වංචනිකයෝ මරණය වුව අලෙවි කරති. මිනිසුන් වංචාවන්ට හසුවන්නේ බොහෝවිට නොදැනුවත් බව නිසාවෙනි. රට තුළ විවිධ නිලතල දරන්නන් ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටින්නෝ බොහෝ වෙති. ජනතාව සංවේදී වන අසරණ වන ස්ථානවලදී ඔවුහු සිය කූඨ උපායන් හරහා මුදල් ගරාගැනීමට සමත් වෙති. පසුගිය සමයේ ව්‍යාජ පොලිස් නිලධාරීන්, ව්‍යාජ වෛද්‍යවරුන්, ව්‍යාජ මාධ්‍යවේදීන් ගැන පවා අපට අසන්නට ලැබුණි. කෙසේ නමුත් මෙවර මතුවී ඇත්තේ ව්‍යාජ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් සම්බන්ධ ගැටලුවකි. කොවිඩ් බිය නිසාම හොර පී.එච්.අයි.ලාට රැවටුණු පිරිසක් සම්බන්ධව පසුගිය දා අපට වාර්තා විය.
මෙම රැවටීමට හසුව ඇත්තේ, සිද්ධමුල්ල යෝධ මාවතේ පදිංචිකරැවන් පිරිසක් සහ හෝමාගම, උණපඳුර හන්දියේ පදිංචිකරුවන් පිරිසකි. මෙම ප්‍රදේශවල නිරෝධායනයට ලක්වන පුද්ගලයන් සිටින නිවාස කිහිපයකි. එම නිසාම හොර පී.එච්.අයි.ලා මෙම ප්‍රදේශය සිය ගොදුරැ බිම ලෙස තෝරාගෙන තිබුණි.
කොතරම් දැනුවත් කළද නිරෝධායනය සම්බන්ධව බොහෝ දෙනා තුළ තවමත් ඇත්තේ අනිසි බියකි. එම බියම මෙම වංචනියෝ ප්‍රයෝජනයට ගත්හ. මෙම වංචාවට හසුවූ අයගේ නිවාස නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් ජීවත්වෙන නිවාස ආසන්නයේ පිහිටා තිබුණි. කොවිඩ් පිළිබඳ යම් චකිතයක් ඔවුන් තුළ විය. රටෙන් සැලකිය යුතු මට්ටමකට කොවිඩ් උවදුර පහව ගොස් ඇති බව සැබෑය. නමුත් දන්නා කියන කවුරු හෝ නිරෝධායනය කළ බව ඇසූවිට ජනතාව තවමත් බියවන බව නම් නොරහසකි.
සිදුවීම වූ දිනයේ සිවිල් ඇඳුමින් සැරසුණු මැදිවියේ පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම නිවාසවලට පැමිණියහ. ඔවුන් කීවේ තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් බවය. ඔවුහු නිවැසියන්ව පී.සී.ආර් පරීක්ෂණකට භාජනය කළ යුතු බව කීහ. එසේම මෙම පිරිස ඊට මුදල් වැයවන බවද කීහ. ගණන රැපියල් දෙදහසකි. ඒ අනුව බොහෝ දෙනා රුපියල් දෙදහස බැගින් මෙම පිරිසට ලබාදුන්හ. ළඟපාත නිරෝධායනය වන්නන් සිටින නිසා බොහෝ දෙනා තුළ සැකයක් ද නොවීය.
ඒ අනුව ප්‍රදේශයේ නිවාස කිහිපයකින්ම පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා එක් පුද්ගලයකුගෙන් රුපියල් දෙදහස බැගින් ලබාගැනීමට මෙම හොර පී.එච්.අයි. කණ්ඩායම සමත් වූහ. ඒ අනුව ඔවුහු සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් එකතු කර ගත්හ. මුදල් ලබාගත් පසු මෙම පිරිස කියා ඇත්තේ අදාළ සාම්පල ලබාගැනීමට පසුව එන බවය. මෙම හොර පී.එච්.අයි කණ්ඩායමේ කතාව වාර්තා වන්නේ කහතුඩුව ආශ්‍රිතවය. කෙසේ වෙතත් මෙම වංචනිකයන් පිරිස මේ වන විට පලා ගොස් හමාරය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශයක් කර තිබේ. මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බවට හඟවා වංචනික ලෙස මුදල් ලබාගන්නා කණ්ඩායමක් පිළිබඳව තම සංගමයේ සාමාජිකයන් විසින් පැමිණිලි කර ඇති බව ඔහු පවසයි. ඒ අනුව පෙනී යන්නේ මෙය ඉතා සංවිධානාත්මක සොරමුලක් විසින් දිගින් දිගටම කරගෙන යන වංචාවක් බවය.
මෙවන් පුද්ගලයන්ට හෝ කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මුදල් ලබා නොදෙන ලෙසත් උපුල් රෝහණ මහතා ඉල්ලා තිබේ. එවන් සිදුවීම් සම්බන්ධයෙන් ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසත් නැතහොත් තම සංගමයේ දුරකථන අංකය වන 0112635675 යන අංකයට කතා කර පැමිණිලි කරන ලෙසත් සසභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
සරල හාස්‍යජනක සිදුවීමක් ලෙස පෙනුණද මෙවන් සිදුවීම් සුළුවෙන් නොතැකිය යුතුය. සංවිධානාත්මකව සිදුවන මෙවන් වංචාවන් රට පුරා නිරන්තරව වාර්තාවීම යහපත් තත්ත්වයක් නොවේ. මෑතක සිට මෙවන් සිදුවීම් කිහිපයක්ම අපගේ නිරීක්ෂණයට යොමු විය. මිනිසුන්ගේ අසරණකම් භාවිත කරන මෙම අපරාධ ඉතා පිළිකුල් සහගතය. කෙසේ වෙතත් මෙවන් අපරාධකරැවන්ගේ මීළඟ අදියර මහා පරිමාණ වංචාවක් විය හැකිය. ආරක්ෂක අංශ මත්කුඩු පාතාලය සේම මෙවන් අපරාධ පිළිබඳව ද වැඩි සංවේදීතාවයකින් කටයුතු කළ යුතුය වන්නේ එබැවිනි.
චමිඳු නිසල්