එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව පැනමා ධජය යටතේ ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබුණේ මෙට්‍රික් ටොන් 2,70,000ක පමණ බොරතෙල් තොගයක් ද රැගෙනය. ඉකුත් 3 වැනිදා අලුයම වෙද්දී එය ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබිණි. එහි එන්ජින් කාමරයේ බොයිලේරුවක පිපුරුමක් ඇතිවී ගිනි ගැනීමට ලක්වූයේ ඒ අතරතුරය. ඒ පිළිබඳ තොරතුරු වාර්තා වූ විගස ශ්‍රී ලංකා නාවික හමුදාවත්, ගුවන් හමුදාවත් එක්ව ගින්න නිවා දැමීම සඳහා කටයුතු කළහ. එයට ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ සුජේ සහ සමුද්‍ර පෙහෙරිදාර් යන නෞකාවන්ගේ සහායද ලැබිණි. යම් හෙයකින් නෞකාව පුපුරා ගියහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානිය හා අත්විය හැකි පලවිපාක අති විශාල වන හෙයින් කෙසේ හෝ නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ අරමුණ විය. ටග් යාත්‍රා යොදා ගනිමින් නැවේ බඳ සිසිල් කිරීම නොකඩවා සිදුකෙරුණු අතර ගින්න නිවා දැමීම සඳහා වියළි රසායන ද්‍රව්‍ය ටොන් ගණනක් නෞකාව තුළට හෙළමින් ගින්න නිවා දැමීමට ඔවුනට හැකි විය. එහෙත් පසු දින යළි ගින්න මතුවූයේ පැවැති තද සුළං තත්ත්වය හේතුවෙනි. ගුවන් හමුදාව යළිත් වරක් වියළි රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් ගින්න සහමුලින්ම නිවා දැමීමට සමත් විය.
නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය දරන ලද වියදමේ හානිපූර්ණ මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය අවසර ලැබිණි. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන කටයුතු ආරම්භ කළෝය. නැවෙන් පිටතට ගලා ගිය තෙල් හා එන්ජින් කාමරයේ ඇති තෙල් සාම්පල ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන එම කරැණු අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබිණි.
නෞකාව ආසන්න මුහුදේ මි.මී 1ක් 2ක් වැනි ඝනකමට තෙල් පැල්ලම් පැතිර තිබූ අතර ඒවා බොර තෙල්ද නැතිනම් නෞකාව යාත්‍රා කිරීම සඳහා යොදාගත් තෙල්ද යන්න පිළිබඳව සොයා බැලුණු අතර එම තෙල් නෞකාවේ ගෙන ගිය බොර තෙල් නොවන බව අනාවරණ විය. පසුව කිමිදුම්කරුවෝ නැව් බඳේ වූ සිදුරු වසා දැමීමට පියවර ගත්හ. ඒ අනුව නැවේ තෙල් කාන්දුව නතර විය.
නැවෙන් බැහැර වූ තෙල්වලින් යම් පාරිසරික හානියක් සිදුවී තිබේදැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සොයා බලමින් සිටී. මෙම ප්‍රදේශයේ කැස්බෑවුන්, ඩොල්ෆින්, මඩුවන් වැනි සත්ව විශේෂ ගැවසෙන හෙයින් තෙල් කාන්දුවෙන් එවැනි සත්ව විශේෂවලට කිසියම් හානියක් සිදුවී තිබේද යන්න පිළිබඳව විමර්ශනය කෙරේ.
නිව් ඩයමන්ඩ් නෞකාව පැනමා රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළද එම නෞකාව අයත් වෙන්නේ ලයිබීරියාවටය. එහි කළමනාකරණ කටයුතු ග්‍රීක සමාගමක් මගින් සිදු කෙරෙන අතර එහි තිබූ ඉන්ධන ඉන්දියන් ඔයිල් සමාගමේ ඇනවුමකි. නැව ගිනි ගැනීමට ලක්වූයේ අපගේ සාගර කලාපයේ වූ හෙයින් එය ගලවා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහායද හිමිවිය. එහෙයින් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සංකීර්ණ වී තිබේ. නැවේ ගින්න නිවාදැමීම වෙනුවෙන් නෞකාව අත්පත් කරගෙන එහි ඇති බොරතෙල් ශ්‍රී ලංකාවට ලබාගත නොහැකිදැයි ඇතැම් පිරිස් විමසති. එහෙත් මෙම නෞකාවේ ගෙන යන බොරතෙල් ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන බොරතෙල්වලට වඩා වෙනස් වර්ගයකි. මෙම බොරතෙල් ශ්‍රී ලංකාවේදී පිරිපහදු කිරීමේ හැකියාවක් නොමැති යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පෙන්වා දෙයි.
