2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

ගම්පොළ ස්පෙෂල් ටී ෆැක්ටරියට කඩා පැන්න හැටි

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ලංකාවේ ප්‍රධානම අපනයන බෝගය වශයෙන් රස ගුණ සුවඳ පිරි සිලෝන් ටී නමින් තේකොළ පිටරට යවයි. කාලයක් පුරාවට ලෝක වෙළෙඳපොළේ සිලෝන් ටී ප්‍රතික්ෂේප වෙමින් තේ ව්‍යාපාරය කඩාවැටෙමින් පැවතියේ මෙරට ක්‍රියාත්මක කසළ තේ ජාවාරම නිසාය. එවැනි සිදුවීම් රුසක් වාර්තා වුවද ජාවාරමට එරෙහි වැටලීම් සිදු කළද එහි පාලනයක් නොමැති බව පෙනෙන්නේ ජාවාරම හරහා කූඨ ව්‍යාපාරිකයන් ලබන අධික ලාභය හේතුවෙනි.

මේ ආකාරයට කසළ තේවලට රසායන ද්‍රව්‍ය මිශ්‍රකොට ගුණාත්මක තත්ත්වයෙන් උසස් තේකොළ වශයෙන් හඳුන්වා දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් කාලයක පටන් සිදුකළ උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

ගම්පොළ කඩුගන්නාව පාරේ වෙලම්බොඩ පොලීසිය කිට්ටුව පාරෙන් පහළට වෙන්න තියෙනවා තේ ෆැක්ටරි එකක්. එතන කාලයක ඉඳලාම කසළ තේ ජාවාරම කරනවා. අල්ලාගන්න එක ලේසි නෑ. ගම්පොළ ටවුමෙ ඉඳලාම ඔත්තුකාරයො ඉන්නවා. සමහරවිට කඩුගන්නාව ටවුමෙත් ඇති. ඊටත් වඩා ෆැක්ටරි එකේ ගේට් එක කළ සිකුරිටි එලාම් එකක් තියෙනවා. පිට කෙනෙක් ගේට්ටුව ළඟට ගියත් ඇති ජාවාරම අකුලනවා.

කසළ තේ සඳහා රසායන මුසුකරමින් සිදු කරන මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් ඔත්තුකරුවකු විසින් තොරතුරක් ලබා දුන්නේ මේ ආකාරයටය. එසේ තොරතුරැ ලබා දී තිබුණේ ගම්පොළ උනම්බුව පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙතය. ඔත්තුකරු විසින් පුන පුනා කියා තිබුණේ තේ කර්මාන්තශාලාවේ බලධාරීන් ඉතා සූක්ෂම ආකාරයට ජාවාරම සිදු කරන බවය. පිටස්තර කිසිවකුට ආයතන පරිශ්‍රයට ඇතුළු විය නොහැකි බවද සැකසහිත අයකු පැමිණි වහාම ප්‍රධාන ගේට්ටුව අසල පිහිටි මුරකුටිය මගින් නිකුත් කරන විශේෂ සංඥාවක් මගින් සේවකයන් හා බලධාරීන්ට දන්වා ක්ෂණිකව රසායන හා කසළ තේ සැඟවීමට පියවර ගන්නා බවද කියා තිබේ. එබැවින් කම්හල වැටලීම අසීරැ බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ නිසා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සිදුව තිබුණේ වැටලීම සිදු කිරීමට මත්තෙන් තේ කම්හල එය පිහිටි භූමිය හා වටපිටාව සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක නිරත වීමටය. ඒ සඳහා සූදානම් වූ නිලධාරීන් කිහිප දෙනකු දින ගණනක් තිස්සේ අදාළ ප්‍රදේශයේ සැරිසරමින් ආවේක්ෂණ රාජකාරියේ නිරතව ඇතැයි පැවසේ. ප්‍රධාන මාර්ගය, අතුරු මාර්ග, කර්මාන්තශාලාවට පිවිසුම, අභ්‍යන්තර පිහිටීම, එහි ආරක්ෂක අංශවල හැසිරීම, යන එන රථවාහන හා පුද්ගලයන් පිළිබඳව ද ඔවුහු විමසිලිමත්ව සිටියහ. වැටලීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව රුස්වූ නිලධාරීහු තේ කර්මාන්තශාලාව වැටලීම සඳහා දිනයක් වෙලාවක් යොදාගෙන අවශ්‍ය පිරිස ඊට යොමු කළහ. කාටත් සැකයක් නොසිතෙන පරිදි වෙලම්බොඩ ප්‍රදේශයේ ගමන් ගත් නිලධාරීන් ප්‍රධාන මාර්ගයෙන් පහළ කඳු කිහිපයකින් වටවී තිබෙන කර්මාන්තශාලාව ආසන්නයට ගමන් කොට තිබුණේ ප්‍රදේශයේ ගම්වාසීන් පරිද්දෙනි.

