2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

හයේ පන්තියටත් මත් කුඩු වික්ක මාර ජෝඩුව

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

කොළඹ හා නාගරික ප්‍රදේශවල පිහිටි ජාත්‍යන්තර හා ප්‍රධාන පෙළේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කාලයක සිට තොරතුරු වාර්තා වෙමින් පවතී. පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට පොළඹවා ගැනීම සඳහා සංවිධානාත්මක කල්ලියක් විසින් ජාවාරම සිදු කරන බවටද කියැවිණි. මත්කුඩු, ගංජා, බාබුල්, මෝදක හා මත්පෙතිවලට දරුවන් යොමුකරවා ගැනීම ජාවාරම්කරුවන්ගේ උත්සාහයයි. තමාට සල්ලි ලැබෙනවා නම් කවුරුන් හෝ කමක් නැතැයි සිතා පාසල් දරුවන් ඉලක්ක කොටගෙන ඔවුහු ජාවාරම මෙහෙයවති.

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හරහා ජාවාරමුන්ගේ අදහස සඵල වී තිබේ. ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන අවුරුදු 10 – 11 වයසේ දරුපැටවුන් පවා මත් උවදුරට ගොදුරැව සිටීම බරපතළ ඛේදවාචකයකි. තම දරුපැටවුන් එවැනි මත් ගොදුරකට හසුව ඇතැයි ඔවුන්ගේ ආදරණීය දෙමාපියන් තවමත් නොදන්නා බව පැහැදිලිය. එහෙත් කොළඹ හා නාගරික පාසල් රැසක දුවාදරුවෝ පිරිසක් මත් උවදුරට ගොදුරුව සිටිති. එවැනි අති සංවේදී සිදුවීමක් කොළඹ බම්බලපිටියට නුදුරු ජනප්‍රිය හා ප්‍රසිද්ධ පාසලක් හරහා වාර්තා වූයේ රටේ මවුපියවරුන් ඉදිරියේ ඇති අවදානම පෙන්වා දෙමිනි.

බම්බලපිටිය පොලිස් බලප්‍රදේශයේ පිහිටා ඇති ජනප්‍රිය පාසලක ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් දහස් ගණනකි. ඇතැම් පන්තිවල ඉගෙනුම ලබන දරුවන් අතර කෙනෙක් දෙන්නෙක් බොහෝ මන්දගාමී වෙති. සෙසු දරුවන් අතර ඔවුන් කැපී පෙනෙන්නේ නිදිකිරා වැටෙන අලස හා පාසල් අධ්‍යාපනය මෙන්ම ගුරුවරු පවා නුරුස්සන අය ලෙසය. දුටු පමණින් එම දරුවෝ සෙසු පිරිසෙන් වෙනස්වූවෝ වෙති. පිරිසක් මැද වුවද ඔවුන් කාලය ගෙවන්නේ තමාගේම තනිවූ ලෝකයක බව දකින්නට ලැබේ. එක් පන්තියක සිසුන් දෙතුන් දෙනකු වශයෙන් ඇතැම් පන්තිවල දරුවන් කිහිප දෙනකු මේ ආකාරයට දකින්නට හැකි විය. එවැනි දරුවන්ගේ මුඛය හා ඉදිරි දත් පෙළ අවර්ණ වී තිබිණි.

පන්ති බාර ගුරුවරුන්ට මෙකී දරුවන් දර්ශනය වීමත් සෙසු දරුවන් අතර අප්‍රසන්න චර්යාවකින් කල්ගෙවීමත් ගැටලුවක්ව තිබිණ. පාසලේ හිතවත් ගුරුවරු හා ගුරුවරියන් අතර මෙම දරුවන් පිළිබඳ කතාවක් හටගෙන තිබුණේ කාලයක් පුරාවට එම ඉරියව් නිරීක්ෂණය වීම නිසාය. එහිදී හෙළිව තිබු‍ණේ බොහොමයක් පන්තිවල එවැනි චර්යාවන් ඇති දරැවන් නිරීක්ෂණය වන බවකි. තත්ත්වය පිළිබඳව යම් සැකයකින් බැලූ ගුරුවරු ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත්හ. අනතුරුව කළ සොයා බැලීමේදී තත්ත්වය අවබෝධ කොටගෙන ඒ පිළිබඳව නිසි පියවරක් ගන්නැයි ඉල්ලමින් ලිඛිත පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත යොමුකර තිබිණ.

එම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා අදාළ ලිපිය පිළිබඳ කරුණු දන්වා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට බම්බලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.කේ.ඩී.බී. මෙරීනෝ මහතාට උපදෙස් ලබා දී තිබේ. 

අදාළ පාසලේ විදුහල්පතිවරයා සමඟ තවත් ගුරුවරුන් කිහිප දෙනකුගෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී ඇතැයි සැකකරන දරුවකු සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාගැනීමට උප පොලිස් පරීක්ෂක මෙරිනෝ මහතා පියවර ගෙන තිබේ. එසේ කතා කිරීමට අවස්ථාව ලැබී තිබුණේ එම පාසලේ 6 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවකු සමඟය. පොලිස් නිලධාරියා දරුවා හමුවට ගිය මොහොතේදීත් ඔහු සිට ඇත්තේ නිදිබර ගතියෙනි.

