20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මේ වනවිට රට පුරා කතාබහ ඇතිවෙමින් පවතී. පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ අධ්‍යයනය කර තමාට වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තමා විසින් පත්කරනු ලැබූ සයපුද්ගල කමිටුවකට උපදෙස් දී ඇත. එයට හේතුව සමාජයේ විවිධ පාර්ශ්ව මගින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ඇතැම් කරුණු පිළිබඳ එළිපිටම විරෝධය ප්‍රකාශ කිරීමට ආරම්භ කිරීම නිසාය.
මෙම විරෝධතාවලින් ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ පිහිටුවා ඇති ජාතික විගණන සේවය අහෝසි කිරීම සහ විගණකාධිපතිවරයා සතු බලතල කප්පාදු කර තිබීම ගැනය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පිළිබඳ බොහෝදෙනා කතාබහ කළද එයින් සිදුකර ඇති වැදගත් ප්‍රතිපාදනයක් වන්නේ ජාතික විගණන කොමිෂන් සභාවක් ස්ථාපිත කර ජාතික විගණන සේවයක් ඇති කිරීම සහ විගණකාධිපතිවරයා සතු බලතල ශක්තිමත් කර තිබීමය. විගණන සේවා කොමිසම ස්ථාපිත කර වසර 3ක් පමණ ඉකුත්ව ගියද විවිධ පාර්ශව අතර ඇති වූ කඹ ඇදීම් නිසා යහපාලන ආණ්ඩුව අවසන් වනතුරැම ජාතික විගණන සේවයක් ඇතිවූයේ නැත. ඒ සඳහා බත්තරමුල්ලේ කාර්යාලයක් පවා වෙන්කර ඇතැම් නිලධාරීන් පවා පත්කර තිබුණද එම සේවය සක්‍රීය කරගත හැකි වූයේ නැත. දැන් මේ වනවිට සිදුව ඇත්තේ යෝජිත 20 වැනි සංශෝධනය මගින් මෙම ක්‍රියාවලිය මුළුමනින්ම උඩුයටිකුරැ කිරීමක් බවට චෝදනා එල්ල වේ.
මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තිබිය යුතුයි
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති, විගණන අධිකාරී ප්‍රසාද් ප්‍රසන්න
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජනාධිපතිව සිටි කාලයේ 2014 දෙසැම්බර් 26 දින ජාතික විගණන සේවයක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව 2015 නව ආණ්ඩුවක් පැමිණි පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය විගණන සේවය, ජාතික විගණන කාර්යාලය සහ විගණන කොමිෂම ස්ථාපිත කළා. විගණන කොමිෂන් සභාව ඇතිවූයේ විගණකාධිපතිට සහාය දැක්වීමටයි. විගණකාධිපති කාර්ය මණ්ඩලය, රාජ්‍ය විගණන සේවාව විගණන රාජකාරි ඉටු කරන්නේ ජාතික විගණන කාර්යාලය මගින්.
විගණන කොමිසම පත්කළද, රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කළේ නැහැ. අදටත් පවතින්නේ ඒ තත්ත්වයේ. 2020 – 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන කොමිසම අහෝසි කර ඇති අතර විගණකාධිපතිගේ විෂය පථය කප්පාදු කර ඇත. 1978 ව්‍යවස්ථාව එනවිට අපේ රටේ රාජ්‍ය සමාගම් තිබුණේ නැත. 78 සිට 18 වරක් ව්‍යවස්ථාව සංශෝධනය කළද එයට සමාගම් විගණනය ඇතුළත් කළේ නැත. එය කළේ 19 වැනි සංශෝධනයෙනි.
