2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

ආනයන පාලනය හොඳයි වගේම නරකයි

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, ප.ව. 06:00 458

විනිමය හිඟය ඉදිරියේ ආනයනික අව්‍යශතා සීමා කිරීම අනුවණ තීරණයක් නොවේ. එහෙත් පාලනය කළ යුතු දේ හා නොකළ යුතු දේ සම්බන්ධ සීමා හඳුනා ගැනීම පහසු නැත. බෙදුම් රේඛාවකින් ඇද තද තීරණයක් ගැනීම දුෂ්කරය. එක කොටසකට එපා විය හැකි දේ තවත් කොටසකට අත්‍යවශ්‍යය. ජන සමාජයක අවශ්‍යතා විවිධය. එහි විවිධ පැතිකඩවලින් හැදෙන ආර්ථිකය මිශ‍්‍ර ප‍්‍රතිඵල අත්පත් කරදෙයි. කොවිඩ් - 19 වසංගතයේ ප‍්‍රතිඵලය දරැණුය. ලෝකයේ නොයෙක් රටවල පවත්වාගෙන ගිය ප‍්‍රතිපත්ති අභියෝගයකට ලක්කර ඇත. පරෙස්සමෙන් අධ්‍යයනය කර දුරදිග බලා තීරණ ගැනීම සුදුසු වකවානුවකි.

ආනයනික දේ වෙනුවෙන් පාලනයක් කරන අතර එයින් ඇතිවන ප‍්‍රතිවිපාක ගැන නිතර සමාලෝචනය කළ යුතුය. වෙළෙඳ පොළ තොරතුරු එකතු කරන ජන හා සංඛ්‍යා ලේඛන නිලධාරීහු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටිති. වාර්තා දක්වන පරිදි මෙම නිලධාරීහු වෙළඳ පොළට ගොස් භාණ්ඩ හා සේවා වර්ග 392 ක් තමන්ම මිල දී ගනිති. එය කරන්නේ පර්යේෂණාත්මකවය. කොළඹ නගරයේ පමණක් ස්ථාන දහ හතරකින් මිල දී ගන්නා බව දැක්වෙයි. මේවා ආශ්‍රිතව හදිසි තත්ත්ව වාර්තා ගෙන වේගයෙන් තීරණ වෙනස් කරන්නට හැකි ක‍්‍රමයක් සකස් කළහොත් තරගකාරීත්වයේ දී ඉදිරියෙන් සිටින්නට හැකිය.

• අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීමකින් වැඩ වරදින ලකුණු

ශ‍්‍රී ලංකාව ආනයනය කරන දෙයින් සෑහෙන ප‍්‍රතිශතයක් නිමි භාණ්ඩ වශයෙන් නැවත අපනයනය කරයි. එය සෑහෙන ආදායම් මාර්ගයකි. අනෙක ආනයනය කරන ද්‍රව්‍ය අතරින් කොටසක් මෙහි නිපදවනු නොහැකි දේ තිබේ. යන්ත‍්‍ර සූත‍්‍ර හා කාර්මික මෙවලම් ප‍්‍රධානය. නිෂ්පාදනය වේගවත් කරනු සඳහා යාන්ත‍්‍රික ශක්තිය උවමනා කෙරේ. අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට ශ‍්‍රමිකයන් ලවා වෙළඳ පොළට අවශ්‍ය දේ නිපදවන ව්‍යුහයක් ද තිබේ. එය රැකියා අවස්ථා උත්පාදනය කරන අතර ව්‍යවසායකත්වය නංවන හේතුවකි. ආනයන බදු, ආනයනවලින් ක‍්‍රියාවට නැගෙන ව්‍යවසාය හෙයින් ඇතිකරන අවස්ථා සහ එහි ආදායම් අතින් අතර හුවමාරු වීමෙන් ඇති කරන ආර්ථික ප‍්‍රසාරණය රටට බලපාන ඉතා වැදගත් සාධකයකි. 

