2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

හුස්ම හිරවෙන තරමට හිරගෙවල් හවුස්ෆුල්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

කුඩ්ඩන් කුඩු කරන මෙහෙයුම් රට වටේය. හිරගෙවල් පිරිලාය. පාතාලය, මත්කුඩු ජාවාරම, සංවිධානාත්මක අපරාධ ජාලය හෙල්ලුම් කන්නට පටන්ගෙනය. ජනාධිපති කාර්යා සාධක බලකා ප්‍රධානී ආරක්ෂක ලේකම්වරයාගේ අණින් සියල්ල උඩු යටිකුරු වී ගොස්ය. පාතාල අපරාධකරුවන්ට බන්ධනාගාර තුළ සිට තවදුරටත් නිල නොවන මට්ටමින් ඒවා පාලනය කරන්නටත් නිලධාරීන්ට තර්ජනය කරන්නටත් ඉඩක් නැත.

ඒ පිළිබඳ නවතම කතා පුවත කරළියට ආවේ බූස්ස බන්ධනාගාරයෙන් වීමද විශේෂත්වයකි. 45 දෙනකුගෙන් සමන්විත වන එම කණ්ඩායමට දිවයිනේ නමගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ගණනාවකගේම නම් ඉහළින්ම වෙයි.
ඒ අතර පොඩි ලැසී, වෙලේ සුදා, සංජිපානි, ඉම්රාන්, පොට්ට නවුෆර්, ආමි සම්පත්, කැවුමා, ඌරුජුවා, සුසෙයි පෙරමුණේය.

එදා බන්ධනාගාර නිල නොවන අයුරින් පාලනය කළමුත් සියල්ලෝම අද වනවිට බූස්සේය. නැතහොත් අඟුණකොළපැලැස්සේය. බන්ධනාගාර තදබදය අද ඊයේ ඇති වූවක් නොවූවද එදාට වඩා අද එය ඔඩුදුවන්නට පටන්ගෙනය. ඒ පාතාල හා මත්කුඩු මෙහෙයුම්වල වැඩිකමටය. මේ පිළිබඳව මුලින්ම විසඳුම් සොයා බැලුවේ මීට වසර 10කට පෙරය.

එවකට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පන්නල බන්ධනාගාර ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුව ඊට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් බාරදුන්නේ බන්ධනාගාර අමාත්‍යංශය භාරව සිටි චන්ද්‍රසිරි ගජදීර ඇමැතිවරයාටය. 2010 වසරේදී එම කමිටු වාර්තාවේ ප්‍රතිඵලයක් ලෙස නගරාශ්‍රිත බන්ධනාගාර නගරයෙන් ඉවත් කිරීම ඇරඹුණේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙනුවට පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය ඉදිකරමිනි. තංගල්ල බන්ධනාගාරය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවතම ආරක්ෂිත බන්ධනාගාරයක් අඟුණකොළපැලැස්සේදී ප්‍රථම වරට ඉදිවිය. 

2016 වසරේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය එලෙස විවෘත වූයේ දිවයිනේ ආරක්ෂිත බන්ධනාගාර සංඛ්‍යාව 4 දක්වා වැඩිකරමිනි. ඒ අනුව වැලිකඩ, දුම්බර (බෝගම්බර) මහර ගොන්නට අඟුණකොළපැලැස්සද එක්විය.
මත්කුඩුවලට සම්බන්ධ සැකකරැවන් පිළිබඳ මෙහෙයුම් අද වනවිට සියයට දෙතුන්සියයකින් වැඩි වී ඇති බව නොරහසක් වන්නේ පසුගිය මාස දෙකට බන්ධනාගාරවලට 7000ක් දෙනා පැමිණි බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කළ හෙළිදරව්වක් සමඟය.