එසේ 19ට රාජ්‍ය සමාගම් ඇතුළත් කළද තවමත් සමහර ආයතන විගණනය කිරීමට විගණකාධිපතිට ඉඩ ලැබී නැහැ. ලංකා විදුලිබල මණ්ඩලය තුළ එවැනි සමාගම් 20ක් ක්‍රියාත්මකයි. ඒවායින් LIL Holdings සමාගම සතු කොටස්වලින් සියයට 63ක් ලංකා විදුලිබල මණ්ඩලයට අයිති වුවද අදටත් එය විගණනයට විගණකාධිපති ඉඩ නොලැබෙයි. තවත් උප සමාගම් 16ක් මෙම සමාගම තුළ ඇති නමුත් මේ නිසා ඒවා විගණනය නොවෙයි. මෙවැනි සමාගම්වලට පාර්ලිමේන්තුවේ වගවීමක් නැහැ. එවැනි ආයතන 150ක් තිබෙනවා. විගණකාධිපතිට ඇතැම් සමාගම්වල ගිණුම් පමණක් විගණනය කිරීමට බලය තිබුණද ගනුදෙනු ක්‍රියාවලිය කළමනාකරණ තීන්දු, ප්‍රසම්පාදන කටයුතු ආදිය විගණනය කිරීමට ඉඩ දුන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවද මෙයට අන්තර්ගත අතර එහි මුදල් මණ්ඩල තීරණ ආදිය පරික්ෂා කරන්නට ඉඩ ලැබුණේ නැහැ.
ව්‍යවස්ථාවේ 154 (1) වගන්තියේ &ගිණුම්ද ඇතුළුව* යන වචනයක් ඇත. 20 වැනි සංශෝධනයෙන් ඇතුළුව යන වචනය ඉවත් කර ඇති නිසා කාර්යභාරය ගිණුම් බැලීමට පමණක් සීමා කර තිබෙනවා. විගණකාධිපති පත්කිරීමේ බලය මේ සංශෝධනය අනුව ජනාධිපතිට පැවරීම ගැන අපගේ විරැද්ධත්වයක් නැහැ. සුදුසු සාමාජිකයන් විගණන කොමිසමට පත්කිරීමේ බලය ජනපතිට යාමද අපි බරපතළ ලෙස දකින්නේ නැහැ. රටක් නිවැරදිව ගමන් කිරීමට විධායක බලය ජනපතිට තිබිය යුතුයි. එහෙත් පාර්ලිමේන්තුවට ඇති මූල්‍ය පාලන බලතල ඉවත් කිරීමට අපි විරැද්ධයි. 148 ව්‍යවස්ථා වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. එය එසේම තිබිය යුතුයි යන්න අපේ ස්ථාවරයයි.
රාජ්‍ය සමාගම් විගණනය කිරීමේ බලය විගණකාධිපතිගෙන් ගිලිහීම නිසා ඒවා කෝප් එක යටතට යන්නේ නැහැ. පසුගිය වසර 30 තුළ මේ සමාගම්වල මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුව අධීක්ෂණය කළේ නැහැ. ඒත් 2015 සිට විගණකාධිපතිට බලය ලැබුණු පසු ගිණුම් පරික්ෂා කර වැරදි නිවැරදි කිරීම අධිභාර පැනවීම ආදිය ඔහු ඉටුකළා. එය ඉවත් කිරීම ඉතාම අහිතකරයි.
අපි වර්තමාන රජය බලයට පත්කිරීමට කැමැත්තෙන් සිටියා. එහෙත් මේ තත්ත්වය සුදුසු නැහැ. මේ පිළිබඳ මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන අප විසින් දැනුවත් කර තිබෙනවා. ඒ අය මේ ගැන කරැණු ඉදිරිපත් කරාවි. ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වාවියැයි අපි බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය මූල්‍ය පාලනයේ කරමුලට ගැසීමක්
නීතීඥ ප්‍රබෝධ රත්නායක - Rights now සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී
20 වැනි සංශෝධනයෙන් විගණන ක්ෂේත්‍රය අඩපණ කිරීම ප්‍රධාන වශයෙන් රාජ්‍ය මූල්‍ය පාලනයට බලපාන බව කිවයුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දක්වා පැමිණි ගමන් මගේදී රාජ්‍ය මූල්‍ය පාලනය විවිධ නීති රෙගුලාසි මගින් ශක්තිමත් කර තිබුණා. එම තත්ත්වය මේ යෝජිත සංශෝධනයෙන් අවම කර තිබීම කනගාටුවට කරුණක්.