ආනයන පාලනය හේතුවෙන් ආවේණික කුළු බඩු විශේෂයක් වන කහ හිඟයක් තිබේ. යතුරුපැදි ආනයනකරුවෝ විකුණන්නට යතුරුපැදි නැති බවට උද්ඝෝෂණය කරති. වෙළෙන්දෝ ටයර් හා ටියුබ් නැති බව කියන්නට පටන් ගෙන තිබේ. හාඩ්වෙයාර්වල සමහර ගොඩනැගිලි ද්‍රව්‍ය නැත. අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට නිපදවන සවිකිරීමේ උපාංගවල බරපතළ හිඟයක් තිබේ. විශේෂයෙන් ආනයනික ටයිල් වෙළෙඳාම ඉදිරියේ දී ගැටලු සහගත තැනකට පත්වීමට ඉඩ ඇත. මෙරට නිපදවන කම්හල්වල නිෂ්පාදන ප‍්‍රමාණවත් නැත. ආනයන පාලනය ඉදිකීරීම් අංශයට බාධාවකි. ටයිල් වර්ග හිඟ වනවිට මිල ඉහළ යන අතර එය පාරිභෝගිකයන්ට ප‍්‍රශ්නයක් වීම වැළැක්විය නොහැකිය. ඇඟලුම් කර්මාන්තයටද අවශ්‍ය කරන ඇතැම් දේ ආනයනයට විශේෂ අවසරයක් ගන්නට සිදුවී තිබේ. ආනයන සීමා සහ වෙළඳපොළ අවශ්‍යතා අතර පැන නගින පරතරය නීති විරෝධී සිද්ධිවලටද හේතු වී තිබේ. අනවසර කහ තොග අල්ලා ගැනීම එක උදාහරණයකි. නොයෙක් පරිශ‍්‍රම දරා නීති විරෝධී දේ ගෙන්වීම හා ඒවා අල්ලන්නට ආරක්ෂක අංශ යෙදවීමද ආර්ථිකය තුළ අනවශ්‍ය කෝලාහලයක් ඇති කර තිබේ.

• වරප‍්‍රසාද ලත් පිරිසට වෙනම සැලකීම සුදුසුද?

ආනයනයට සීමා පනවන අතර එහි ගැටලු මතුවනවිට විශේෂ වරප‍්‍රසාද සහිත කොටසට නීති වෙනස් කෙරේ. කහ තොග අල්ලාගත් බව මාධ්‍ය වාර්තා කරන අතර එම තොග රාජසන්තක කර විනාශ කරන බව මාධ්‍ය වාර්තා කරයි. අඩුම වශයෙන් තෝරා ගත් සාමාන්‍ය ව්‍යවසායකයන්ට මෙම ද්‍රව්‍ය බෙදාදිය හැකිය. එය සහනයක් වනු ඇත. කහ දේශියව වගා කරන තෙක් මාස ගණනකට පමණක් සීමාසහිතව ආනයනය කරන්නට ඉඩදෙන ආණ්ඩුව අලුතින් පත් වූ මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වන්නට නීතිය ලිහිල් කරන බව වාර්තාවීම අවධානයට ගත යුතු කරුණකි. දේශය පුවත්පත පසුගිය සතියේ අනාවරණය කරන ලද පරිදි අලුතින් පත්වූ මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනයට අවසර දෙන බව ප‍්‍රකාශ වී ඇත. දැනට රජය සතු වාහන සංචිත තාවකාලිකව භාවිතා කරන පියවරකට යන්නට නොහැකි ඇයි? මැති ඇමැතිවරුන්ට නිල නිවාස, යාන වාහන ආනයනයට අවසර දෙන විට වියදම් වන ධනයද මෙම ආර්ථිකයේ කොටසකි. ජනතාව කරන කැපකිරීම පාලකයන්ටද එක හා සමාන විය යුතුය.

පසුගිය කාලයේ මෝටර් රථ ආනයනයට පනවන ලද සීමා අභිමුවෙහි රජය නිකුත් කරන ලද තීරුබදු සහනය සහිත පිරිස් වික්ෂිප්ත වූහ. ආණ්ඩුව තාවකාලික විසඳුමක් ප‍්‍රකාශයට පත්කර ඇත. දැනටමත් ආනයනය කර මෙරට වෙළඳාමට ඇති වාහන, රජයේ බදු ආපසු ගෙවන පදනම අනුව මිල දී ගන්නට අවසර නිකුත් කර තිබේ. එය එක්තරා විකෘතියක් විය හැකිය. එවැනි පියවර තිබියදී මැති ඇමැතිවරැන්ට වෙනම වරප‍්‍රසාද ප‍්‍රකාශයට පත් කිරීමද නරක තීරණයකි. 