වටපිටාව පිළිබඳව දැඩි අවධානයකින් පසුවූ නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී තේ ෆැක්ටරියේ ගේට්ටුව අසල වූ ප්‍රධාන මුරකුටිය වෙත ඇතුළු වී තිබුණේ එහි ආරක්ෂක අංශය ද විමතියට පත් කරමිනි. එසැණින් එහි ආරක්ෂක නිලධාරියා විශේෂ කාර්ය බලකා බාරයට ගෙන රඳවාගෙන අනතුරුව කර්මාන්තශාලාව වෙත ඇතුළු වීමට උනම්බුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ.
ප්‍රධාන මුරකුටිය අසල පිහිටි කර්මාන්තශාලාව වෙත තරමක් දුර ගමන් කළ යුතුව තිබිණ. ගේට්ටුවේ සිට අදාළ පරිශ්‍රය දක්වාම සී.සී.ටී.වී. කැමරා සවිකර දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බව දකින්නට ලැබිණ. සියල්ල අතරින් තේ කර්මාන්තශාලාවේ ඇතුළට යාමට සමත් වූ නිලධාරීන්ට ඔත්තුකරු සැපයූ තොරතුරුවල සඳහන් පරිදි සැකසහිත තේකොළ සමඟ අමුද්‍රව්‍ය රුසක් දැකගැනීමට ලැබී ඇත. ඒ අතර තිබී ෆෙරස් සල්ෆේට් රසායන කිලෝ 20ක්, සෝඩියම් බයි කාබනේට් රසායන කිලෝ 250ක්, සීනි පැණි බෝතල් 138ක්, හඳුනා නොගත් රසායන කිලෝ 5ක්, ශ්‍රේණිගත නොකළ තේකොළ කිලෝ 1165ක්, වියළන ලද තේකොළ කිලෝ 400ක්, බී.ජී.අයි. වර්ගයේ තේකොළ කිලෝ 1500ක්, බී.ඕ.ජී. වර්ගයේ තේකොළ කිලෝ 1600ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කර්මාන්තශාලාවේ කසළ තේ තොගයක් අඩංගු ගබඩාව සම්පූර්ණයෙන් සීල් තැබීමට එස්.ටී.එෆ්. නිලධාරීහු පියවර ගත්හ. මේ සඳහා තේ මණ්ඩලයේ නිලධාරීන්ගේද මනා සහායක් ලැබුණු බව වාර්තා වේ. වැටලීමට පසුදිනයේ අදාළ කසළ තේ තොගය කිරා බැලීමේදී එහි කසළ තේ කිලෝ 75,000ක් අඩංගුව ඇති බව අනාවරණය කර ගැනිණ. මේ අතර ඒ වන විට කර්මාන්තශාලාව සතුව තිබූ සමස්ත තේකොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 140,000කට අධික බවද වාර්තා වේ.

අමු තේ දලු සමඟ කසළ තේ හා රසායන ද්‍රව්‍ය මුසුකර අඹරා සිදු කරන ජාවාරම කාලයක් පටන් මෙහි සිදුකර තිබේ. මෙවැනි කර්මාන්තශාලාවක ගබඩාවේ තිබිය යුතු ප්‍රමාණය ඉක්මවා තේකොළ අඩංගුව තිබී ඇත්තේ ජාවාරම සිදු කරන බවට සාක්ෂි තබමිනි. අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය එම පරිශ්‍රයේ ස්ථාන කිහිපයක සඟවා තිබියදී සොයාගැනීමට සමත්ව තිබිණ. 
මේ ආකාරයේ රසායන හා කසළ තේ යොදාගෙන ජාවාරමේ නිරත වූ කම්හල් 15ක් පමණ වටලා සීල් තැබීමට පියවර ගෙන ඇත. මෙවැනි තේ පානය කිරීම තුළින් ජනතාව දිගුකාලීන රෝගාබාධවලට ලක්වන බව හඳුනාගෙන තිබේ.

මෙම වැටලීම සඳහා සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා සහ තේ පරීක්ෂකවරුන් වන චමින්ද සමරතුංග, එස්.කේ.ටී. අහංගම යන නිලධාරීහුද එක්ව සිටියහ. එහි තිබූ පොත්පත් පරීක්ෂාවේදී ගබඩාවට ලබාගත් අමු තේ දලු හා පිටකර තිබෙන නිමි තේකොළ අතර විශාල වෙනසක් පවතින බවද හඳුනාගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්. කරුණාරත්න, ප්‍රධාන අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යූ.බී. ජයවර්ධන යන අයගේ උපදෙස් මත ගම්පොළ උනම්බුව විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි, පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, උප පොලිස් පරීක්ෂක ජයරත්න, උප පොලිස් පරීක්ෂක විගනින්, උප පොලිස් පරීක්ෂක තරිඳු හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන 79359 චතුරංග, 35589 ගුරුදෙණිය, 92081 චින්තක, 92093 මදුශාන්, පොලිස් කොස්තාපල් රියදුරු 80789 සංජීව යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02