ප්‍රධාන කාරණා පහක් මෙම 20 නිසා දුර්වල වී තිබෙනවා. මුලින්ම පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය දුර්වල කර තිබෙන බව කිවයුතුයි. පාර්ලිමේන්තුවේ බලතල ජනපති පවරාගෙන තිබේ. මෙය නොවිය යුතුව තිබුණු දෙයක්. තොරතුරු දැනගැනීමේ පනත රජයේ විනිවිදභාවයට බලපාන වැදගත් පනතකි. 20 වැනි සංශෝධනයෙන් එය අහෝසි නොකළද තොරතුරැ කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ බලය ජනපතිට ලබාදී තිබෙනවා. මෙය එහි ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපායි. තොරතුරු කොමිසමේ ක්‍රියාදාමය නිසා පසුගිය සමයේ විවිධ දූෂණ ක්‍රියා හෙළිදරව් වෙලා තිබෙනවා. මේ නිසා එවැනි අවිධිමත් දේවල් යම් පමණකට පාලනය වුණා. ඒ කාලයේ මේ පනත මගින් ඇතැමුන් ජනපතිගේ සහ අගමැතිගේ වත්කම් පවා ලබාගෙන තිබෙනවා. නමුත් ඒ තත්ත්වය මේ සංශෝධන මගින් දුර්වල කර තිබෙනවා. මේ තත්ත්වය යහපත් මූල්‍ය පාලනයකට බාධාවක් බව කිව යුතුයි.
විගණන කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම මූල්‍ය පාලනයට සෘජුවම අහිතකර ලෙස බාලපානවා. මෙයට විකල්පයක් ද යෝජනා කර නැහැ. යළිත් 18 වැනි සංශෝධනයට ගොස් තිබෙන බවයි පෙනෙන්නේ. මෙම ආයතන දෙක රජයේ වියදම ගැන ප්‍රධාන නිරීක්ෂකයන් ලෙස කටයුතු කරනවා. මෙම ආයතන නැතිවීමෙන් රාජ්‍ය මුදල් කිසිදු බිය සැකයකින් තොරව අවභාවිත කිරීමට නිදහස දී තිබීම ඉතාම අහිතකර තත්ත්වයක්.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දී තිබූ අල්ලස් හා දූෂණ කොමිෂමේ විමර්ශන බලය හා ව්‍යවස්ථාවේ 156 (අ) වගන්තියෙන් අයිතිව තිබූ අභිමත බලය පාවිච්චි කිරීමේ නිදහසද මෙමගින් අහෝසි වී තිබෙනවා. පස්වෙනුව මැතිවරණ කොමිසමට දී තිබූ බලතලත් අඩු කරලා. මෙහිදී රාජ්‍ය ආයතන ගැන විධාන නිකුත් කිරීම් බලතලද අවම කර ඇති බව පෙනෙනවා. එහි මාර්ගෝපදේශවල විෂය පථය සීමා කර ඇති බව කිව යුතුයි.
මෙහි දැක්වූ පස් ආකාර දුර්වලතා නිසා 20 වැනි සංශෝධනයෙන් මෙතෙක් කල් රටේ පැවැති රාජ්‍ය මූල්‍ය පාලනය බොහෝකොට දුර්වල කර ඇති බව කිව යුතුයි. මූල්‍ය පාලනය වර්ධනය කළ යුතු අවස්ථාවක මෙලෙස දුර්වල කර ඇත්තේ ඇයිද යන්න සිතාගත නොහැකියි. මෙම තත්ත්වයට දැනට ආණ්ඩුව තුළින් පවා විරෝධය එල්ලවෙමින් පවතින බවක් දක්නට තිබෙනවා. මෙය යහපත් ප්‍රවණතාවක්. ජනපතිගේ එකම දර්ශනය හොරකම්, වංචා හා දූෂණ නැති කිරීම බව ප්‍රකට කරැණක්. එහෙත් මේ 20 සංශෝධනය එයට එරෙහි වීමක්. දැනට මෙය සමාජ කතිකාවකට භාජනය වී ඇති අතර එයට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීම සාධනීය ලක්ෂණයක්. ඒ නිසා මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ අවශ්‍ය වෙනස් කිරීම් අප්‍රමාදව සිදුකළ යුතු බව පෙන්වා දීමට කැමතියි.