“අපි තූල් ගන්නවා. ඉස්කෝලෙ තවත් කට්ටිය ගන්නවා. ධර්මාරාම පාරෙ ගිහින් ඇන්ටිට කතා කළාම තූල් දෙනවා. අපි ගත්තු ගමන් තොල යටින් තියාගන්නවා.”දරුවා කිසිදු බරක් පතළක් නොමැතිව තමා තූල් නැමැති මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් ඒවා මිලට ගන්නා ස්ථානය පිළිබඳවත් හෙළි කළේය. 

මෙම තූල් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය විශේෂය දුම්කොළ හුණු ඇතුළු අමුද්‍රව්‍ය කිහිපයක් ආශ්‍රයෙන් සකසන ලද්දකි. භාවිතය සඳහා එම කුඩු ස්වල්පයක් මුඛයේ තොල යටින් තබා මුඛය වසාගැනීම සිදු කරයි. අනතුරුව යම් රසයක්ද පසුව මත් ගතියක්ද ඇතිවන බව කියයි. එම රසයට හා මතට හුරුවන දරුවන් දිගින් දිගටම ඊට යොමුවන අතර, ඇබ්බැහි වීමද සිදුවෙයි. දීර්ඝකාලීනව භාවිත කරන දරුවන්ගේ මුඛයේ තොල් ඇතුළු පැත්ත තුවාල වීමද සිදුව ඇත. පසු කලෙක එය මුඛ පිළිකා තත්ත්වයට පත්වන බවද හඳුනාගෙන තිබේ. රුපියල් 50, 100 හෝ එවැනි ඕනෑම මිලකට අලෙවි කරනු ලබන බව කියන තූල් ජාවාරම වැටලීම සිදුකිරීමට එම දරුවාගේ තොරතුරු ප්‍රමාණවත් වී තිබිණ.

ඒ අනුව වෙස්වලාගත් බම්බලපිටිය දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කිහිප දෙනකු කිරුළපන හයිලෙවල් මාර්ගයෙන් පාලමක් අසලින් පසෙකට දිවෙන ධර්මාරාම පාරේ ගමන් කර ඇත. පසුගිය 11 වැනිදා පස්වරු 12න් පසුව පාසල් ළමුන් ප්‍රදේශයේ සැරිසරන අවස්ථාවක වෙස්වලාගෙන සිටි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ සැකසහිත නිවසක් ඉදිරියේ පාසල් දරුවන් රැඳී සිටින බවත් එතැනින් යමක් මිලට ගන්නා බවත්ය. එසේම ඇතැම් ස්ථානවල සිට තැරැව්කරුවන්ට මුදල් ලබා දී යමක් ගෙන්වාගන්නා බවද පෙනී ගොස් තිබේ.

පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගත් වහාම තූල් මිලට ගැනීමේ අදහසින් කෙනකු අදාළ නිවස වෙත ගොස් තිබුණි. ඒ වෙස්වලාගත් පොලිස් නිලධාරියෙකි. මුදල් ලබා දී මත්ද්‍රව්‍ය ලබාගන්නා මොහොතේදී අවට රැඳී සිට එතැනට ආ පොලිස් නිලධාරීහු සැකකරුවකු සමඟ සැකකාරියක එම නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගත්හ. ඔවුන් අවුරුදු 23, 26 වයසේ පසුවන අඹු සැමි යුවලකි. 

ජාවාරම සිදුකළ පාර අසලම පිහිටි නිවස එම කාන්තාවගේ මවට අයත්ය. ඒ මොහොතේ ජාවාරම සිදුකර ඇත්තේ ඇගේ දියණිය හා සැමියා විසිනි. අනාවරණය වූ ආකාරයට ජාවාරම මෙහෙයවා ඇත්තේ එම නිවෙස හිමි කාන්තාවය. දුම්කොළ, ගංජා සමඟ අළුහුණුවල බහා වේළුණු පසුව ඇඹරුම් යන්ත්‍රයක් ආධාරයෙන් සියුම්ව කුඩුකර මෙකී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. නිවෙසේ සිදු කරන එයින් අධික ලාභයක් ලබන බවද හෙළිව තිබේ. 

සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට පත්වන මොහොතේ ප්‍රධාන ජාවාරම්කාරිය සිට නොමැති අතර, එම නිවෙසේ තිබියදී ගංජා මිශ්‍ර දුම්කුඩු ග්‍රෑම් 284යි මිලිග්‍රෑම් 586ක්, දුම්කොළ කිලෝ 1යි ග්‍රෑම් 943ක්, අළුහුණු ග්‍රෑම් 750ක් හා ඇඹරුම් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හා සැකකාරිය සමඟ නඩු භාණ්ඩ වශයෙන් ඉහත ද්‍රව්‍ය හා මුදල් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.කේ.පී.බී. මෙරිනෝ, පොලිස් සැරයන් 40731 දුෂ්‍යන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 83822 ගයාන්, 90401 හර්ෂ සමඟ 91597 ගිහාන් යන අය වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02