මේ වනවිට 11762ක් රැවිය හැකි බන්ධනාගාරවල 30792ක් රඳවා ඇති බවද කීවේ කොමසාරිස් ජනරාල්වරයාය. ආරක්ෂිත සිරගෙවල් 4ක්ද ඇතුළුව රිමාන්ඩ් බන්ධනාගාර 30ක පමණ අද තදබදය හුස්ම ගන්නවත් බැරි මට්ටමේය.
වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින් වැනි කොළඹ ප්‍රධාන පොළේ බන්ධනාගාර ත්‍රිත්වය කොළඹින් පිට වටරුකට හා පුත්තලමට ගෙන යන බවටද දැන් දැන් යළිත් ඉඟි පළවී අවසන්ය. මෙම යෝජනාව මීට වසර 10කටත් පෙරද ආවේය.
අක්කර 50කට ආසන්න කොළඹ බන්ධනාගාර පරිශ්‍රය රජයේ වාණිජ වැඩපිළිවෙළකට යොදාගැනීමත්, වැලිකඩ බන්ධනාගාර සමූහය වටරුකට හෝ හොරණ පැත්තට ගෙනයන බවටත් කතා වරින්වර පළවුණද අදටත් එකක්වත් යථාර්ථයක් බවට පත්වී නැත.

මේ කතාවට අදත් රාජ්‍ය ඇමැතිවරියද කියන්නේ කිසියම් සැලසුමක් නිසා වන්නටද ඇත. කුඩු සැකකරුවන් බන්ධනාගාර ගත නොකර අධිකරණ නියෝග මත පුනරුත්ථාපන වැඩපිළිවෙළක් සඳහා කන්දකාඩු යවන වැඩපිළිවෙළ කොරෝනා වසංගතයෙන් තවමත් ඇනහිටලාය. මේ මාසයේ අග වනවිට යළිත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සූදානමින් සිටී.
හිරගෙවල්වල පවතින තදබදයට විසඳුම් සොයන්නට පසුගිය දින ගණනාවක් තිස්සේම රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීගමුවට, මහරට, පල්ලන්හේනට නිරීක්ෂණ චාර්කාවක් සඳහා ගියාය. ආරක්ෂක ලේකම්වරයා මහනුවර පිහිටි පැරණි බෝගම්බර් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූයේද මේ අතරේය.

මධ්‍යම පළාතේ බන්ධනාගාරවල සිරකරු තදබදයට මෙම ගොඩනැගිලි සංකීර්ණය තාවකාලිකව පියවර ගන්නේ එහි රැඳවියන් දහසකට පමණ ඉඩකඩ සලසන්නටය. රාජ්‍ය ඇමැතිනියද ඉකුත් 15දා බෝගම්බර පැරණි බන්ධනාගාරයට ගොස්, පරීක්ෂා කොට අනතුරැව දුම්බර බන්ධනාගාරයේත් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේත් නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වූයේ ගත යුතු ඉදිරි පියවර තීරණය කරන්නටය.
අද වනවිට බන්ධනාගාරවල පවතින තදබදය කොතරම්ද කිවහොත් උදාහරණයක් ලෙස මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇති පිරිස 2400ක් බවත් එහි රැඳවිය හැකි සංඛ්‍යාව 725ක් බවත් කීවේද රාජ්‍ය ඇමැතිවරයයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තත්ත්වය ද ඊට නොදෙවැනිය. එහි 400ක් රැඳවිය යුතු තැන 1600ක් රඳවා සිටින බවද හෙළිවී ඇත.
වැලිකඩ, මැගසින්, මහර, කළුතර, අනුරාධපුර බන්ධනාගාරවල තත්ත්වයේද වෙනසක් නැත. තදබදය, නිලධාරී හිඟය ගැන පසුගියදා බන්ධනාගාර සැරයන් සංගමය රාජ්‍ය ඇමැතිවරිය හමුවේ සිය දුක්ගැනවිලි කීවේ වෙන කළ යුතු දෙයක් නැති නිසාය.
පුරප්පාඩු 1500ක් වසර 3කින් පුරවන්නට නොහැකි වී ඇත්තේ 900කට අධික පිරිසක් තෝරාගෙන තිබියදීය. යහපාලන රජය එය තෙවරක්ම අවලංගු කළේය. තමන් මේ හේතුවෙන් දැඩි අසාධාරණයට ලක්ව ඇති බව කීවේ නියාමන තනතුරැවලට අයදුම් කර නියමිත  විභාගයෙන් තෝරාගත් අපේක්ෂකයන් පිරිසකි.