අගමැතිගේ බලතල ජනපති අතට ගැනීමක්
හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්
මේ සංශෝධනයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුවේ සහ අගමැතිගේ බලතල ජනාධිපති අතට ගැනීමක්. මූල්‍ය බලතල පමණක් නොව අධිකරණ බලයද ඔහුට නිරායාසයෙන් හිමිවෙනවා. අධිකරණ, ව්‍යවස්ථාදායක හා විධායක යන තෙආකාර බලතලම එක් පුද්ගලයකු වටා කේන්ද්‍ර වෙනවා. රටේ සමස්ත මූල්‍ය බලය ඔහු ගන්නවාත මුදල් වෙන්කිරීම හා පාවිච්චි කිරීමේ හැකියාව එක් පුද්ගලයකුට ලැබීම ඉතාම භයානකයි. මෙහිදී මුදල් රටේ පවත්නා නීතියට හා මුදල් රෙගුලාසිවලට අනුව භාවිත කරනවාද යන්න ගැටලු සහගතයි. විගණනය කිරීමක් සිදුවන්නේ මෙම අවිධිමත් ක්‍රියා වළක්වා ගැනීමටයි. ජාතික ප්‍රසම්පාදන කොමිෂම හැදුවේද මූල්‍ය තත්ත්වය යහපත් කිරීමේ පරමාර්ථයෙන්. එහෙත් මෙම ආයතන අහෝසි කිරීමෙන් දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට රිසි ලෙස මුදල් වියදම් කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙම සංශෝධනයෙන් බිය නැතිව මුදල් වංචා කිරීමට ඉඩ ලැබී ඇති බව කිව යුතුයි. 20 වැනි සංශෝධන නිසා කිසිවිටෙකත් ජනපතිගේ හෝ අගමැතිගේ බලතල වැඩි වී නැති බව පෙනෙන්නට තිබෙනවා. මෙම කප්පාදු කිරීම් කවුරැන් හෝ ඉල්ලූ දෙයක් නොවෙයි. මෙයින් මුදල් හොරකම් කිරීම පමණමයි සිදුවන්නේ.
විගණනයෙන් ජනපති හා අගමැති කාර්යාල ඉවත් කර මැතිවරණ කොමිෂන් කාර්යාලය අලුතින් එකතු කර තිබෙනවා. 19 අනුව මැතිවරණ කාර්යාලයේ විගණනයක් නොතිබූ අතර ඔවුන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පමණක් සිදුවූයේ. ජනපති හෝ අගමැති ස්වකීය කාර්යාලවල මූල්‍ය කටයුතු විගණනය කරන්න එපා කියලා කවදාවත් කියලා නැහැ. ඒ නිසා මේ සංශෝධන ලියුවේ කවුද යන්න සොයාගන්න බැරිවෙලා. මේ ගැන ප්‍රථමයෙන්ම විමසුවේ මමයි. ඒ ගැන මාධ්‍ය තුළ සංවාදයක් ඇති කළා. ලියූ අය සොයාගන්න බැරි වුණේ මෙහි ඇති අවුල් නිසයි.
විගණන දෙපාර්තමේන්තුවේ අපේ රටේ පැරැණිම දෙපාර්තමේන්තුවලින් එකක්. රටේ සිවිල් පරිපාලනය ඇති වූ දින සිට එය තිබුණා. විගණකාධිපතිගේ බලතල එදා සිට වැඩි වූවා මිස අඩුවූයේ නැහැ. ලෝක ඉතිහාසයේ මුල් වරට තමා ලංකාවේ විගණකාධිපතිගේ බලතල මෙහෙම අඩුකරලා තියෙන්නේ. මෙය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රශ්න කිරීම්වලට ලක්විය හැකියි. ඒ නිසා අප අපේක්ෂා කරන්නේ මෙම යෝජිත සංශෝධනවල අහිතකර වගන්ති ඉවත් කර රටේ මූල්‍ය පාලනය පෙරටත් වඩා ශක්තිමත් කිරීමට කටයුතු කරාවිය යන්නයි.
යසවර්ධන රුද්රිගු