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම හා වියදම පාලනය කර ගැනීම ගැටලු සහගත විය. විශේෂයෙන් විදේශ වෙළඳාමේ දී අසමතුලිත තත්ත්වයක් මතුවූ බව සිහිපත් කළ යුතුය. ආනයන සීමා පැනැවීම ඉදිරියේ වෙළෙඳ පරතරය අඩු කරගන්නට ඉකුත් මාස හය තුළ හැකිවී ඇත. එම වාසිය රටට ආශිර්වාදයකි. වරප‍්‍රසාද ලත් පැලැන්තිය ගැන හිතන්නට කලින් මෙරට ආර්ථිකයේ ජවය වන වෙළෙඳ පොළ හා කර්මාන්ත අංශ ගැන අවධානය යොමු කිරීම සුදුසුය. 

• පාලනය තාවකාලිකය - එයින් ජයගත් රටවල් නැත

විදේශ වෙළෙඳාම පාලනය කිරීම යනු විවෘත ආර්ථිකයක් තුළ නොගැලපෙන ක‍්‍රියාවකි. නොවැළැක්විය හැකි අවස්ථාවක තාවකාලිකව තීරණ ගත හැකි නමුත් වසර ගණනක් පැවැතීම දරුණු ප‍්‍රතිවිපාකවලට හේතුවකි. ආනයනය පාලනය කරන විට එයින් ලැබෙන බදු ආදායම පහළට වැටේ. ලෝකයේ කිසිම රටක් විදේශ වෙළෙඳාම පාලනය කර ජය අත්කරගෙන නැත. එයට හේතුව ගෙන්වීම නතර කරනවිට අනෙක් පැත්තෙන් තමන්ගේ දේ විකුණන අවස්ථාව ද ඇවිරීමය. රටකට අවශ්‍ය සියලුම දේ තමන්ටම නිපදවා ගැනීම අදහසක් වශයෙන් දියුණු එකකි. එහෙත් ප‍්‍රායෝගික ප‍්‍රශ්න මතුවෙයි. ඇතැම් අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැකි නමුත් තවත් දේ නිපදවන්නට ගන්නා පියවර අවාසිදායකය. ශ‍්‍රී ලංකාව ඇඟලුම් කර්මාන්ත අංශයේ උච්ච ස්ථානයක සිටී. එහෙත් යාන වාහන නිපදවන කර්මාන්තයේදී සාර්ථක නැත. ඉහළම තාක්ෂණයක් සහිතව අඩුම මිලට නිපදවන හැකියාව නැත. ගෙන්වීම නතර කළහොත් මෙරට නිපදවන වාහනයක මිල ආනයන මිල හා සසඳනවිට දෙතුන් ගුණයක් වැඩිවෙන්නට ඉඩ තිබේ. එයට සමානව වාහන ආනයනයට පනවා ඇති අධික බදු අහිමිවීමෙන් ආර්ථිකයේ අසමතුලිතතාවයක් හට ගැනේ. සෑම ප‍්‍රශ්නයකම දෙපැත්තක් ඇති අතර එම ව්‍යුහය වටහාගෙන සූක්ෂමව තීරණ ගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

ආනයන හා අපනයන සීමා ලිහිල් කරන ලද රටවල් මෑත ඉතිහාසය තුළ වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. නිපදවිය හැකි හා වෙළඳපොළ සකස් කරගත හැකි රටවල් ජාත්‍යන්තරය තුළ අවස්ථාව අත්පත් කරගෙන ඇති බව දැක්වෙයි. නැවත අත්හදා බලන්නට කලින් ලෝකයේ දැන් පවතින උදාහරණවලින් පාඩමක් ඉගෙන ගැනීම වැදගත්ය. එක්තරා ආකාරයකට පාලනය කරන අතර අවශ්‍ය දේ වෙනුවෙන් ඉඩදෙන විදේශ වෙළෙඳාම රටට මැදහත්ව ගෙන ගිය හැකි අවස්ථානුකූල ප‍්‍රතිපත්තියකි. 

