2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

බස් මගීන්ගේ දුක්ගන්නා රාළ BAD BUS APP එක

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා මගී ජනතාව නිරන්තරයෙන් විවිධ ගැටලුවලට මුහුණ දෙති. ඇතැම් රියැදුරන් සහ කොන්දොස්තර මහතුන්ගේ නොමනා හැසිරීම් හා නොමනා කීම් හේතුවෙන් මහජනතාව පත්වන්නේ අන්ත අසරණ තත්ත්වයටය. එපමණක් නොව බස්රථයේදී බොහෝ ගැටලුවලට මුහුණ දීමටද සිදුවෙයි. මෙවැනි ගැටලු පිළිබඳ පැමිණිලි කළ හැකි ජංගම දුරකථන යෙදවුමක් (APP) ප්‍රවාහන අමාත්‍යංශයේදී පසුගියදා එළිදැක්වුණි.

මෙම යෙදවුම (APP) හඳුන්වා දී ඇත්තේ “BAD BUS” නමිනි.

“පසුගිය කාලයේදී බස්රථවලින් සිදුවන අනතුරු පිළිබඳව අපි වැඩි වශයෙන් කතා කළා. දවස ගානේම බස්රථ අනතුරු සිදුවෙනවා. මේ නිසා මහජනතාව සඳහා අපි ඇප් එකකක් නිර්මාණය කළා. ඒකට නම දැම්මේ “BAD BUS” නමිනුයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ පැමිණිලි යෙදවුම හැටියටයි එය භාවිත කෙරෙන්නේ. ඒ සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරලයි තිබෙන්නේ.” යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍යයට පැවසීය.

“BAD BUS” යෙදවුම මගින් මහාමාර්ගයේ බස් රථ ධාවනය කිරීමේදී සිදුකරනු ලබන නොසැලකිලිමත් ධාවනය පිළිබඳව යම්කිසි කෙනකුට පැමිණිල්ලක් කිරීමට අවශ්‍යතාවය ඇත්නම් එය මේ හරහා ඉදිරිපත් කළ හැක. එවැනි නොසැලකිලිමත් ලෙසින් ධාවනය කරනු ලබන බස් රථයක් ඇත්නම් එහි ඡායාරෑපයක් ගෙන එය වට්ස්ඇප් (Whatsapp) තාක්ෂණය ඔස්සේ “BAD BUS” යෙදවුමට යොමුකිරීම මගින් එම බස්රථය පිළිබඳව වහාම කටයුතු කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සැලසුම් කොට ඇත.

මෙහිදී සෑම බස් රථයකම අංකය බස් රථය ඇතුළතද මගීන්ට දැකගත හැකිවන සේ ප්‍රදර්ශනය කළයුතු බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සියලුම බස් රථවලට උපදෙස් ලබාදී ඇත. එබැවින් අපරික්ෂාකාරී ලෙසින් ධාවනය වනු ලබන බස්රථවලට අංකයත් සමඟ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ජංගම දුරකථන යෙදවුමට යොමුකළ හැක. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන මගීන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පැමිණිල්ල පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.

මෙය පෞද්ගලික බස් රථයක් නම් ධාවන බලපත්‍රය අවලංගු කිරීමටත් ලංගම බස් රථයක් නම් රියැදුරන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අරමුණු කරගෙන තිබේ.

මෙහි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක කළ හැකි අතර මගීන්ට අවශ්‍ය පරිදි භාෂා වෙනස් කරගත හැක. ජංගම දුරකථන යෙදවුම හරහා මගියෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ඒ මොහොතේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ දත්ත ගබඩාවට ඇතුළත් වේ. එය කාණ්ඩ තුනකට වෙන් කෙරේ. එනම් පෞද්ගලික බස් රථ, ලංගම බස්රථ කාණ්ඩ දෙක සහ කාන්තා හිංසනයට ලක් කිරීම වැනි පැමිණිලි වෙනම කාණ්ඩයක් වශයෙනි. මෙහෙයුම් මැදිරිය භාර නිලධාරියකු යොදවා ඇති අතර ඔහු විසින් ඉදිරිපත් කළ සෑම පැමිණිල්ලකම අවසන් ප්‍රතිඵලය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. මේ හරහා මගීන්ට පමණක් නොව බස් රථ හිමියන්ටද තමන් මුහුණ දෙන ගැටලු මේ හරහා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02