුක, ක්‍රියාශීලී මෙන්ම ආරක්ෂාවද මගීන් වෙත සහතික කෙරේ. මේ වනවිට බෝට්ටු හයක් මෙම සේවාවේ යෙදී සිටින අතර එක් ගමන් වාරයක් සඳහා රුපියල් සියයක ටිකට් පතක් නිකුත් කෙරේ.

මෙහිදී වැල්ලවත්ත තොටුපොළෙන් ගමන් ඇරඹෙන බෝට්ටු සේවාවේ පළමු නැවතුම ඇත්තේ බත්තරමුල්ලට ප්‍රථම නාවල විවෘත විශ්ව විද්‍යාලය අසලය. එහි ගොඩබිමට ප්‍රවිශ්ඨ වීමට නතර කිරීමයි. එම තොටුපොළින් කවර හෝ මගියකුට නාවලට යාමට අවශ්‍ය නම් ගොඩබැසිය හැක.

“මේ වනවිට මෙම ප්‍රවාහන සේවයට පාසල් දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඊට අමතරව කාර්යාලය සේවකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. වැල්ලවත්ත දුම්රියපොළ සිට මීටර් අටසීයක දුරක් තමයි වැල්ලවත්ත තොටුපොළට තියෙන්නේ. මේ නිසා දුම්රියෙන් පැමිණෙන මගීන්ටත් බත්තරමුල්ල ප්‍රදේශයට යෑමට මේක හොඳ ප්‍රවාහන සේවයක්. මේ වනවිට බෝට්ටු හයක් ප්‍රවාහන කටයුතුවල නිරත වෙනවා. එක් බෝට්ටුවක අපේ විශ්‍රාමික නාවික නිලධාරීන් දෙදෙනකු ගමන් කරනවා. බෝට්ටුව ආරක්ෂාකාරීයි. ජීවිතාරක්ෂක කබා සපයන අතර බෝට්ටුවේ ගමන් කරන මගීන් රක්ෂණය කරලයි තියෙන්නේ. සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී නිවාඩු පාඩුවේ විනෝද වීම සඳහා දියත උයනට පැමිණෙන බොහෝදෙනකු වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමට මෙම බෝට්ටු ප්‍රවාහන සේවය යොදාගන්නවා” යැයි රියාද් අද්මිරාල් (විශ්‍රාමික) එච්. ආර්. අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සිදු නුවූවද ඉදිරියේදී තත්ත්වයට යහපත් වූ පසුව නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරක වාරය ඇරැඹුණු විට වැල්ලවත්ත සිට දියත උයනට යන මේ අපූරු බෝට්ටු ගමන විදේශිකයන්ට අපූරු අත්දැකීමක් එක්කරලන්නට සමත් වෙනවා නොඅනුමානය. අහස උසට දිවෙන ගොඩනැගිලි, ඈතින් පෙනෙන නෙළුම් කුලුන, කොළ පාට ගහකොළවලින් වෙන් වුණ පරිසරය, නෙතට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයකි. කොළඹ කොයිතරම් නම් නාගරික වුවච වාහන ශබ්දය කනට කරච්චලයක් වුවද ඒ කිසිවක්ම මේ ගමන් කරනා විනාඩි විස්සේදී ඔබට අත්විඳින්නට සිදුනොවේ. සැබැවින්ම මේ ගමනේදී “මේ කොළඹද” කියා හිතෙනා තරමට ඒ වටපිටාව අපූරුය. බස් රථයේ වාඩි වී වාහනවල කන් බිහිරිවන නලා සද්දයට, කොන්දොස්තරගේ මගීන්ගේ හිත රිදෙන වචනවලට වඩා මේ බෝට්ටු ප්‍රවාහන සේවයෙන් පසුව හිතට අපූරු සැනසිලිදායක සිතුවිල්ලක් ඔබට එක්කරනු ඇත.

බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට හෝ වැල්ලවත්ත සිට බත්තරමුල්ලට යම් කටයුත්තකට ඔබටත් යාමට අවශ්‍ය වේනම් එක්වරක් මේ බෝට්ටු ප්‍රවාහන සේවය අත්හදා බලන්න. එය වෙනස්ම අත්දැකීමකි.

විශේෂ ස්තූතිය - එස්. එම්. සී. එස්. සේනාරත්න පාලක ප්‍රධාන නිලධාරී (නාවික හමුදා විශ්‍රාමික)
කුමාර රාජපක්ෂ (නාවික හමුදා විශ්‍රාමික)
ගෝතම ද සිල්වා (නාවික හමුදා විශ්‍රාමික)

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