• විදේශ වෙළඳාම රහිතව නාවික කේන්ද්‍රස්ථානයක් නොවේ

ඉන්දියන් සාගරයේ වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ‍්‍රී ලංකාව නාවික මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් කරන අරමුණක් තිබේ. කොළඹ වරාය එහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ඇත. අලුතින් ඉදිකළ හම්බන්තොට වරායද උපාය මාර්ගිකය. බටහිර හා නැගෙනහිර යා කරන ප‍්‍රධාන නාවික මාර්ගය ශ‍්‍රී ලංකාවට නාවික සැතපුම් දොළහක් නුදුරින් බව වාර්තා දක්වයි. මෙම මුහුදු මාර්ගයේ එක අවුරැද්දකට එහා මෙහා යන නැව් ප‍්‍රමාණය හැට දහස ඉක්මවයි. එයින් සියයට හැත්තෑ දෙකක ප‍්‍රතිශතයක් ඉන්ධන ප‍්‍රවාහනයෙහි නිරතය. ලෝකයේ භාණ්ඩ ප‍්‍රවාහනය කරන නැව්වලින් සියයට පනහක් ගමන් කරන්නේද ශ‍්‍රී ලංකාවට නුදුරින් බව දැක්වේ. මෙකී නැව්වලට ශ‍්‍රී ලංකාවේ වරාය මගහැර ගමන් කරන බාධාවක් නැත. දැනටත් කොළඹ වරායේ කරන මෙහෙයුම්වලින් සියයට හැට පහක පමණ ප‍්‍රතිශතයක් ඉන්දියාවට කරන ප‍්‍රති අපනයනය බව දැක්වෙයි. එනම් විශාල නැව්වලින් එම නැව්වල ගමන් මාර්ගය අතරමග කොළඹ වරායට ගොඩබාන ඉන්දියාවේ භාණ්ඩ කුඩා නැව්වලින් නැවත ඉන්දියාවට යොමු කෙරේ.

ශ‍්‍රී ලංකාවට ආනයනය අඩු හා ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන දෙය සීමා සහිත වුවහොත් අනාගතයේ දී කොළඹ හෝ හම්බන්තොට වරායට සේන්දු වන නැව් වලට මෙරටින් යමක් ලැබෙන්නේ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගමන්වාර අඩුවෙන අවදානමක් මතුවිය හැකිය. අවධානය යොමුකළ හැකි පැති වශයෙන් දක්වන්නට අවශ්‍යය. ආනයන හා අපනයන සීමා වනවිට එහි නිරතව සිටින ව්‍යාපාරිකයන්, එම ව්‍යාපාරිකයන් සමග කටයුතු කරන ශ‍්‍රමිකයන්ට අත්පත්වන ඉරණම ගැනද සලකා බැලීම අවශ්‍යය. 

එක පැත්තක් පාලනය කරන විට එයින් සිදුවන වාසි හා අවාසි යනුවෙන් දෙකොටසක් තිබේ. විනිමය හිඟය මත සලකා ආනයන පාලනය කරන්නට තීරණය කළ හැක. විශේෂයෙන් අනවශ්‍ය දේ වෙනුවෙන් සීමා පැනවීම සිදුවෙයි. අනවශ්‍ය දේ බව එළිපිට දන්වන නමුත් වරප‍්‍රසාද සහිත කොටසට ඒවා ගෙන්වන්නට ඉඩදීම ගැටලුවකි. තාවකාලිකව ලැබෙන වාසිය පමණක් නොව දීර්ඝකාලීනව බලපාන අවාසිය ගැනද සලකා බැලීම සුදුසුය. ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රමාණාත්මක අධ්‍යයනයක් කළ යුතු අතර අද පවතින අනපේක්ෂිත වසංගත රාමුව ගැන අත්දැකීමක් කලින් නැති පසුබිමක තීන්දු ගැනීම කල්පනාකාරී වීම වැදගත්ය.

 ගාමිණී සරත් ගොඩකන්ද