නෞකාවේ ගින්න නිවීම සඳහා වන වියදමේ හානි පූර්ණ මුදල මෙරටට ලබා ගැනීමට අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තුව යන පාර්ශ්වයන් සමඟ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේදී පසුගිය 14දා පැවැත්විණි. එහිදී නීතිපතිවරයාගේ අදහස වූයේ ශ්‍රී ලංකාවට වාසිදායක තීරණයක් ගතයුතු බවය. එහෙයින් එම තීරණය තවමත් විවෘතය. මේ සම්බන්ධයෙන් ඒ ඒ ආයතන මගින් වැයකොට ඇති ඇති මුදල පිළිබඳ වාර්තාවක් ලිඛිතව දැනුම් දෙන ලෙසට හා පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් පූර්ණ ගණනය කිරීමක් සිදුකළ යුතු බවටත් නෞකාව සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ස්ථාවරය දැනුම් දෙන ලෙසටත් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ. නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන ඒමේ අදහසක් පවතින අතර එහි ධනාත්මක හා සෘණාත්මක තත්ත්වය පිළිබඳ විමසා බලා තීරණයක් ගැනීමට නියමිතය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධයෙන් නෞකාවේ දේශීය නියෝජිතයන්, දේශීය රක්ෂණ සමාගමේ නියෝජිතයන් හා ගලවා ගැනීමේ සමාගම සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි. 2005 අංක 35 දරණ සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ වෙරළේ සිට නාවික සැතපුම් 200ක් දක්වා ඇති කලාපය තුළ අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලය ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වුවද ඉදිරි කාලයේ මුහුද රළු වන බැවින් මාස එකහමාරක පමණ කාලයක් තුළ අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇත.
නෞකාව අවට මුහුදෙන් ලබාගත් තෙල් සාම්පලවල රසායනාගාර වාර්තා එළි දැක්වීමටද නියමිතය මේ වනවිට නෞකාව මඩකලපුවට නාවික සැතපුම් 70ක් නැගෙනහිර දිසාවට වන්නට ගැඹුරු මුහුදේ ආරක්ෂිතව රඳවාගෙන තිබේ. නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් හා ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ නැව් තුනක් මගින් නැවට ආරක්ෂාව සැපයෙන අතර දියවැල්වලට හසුවී නැව වෙනත් දිසාවකට ඇදීයාම වැළැක්වීම සඳහා ටග් බෝට්ටුවක් මගින් එය රඳවාගෙන සිටී.
නාවික හමුදාවේ කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කරන පරිදි මේ වනවිට ගලවා ගැනීමේ සමාගමට (Salvage Company) අයත් පිරිස් නිව් ඩයමන්ඩ් නෞකාව තුළ ගින්නෙන් හානි වූ ස්ථාන සහ නැව් බඳේ ඇති හානි අලුත්වැඩියා කරමින් සිටිති. “ගින්න හේතුවෙන් නැව් බඳට හානි සිදු වී තිබෙනවා. තෙල් කාන්දුවක් පැවැති ස්ථාන අලුත්වැඩියාව, එන්ජින් කාමරයේ පිරී ඇති ජලය පිරිසුදු කොට ඉවත් කිරීම හා ඉදිරිපස ඇති ටැංකිවලට පිරවීම වැනි කටයුතු මේ දිනවල සිදු කරනවා. නැව ආරක්ෂිතව වෙනත් ස්ථානයක් කරා රැගෙන යා හැකි පරිදි ඔවුන් එන්ජිම නොව නැවේ බඳතොටය අලුත්වැඩියා කරනවා. නැවේ අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ ටග් යාත්‍රා යොදා ගනිමිනුයි. එන්ජින් කාමරයේ ජලය හා මුසු වූ තෙල් ඉවත් කිරීම සඳහා එක් ටග් යාත්‍රාවක් භාවිත කරනවා. එයට තෙල් නිසා දූෂණය වූ ජලය පිරිසුදු කළ හැකියි. එහි ඇති ඔයිල් වෝටර් සෙපරේටර් නම් උපකරණයෙන් එම කාර්යය සිදු කෙරෙනවා.”යනුවෙන් ප්‍රකාශ කළේය.
නැවේ ගින්න නිවාදැමීම සඳහා ආයතන කිහිපයක දායකත්වය හිමිවිය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම ආයතන මගින් ගින්න නිවා දැමීමේ මෙහෙයුම සඳහා වැය වූ මුදල් පිළිබඳ වාර්තා මේ වනවිට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 15 වැනි දින දක්වා වැය වී ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 3400ක් යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරයි. ඉන්පසුව දරන ලද වියදම් පසුව ගණනය කෙරෙනු ඇත. අදාළ වියදම් හානිපූර්ණය කරන ලෙසට නෞකාව හිමි සමාගමේ නීතීඥවරුන් වෙත ලිඛිතව දන්වා තිබේ.
නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා නොතීසි ලබාගන්නා ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා