2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

හන්තාන කපනවා මදිවාට අක්කර ගණන් ගිිනි තබලා

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

මහනුවර සෙංකඩගලපුර රාජධානියේ රාජ්‍ය පාලනය හෙබවූ රජවරුන් පවා එදා සුරක්ෂිත කළ පාරිසරික සංරක්ෂිත වනපෙත් සහිත කඳු පන්තියක් වූ හන්තාන කඳු රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ජලපෝෂිත රක්ෂිතයක් ලෙසද විවිධ පක්ෂීන්, උරගයන් හා වෙනත් දුර්ලභ වූ වනසතුන්ගෙන්ද ගහණ වූ සුන්දර වන පියසකි.

හන්තාන කඳු රක්ෂිතය මහනුවර හදවතය. මහනුවර අවට ජලය පෝෂණය කරනු ලබන්නේ හන්තාන අධි පාරිසරික සංරක්ෂිත කලාපය තුළිනි.

එහෙත් අද වන විට මෙම සුන්දර හන්තාන කඳු රක්ෂිත වනය හිත්පිත් නැති විනාශකාරී මිනිසුන්ගේ ග්‍රහණයට ලක්වීම තුළින් හන්තාන සුන්දර කඳු මිටියාවතේ වනාන්තර වෙනුවට කොන්ක්‍රීට් පුරවරයක් බිහිවෙමින් තිබේ.

රජයට අයත් වතු ගණනාවක් හන්තානේ තිබුණද, එම රාජ්‍ය වතුවල සේවයට පිටස්තරින් පැමිණි ඇතැම් නිලධාරීන් (විශේෂයෙන් වතු අධිකාරිවරුන්, වතු කළමනාකරැවන්) ඉවක් බවක් නොමැතිව මෙම සුන්දර පාරිසරික වන මිටියාවතේ ගස්කොළන් කපා කාන්තාර බවට පත් කරමින් සිටිද්දී වගකිව යුතු සියලු අංශ මාධ්‍ය සංදර්ශන පවත්වමින් මුදල් නෝට්ටුවලටත් දේශපාලන බලපුළුවන්කාරකමටත් යටවී ඇස් කන් පියාගෙන සිටිද්දී නුදුරු අනාගත පරපුරට මහනුවර පුරවරයේ හන්තාන සුන්දර වන මිටියාවත වෙනුවට තවත් වසර 50ක් පමණ ගිය කල්හි දක්නට ලැබෙනු ඇත්තේ කාන්තාරයකි.

රජයේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සබඳතා ඇතැයි පවසමින් අහවලා, අපේ අහවලා, මගේ ඥාතියා කියමින් හන්තාන කඳු මුදුන්හි වටිනා ඉඩම් කට්ටි තුට්ටු දෙකට තමන් සන්තක කරගත් පුද්ගලයන් මේ වන විට හන්තාන කඳු මුදුනේ ජලපෝෂිත තත්ත්වයන්ට උපකාරී වූ වටිනා රුක්ෂයන් පැළෑටි සියල්ල කපා මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරය (ඡායාරෑප ඇත) ආරම්භ කර තිබේ.

ජාවාරම්කරුවන්ට හන්තානේ කඳු රක්ෂිතයේ වටිනා ඉඩම් ලබා දී අතයට මුදල් ගනුදෙනු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඇතැම් දේශපාලනඥයන් සිදු කරන පරිසර විනාශයට වන්දි ගෙවීමට කෙදිනක හෝ සිදුවනු ඇත්තේ ඔවුන්ගේ දරු මුණුපුරන්ටය.
පරිසර සංවිධාන මොන තරම් හඬ නැගුවත් විවිධ නීතිරීති යෙදුවත් සියල්ල අභිබවා දේශපාලනය ඉස්මතු වීම නිසා අද වන විට හන්තාන කඳු රක්ෂිත වනපියස මහා විනාශකාරී තත්ත්වයකට පත්ව තිබේ.

විවිධ බලගතු සමාගම්වලට අයත් නිවාඩු නිකේතන මේ කඳුයායේ ඉදිවී ඇත. ඒවා ලබා දුන්නේ කවුරුන්දැයි කවුරුත් නොදනිති. ඇතැම් ජනාධිපතිවරුන්ගේ (වත්මන් ජනාධිපති සමයේ නොව) සබඳතා මත මෙහි වටිනා ඉඩම් විවිධ පුද්ගලයන්ට ලැබී ඇතැයි සඳහන් වේ.

අධි සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම්කර තිබෙන හන්තාන කඳුවැටියේ සුන්දරත්වය නොවිඳි විශ්වවිද්‍යාල සිසුවකු සිසුවියක නැති තරම්ය. දෙස් විදෙස් පරිසර ගවේෂකයන්, සත්ව විද්‍යාඥයන්, වනාන්තර පිළිබඳව හදාරණ ශාකා පර්යේෂකයන් පය ගැසූ හන්තාන කඳු භූමියට අද ජාවාරමුන් විසින් මිලක් ද නියම කර තිබේ.

රුපියල් 100ක් 200ක් වැනි ඉතා සොච්චම් මුදලකට හන්තානේ අක්කර 50 – 60 මිලදී ගත් ඇතැම් ජාවාරම්කරුවන් අද වන විට මෙම පරිසර කලාපයේ පර්චසයක් රුපියල් ලක්ෂ පහකට මිල කර තිබේ.

හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා හන්තානේ පරිසර විනාශය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මේ සුන්දර කඳු පියසේ වන රක්ෂිතය තුළ ඉඩම් අල්ලාගත් බොහෝ දෙනෙක් ප්‍රබල දේශපාලනඥයන්ට සමීප වී සිට ඔවුන් රවටා විවිධ වන ව්‍යාපෘති ආරම්භ කරන මුවාවෙන් විශාල ලෙස පරිසරයට හානි කිරීම් සිදුකර තිබෙනවා. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හන්තානේ රක්ෂිත පෙදෙසේ අක්කර අටක් ගිනිතබා විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධව අපි පොලීසියට පැමිණිලි කළා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාටත් මධ්‍යම පරිසර අධිකාරියටත් පැමිණිලි කළා.

හන්තාන වත්තේ වතු අධිකාරිවරයා දැන් හන්තාන කඳු පෙදෙසට ඇතුළු වන අයගෙන් මුදල් අයකිරීමටත් පියවර ගෙන තිබෙනවා. එහෙම මුදල් අයකිරීමක් කිරීම නීත්‍යානුකූල ද කියන එක අපටත් ප්‍රශ්නයක්. මේ අන්දමට අයකරන මුදල් රජයේ ගිණුමකට හෝ පෞද්ගලික ගිණුමකට බැරවෙනවාද කියන එක අපි සොයා බලනවා.”

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හන්තාන වතු අධිකාරිවරයා රාජ්‍ය ලාංඡනය සහ ජනවසමේ නිල ලාංඡනය සහිත නාමපුවරු සවි කර හන්තාන කඳු තරණය කිරීම සඳහා හන්තාන කඳු පෙදෙසට ප්‍රවිශ්ට වන මාර්ගයට ඇතුළුවන්නන්ගෙන් මුදල් අයකිරීමට ද කටයුතු යොදා ඇතැයි ද, එලෙස එක් අයකුගෙන් රුපියල් 100, රුපියල් 500 වශයෙන් මුදල් අය කරනු ලබන්නේ රිසිට්පත් හරහා යැයි ද හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.
හන්තාන නැරඹීමට පැමිණෙන පිරිස් මාර්ගයෙන් මුදල් උපයාගන්නා ජනවසම වතු අධිකාරිවරයා ප්‍රදේශයේ පරිසර සංරක්ෂණය උදෙසා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද හන්තාන සුරුකීමේ සංවිධානය චෝදනා කරයි.

හන්තාන පාරිසරික ආරක්ෂක කලාපයට අයත් ප්‍රදේශයකට ඇතුළුවන්නන්ගෙන් මුදල් අයකිරීම නීතිවිරෝධී බවද ඒ සඳහා හන්තාන පාරිසරික කමිටුවෙන් කිසිදු අවසරයක් හෝ අනුමැතියක් ලැබී නැති බවද හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම්වරයා සඳහන් කර සිටී.

හන්තානේ සිදුවන පාරිසරික විනාශයන් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරැණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම ප්‍රදේශයට ගොස් සිදුව ඇති විනාශය දැකබලා ගත් අතර ඒවාට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ද ලබා දී තිබේ.

හන්තානේ පරිසරය විනාශය කිරීමේ කටයුත්තට එක්ව සිටින ඇතැම් ජාවාරම්කරුවන්ට මධ්‍යම පරිසර අධිකාරියේත් ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේත් රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ඇතැම් නිලධාරීන්ගේත් සහාය ලැබෙන බවට හන්තානේ අවට ගම්වල පදිංචි ජනතාව ඍජුවම චෝදනා කරති.

එම චෝදනා බොහෝවිට සැබෑ වන්නේ හන්තාන සුන්දර වන රක්ෂිත කඳු පෙදෙසට ගොස් සිදුව ඇති පරිසර විනාශය දැකගතහොත් පමණකි.

විවිධ කාල වකවානුවල බලයේ සිටි විවිධ දේශපාලනඥයෝ තම දේශපාලන බලය යොදාගනිමින් හන්තානේ පාරිසරික ඉඩම් තුට්ටුවට දෙකට තමන් සන්තක කරගත් අතර, ඒවාට එරෙහිව හඬ නැගූ පරිසර හිතකාමීන්ට ඒවා හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට පවා බලපෑම් කරමින් තර්ජනාංගුලිය ප්‍රදර්ශනය කළහ.

ඇතැම් දේශපාලනඥයන් හන්තාන පරිසර කලාපයේ මහා දැවැන්ත තට්ටු නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉතා සූක්ෂමව කටයුතු කළ ද, ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුනට නොහැකි විය.

රැකියාව සඳහා හන්තානේ රාජ්‍ය වතුවලට පත්වූ ඇතැම් නිලධාරීන් (රාජ්‍ය හා සංස්ථා ආයතනවල) තමන්ට හිතුමතේ මෙම වතුවල ඉඩම් කට්ටි කොට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා කුළුපග වී ඉඩම්, ජාවාරම්කරැවන්ට අලෙවි කරන බවට හන්තාන අවට පදිංචි ජනතාව ඍජුවම චෝදනා කළහ.

බලයට පත්වූ සෑම දේශපාලනඥයකුම (වැවිලි ඉඩම් යන විෂයන්ට අදාළව) තමන්ට රිසි සේ දේශපාලනයට වියපැහැදම් කළ ව්‍යාපාරිකයන්ට හන්තාන ප්‍රදේශයේ වතුවල ඉඩම් ලබා දී ඇත්තේ තම දෙමව්පියන්ගෙන් ලැබුණු ඉඩම් සේ සිතාගෙන බව හන්තානේ පරිසර කලාපයේ ඉඩම් කොල්ලකෑම පිළිබඳව තොරතුරු හෙළි කළ අවට පදිංචිකරුවෝ පැවසූහ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී හන්තාන කඳු රක්ෂිත පෙදෙසේ අක්කර අටක් ගිනිතබා ඇති සිද්ධියක් තමාට ද වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ හන්තාන රක්ෂිතයේ ඉඩම් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවය.

I ජේ.ඒ.එල්. ජයසිංහ
ඡායාරෑප හා විස්තර: ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය චන්දන උඩුවාවල

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02