2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

කෙසෙල් කඳෙන් යෝගට් කෝප්ප

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් බඳුන් පිළිබඳ සැලසුම් පිළිබඳව අප බොහෝ දේ අසා ඇත. එහෙත් එවැන්නක් ක්‍රියාවට නැංවීමට අපහසුය. එම අපහසුතා ජයගෙන එවැනි යෝගට් කෝප්ප නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට “එකෝ මා පැකේජින්” පෞද්ගලික ආයතනය බලාපොරොත්තු වේ. මෙම යෝගට් කෝප්පයට අමතරව ආහාර ඇසුරුම් පෙළක් නිෂ්පාදනය කිරීමද එම ආයතනයේ අරමුණ වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම සියලු දෑ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉවතලන කෙසෙල් කඳ යොදාගනිමින් වීමය.

“ලංකාවේ ඉවතලන යෝගට් කෝප්ප පරිසරයට විශාල ප්‍රශ්නයක් විදිහට මම දැක්කා. මාසයකට මෙවැනි යෝගට් කෝප්ප ලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ මහපොළොවට මුදාහැරෙනවා. එය පරිසරයට අහිතකරයි. ඇතැමුන් මේ යෝගට් කෝප්ප පුච්චනවා. ඒකත් අපිට හිතකර වන්නේ නැහැ. ප්ලාස්ටික්වලට යොදන ඇතැම් අමුද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකර වෙනවා. මේ නිසා තමයි මේ යෝගට් කෝප්පයට විකල්පයක් විදිහට පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරන්නට බලාපොරොත්තු වුණේ.” යැයි “එකෝ මා පැකේජින්” පෞද්ගලික ආයතනයේ සභාපති මේනක ආරියරත්න දේශයට අදහස් දක්වමින් පැවසීය.

පරිසර හිතකාමී ඇසුරුමක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වූ මේනකගේ හිත කෙසෙල් කඳට යොමුවිය. ඉවතලන කෙසෙල් කඳවල් පොළොවට දිරාපත් වෙද්දී එයින් යම් ප්‍රයෝජනයක් ගැනීම ඔහුගේ අදහස විය. ඒ අනුව නව නිපැයුම්කරුවෙක් ලෙසින් මේනක යෝගට් කෝප්පය සඳහා මෙම කෙසෙල් කඳෙන් කළ ඇසුරැමක් පිළිබඳව පර්ෙය්ණයකට අතගැසුවේය. එය ඉතා සාර්ථක විය.

පරිසර හිතකාමී, කාබනික ඇසුරුම් පෙළක් නිෂ්පාදනය කිරීමේ අදහස මේනක ආරියරත්නට මුලින්ම ඇතිවූයේ මීට අවුරුදු පහකට පමණ ඉහතදීය. එතැන් සිට ඔහු විවිධ අත්හදා බැලීම් සිදුකරමින් නව නිපැයුමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරුවේය. දැරූ උත්සාහය සාර්ථක වුවද එය වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔහු මෙම සාර්ථක නව නිපැයුම අවසන් කොට කාලයක් බලා සිටියේය.

පසුගිය දිනක මේනක ආරියරත්න, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මුණගැසී මෙම නව නිපැයුම හඳුන්වා දුන්නේය. එහිදී කඩිනමින් මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු ඉදිරිපත් විය. ඒ අනුව තම නිෂ්පාදනය ඉතා ඉක්මනින් සිදුකොට පරිසර හිතකාමී, කාබනික ඇසුරුම් පෙළක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවන බව මේනක ආරියරත්න වැඩිදුරටත් දේශය හා එක්වෙමින් පැවසීය.

“තවම මේ සඳහා මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලාවක් නැහැ. මගේ නිවෙසේ සුළුවෙන් තමයි මේ නිෂ්පාදන කටයුතු මෙතෙක් දුරට සිදුවුණේ. කෙසෙල් කඳන් ඉතා ඉක්මනින් ගත හැකි ප්‍රදේශයක මෙම නිෂ්පාදන කටයුතු සිදු කරන එක තමයි වඩා පහසු වෙන්නේ. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට මෙම නිෂ්පාදන කටයුතු සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇඹිලිපිටිය කෙසෙල්වලට හොඳ අස්වැන්නක් ලැබෙන පළාතක්. කෙසෙල් ගොවීන් ඵලදාව නෙලාගැනීමෙන් පසුව ඉවතලන කෙසෙල් කඳන් අපි මේ සඳහා යොදාගන්නවා. ඉවතලන කෙසෙල් කඳන් වෙනුවෙනුත් අපි ඒ ගොවීන්ට මිලක් ලබා දෙනවා. මේ නිසා අනාගතයේදී කෙසෙල් ගොවීන්ට සුබදායී කාලයක් වෙනු ඇති. යෝගට් කෝප්පයට අමතරව ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් ඉතා ඉක්මනින් නිෂ්පාදනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙය සෝදා නැවත වතාවක් පාවිච්චි කිරීමටද හැකියාවක් තියෙනවා. අපේ නිෂ්පාදන පරිසරයට හිතකාමීයි. ප්ලාස්ටික් කිසිදු දෙයක් මෙයට එකතු කරලා නැහැ.” යැයි මේනක ආරියරත්න දේශයට පැවසීය.

පරිසර හිතකාමී මෙම ඇසුරුම් නිෂ්පාදන පෙළ සඳහා මේ වන විටත් ඉල්ලුමක් පවතී. ප්ලාස්ටික් යෝගට් කෝප්පය වෙනුවට මෙම පරිසර හිතකාමී යෝගට් කෝප්පය යොදාගැනීමට පැලවත්ත කිරි ආයතනය ඉදිරිපත් වී තිබේ.

“මෙම කටයුත්ත ආරම්භයේ සිටම මෙවැනි අදහසක් ඇතිවූ දින සිටම මම මේ ගැන පැල්වත්ත ආයතනයේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සමඟ කතාබහ කළා. ඔහු මගේ ගමනට දිගටම ලොකු ශක්තියක් වුණා. අදටත් මට ඉන්න ලොකුම හයිය එතුමායි.” යැයි මේනක ආරියරත්න වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද ඉතා කඩිනමින් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර යෝගට් කෝප්ප හා ප්ලාස්ටික් ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළ නිෂ්පාදනය කළ හැකිවනු ඇතැයි මේනක ආරියරත්න බලාපොරොත්තු වෙයි.

දිශානි ජයමාලි කරුණාරත්න