වැලිකඩ බන්ධනාගාරයේ ඉඩ පහසුකම් සැලසිය හැක්කේ 1164කට වුවද අද එහි නේවාසිකයන් සංඛ්‍යාව 3000කට වැඩිය. ඒ නිසාම වැලිකඩින් සිරකරැවන් 600ක් පමණ පසුගියදා දුම්බරව හා අඟුණකොළපැලැස්සට මාරු කර යවනු ලැබුවේ මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයට ඉඩ සලසන්නටය.
ඒ අනුව වැලිකඩ එල් ශාලාව මුළුමනින්ම හිස්කර ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාර දෙකේ රුඳවියන් පිරිසක් එහි ගෙනා බවද සඳහන් විය. මේ අතර කෑගල්ල බන්ධනාගාරයේ තදබදයට පිළියමක් ලෙස එහි රුඳවියන් 300ක් දුම්බරට යැවුණු බවද හෙළිවිය.

මීගමුව බන්ධනාගාරයේ තදබදයට විසඳුමක් ලෙස එහි රිමාන්ඩ් සිරකරුවන්ගෙන් පිරිසක් මීගමුව පල්ලන්හේන තරුණ වරදකරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලට මාරුකර යැවීමට උපදෙස් දුන්නේද පසුගියදා එහි ගිය රාජ්‍ය ඇමැතිවරියයි. අක්කර 35කට අධික විශාල භූමි භාගයක් සහිත මෙම මධ්‍යස්ථානයේ දැනට රඳවා සිටිනුයේ කොරෝනා නිරෝධායන රැඳවියන් පිරිසක් හා තරැණ වරදකරැවන් 350කට ආසන්න පිරිසක් බවද රාජ්‍ය ඇමැතිවරිය අනාවරණය කළාය.
සාමාන්‍ය දත්තයන්ට අනුව බන්ධනාගාර තදබදය සියයට 400කට ආසන්න බවට වර්ධනය වෙමින් පැවතීම පුදුමයට කරුණක් නොවන්නේ දිගින් දිගටම සිදුවන වැටලීම් සාර්ථකත්වය නිසාය. 2020 බන්ධනාගාර වාර්ෂික වාර්තාවේ සඳහන් වන අන්දමට සමස්ත සිරකරුවන් 29164ක් අතරින් 15123ක්ම මත්ලෝලී වරදකරුවන්ය. 13790ක් වෙනත් වරදකරුවන්ය.
ඒ අනුව බන්ධනාගාරගත රුඳවියන් අතර 60ක්ම මත්ද්‍රව්‍ය චූදිතයන් බවද සඳහන්ය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතවන්නන්ගෙන් බහුතරය නුපුහුණු පිරිස් බව හඳුනාගෙන ඇත. එබැවින් ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේදී නිවැරදි කර්මාන්තයකට හුරුකළ යුතු බවද කිවයුතුය.

බන්ධනාගාරවල රඳවා සිටින මත්ලෝලීන් සුදුසු පරිදි වැඩබිම්වලට යොමුකර පුනරුත්ථාපනය කරන ලෙසට ඉකුත් දා අගමැතිවරයා රාජ්‍ය ඇමැතිවරියට උපදෙස් දුන්නේ මව්වරුන් සමඟ බන්ධනාගාරවල වෙසෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 47 දෙනකු පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළත් නිරීක්ෂණ වාර්තාව පිළිගනිමිනි. සිරකරු තදබදය සමඟම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපයීමද අද වනවිට බරපතළ ගැටලුවක් බවට පත්වී අවසන්ය. මෙම සිරකරුවන් සඳහා රජයට දැරීමට සිදුවී ඇති වියදමද අසීමිතය. 2020 බන්ධනාගාර වාර්ෂික වාර්තාවට අනුව එක් සිරකරුවකු වෙනුවෙන් රජය දිනකට වැය කරන මුදල රුපියල් 645කි.

වසරක් වෙනුවෙන් එම වියදම රුපියල් ලක්ෂ 2 ½කට ආසන්න බවද එම වාර්තාව හෙළිකරයි. අන්තර්ජාතිල ප්‍රමිතීන්ට අනුව එක් සිරකරුවකු වෙනුවෙන් තිබිය යුතු ඉතාමත් යෝග්‍ය ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 540ක් ලෙස දන්වා ඇත.
එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ  මරණ දඬුවම නියමවූවන් වසර 15 – 20ක කාලයක් රඳවා සිටිනුවේ එක් කුඩා සිර කුටියක 5 – 6 දෙනා බැගින් බවටද තොරතුරැ ඇත්තේ ඒවායේ වෙසෙන්නන්ගෙනි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේත්, ආරක්ෂක ලේකම්වරයාගේත් ශක්තියෙන් බන්ධනාගාර පාලනයේ කිසියම් වෙනසක් සිදුවන බවනම් සත්‍යයකි.
එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ කැපවීමද අගය කළ යුතු වන්නේ මාධ්‍ය මෙහෙවරේ වගකීම ඉටු කිරීමට මිස පුටු වෙනස් කිරීමට නොවන බවද කිව යුතුය.

දිගුකාලීන වගේම කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි

- රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී

බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
ලංකාවේ බන්ධනාගාරවල ඉඩපහසුකම් ඇත්තේ එකොලොස් දහසකට පමණක් වුවත් මේ වනවිට තිස්දහසකට අධික රැඳවියන් ප්‍රමාණයක් බන්ධනාගාර පද්ධතිය තුළ සිටිනවා. ඒ තුළින් බන්ධනාගාර තුළ දැඩි තදබදයක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර එය බන්ධනාගාර පද්ධතිය මේ මොහොතේ මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් ලෙස හැඳින්විය හැකියි. ඒ නිසාම මේ සඳහා දිගුකාලීන මෙන්ම කෙටිකාලීන විසඳුම් සෙවීම අත්‍යාවශ්‍ය කරැණක්. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේ අපි ගනිමින් සිටිනවා.

බන්ධනාගාර පද්ධතියට ඇති ලොකුම අභියෝගය තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන ප්‍රමාණය. දෛනිකව බන්ධනාගාර තුළට එකතු වන ප්‍රමාණය ඉහළ යමින් සිටින අතර මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් රැඳවියන් ලෙස එකතු වන ප්‍රමාණයේ වැඩිවීමක් මේ කාලය තුළ අපිට දකින්න පුළුවන්. ඒ නිසාම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පිරිස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එය ප්‍රධාන වශයෙන් අංශ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. එක් පියවරක් ලෙස බන්ධනාගාර ගතවීම වැළැක්වීම පිණිස ළමා සහ තරැණ පරපුර ඉලක්ක කොටගත් මූලෝපායික සුලසැම්වලින් යුක්ත උපදේශනාත්මක සහ ක්‍රියාකාරකම්වලින් යුක්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු තිබෙනවා. එහි අනෙක් පියවර වන්නේ දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පිරිස පිළිබඳව විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහියි. එය පවතින නීතිමය ප්‍රතිපාදන තුළ හා නව නීති සකස් කිරීම ඔස්සේ විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය මූලෝපායික සැලසුම්වලින් යුක්ත ජාතික කමිටුවක් ද පත්කර තිබෙන අතර ඒ සඳහා පොදු සමාජය සමඟ සෘජුවම සම්බන්ධ වන සියලු අංශ නියෝජනය වන පරිදි එම කමිටුව පත්කර තිබෙනවා. එය දිගු කාලීන වැඩපිළිවෙළක් ලෙස හැඳින්විය හැකියි.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ මොහොතේ බෝගම්බර බන්ධනාගාරය තාවකාලිකව නැවත පවරාගෙන එහි රිමාන්ඩ් සිරකරුවන් රඳවා තැබීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම ඉඩ පහසුකම් ඇති බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදිකර සිරකරුවන් රඳවා තැබීමට අවශ්‍ය කටයුතුද සංවිධානය කෙරෙමින් තිබෙන අතර නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකර අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර රිමාන්ඩ් රැඳවියන් සම්බන්ධයෙන් වන නීතිය කටයුතු කඩිනම් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

 

 ජයන්ත සමරකෝන්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02