2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

රත්නපුර සහ දකුණේ තේ දල්ලෙන් ගාණකපන කම්හල්

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවා සිදු කළ සංධිස්ථාන බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකිය හැකිය. අපේ රටේ තේ ‍වගාව මේ වන විට වසර 150ක් සම්පූර්ණ කර තිබේ. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්‍රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගතහොත් ගණනාවකි.

තේ දල්ල ශ්‍රී ලාංකේය භූමියේ හටගත් කතාව ඵෙතිහාසිකව ගත් කල රටට කර ඇති සමාජ, ආර්ථික හා දේශපාලන බලපෑම සුළුපටු නොවේ. විවිධ ධාරා ඔස්සේ අපගේ ජනසමාජය, ජන විඥානය හා බද්ධව මෙම කතාව ලියැවී තිබේ. එනිසාම සාහිත්‍ය කලාව තුළ ද  තේ දල්ල දෙස බලා ගෙත්තම් වූ නිර්මාණ අපට සුලබව දැකගැනීමට හැකි වෙයි. සංස්කෘතික වශයෙන් අපගේ ජනසමාජය තුළ විවිධත්වයක් ඇතිකිරීමට මේ රටේ ස්ථාපිත වූ තේ දල්ල සමත් විය. එසේම ජාතීන් අතර සම්මිශ්‍රණයේ ඉතිහාසය විමසීමේදී ද අපට තේ වගාව ආශ්‍රිත ශ්‍රමය අමතක කළ නොහැකි සාධකයකි. සැබැවින්ම මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් බවට පත්ව තිබූ තේ වගාව ජාතිය පෝෂණය කළ දෙවැනි පියකු ලෙසද හදවත් තුළ විරාජමාන වේ.

ඉතිහාසයේ මෑතකාලීන පරිච්ඡේදය වන තුරුම පාසල් යන දරුවන්ගෙන් අපනයන බෝග පිළිබඳ විමසූ විට පළමුව සිහියට ආවේ තේ දල්ලය. පෙළපොතේ අපට දශක ගණනාවක් පුරා ඉගැන්වූ පාඩම එයයි. තේ වගාව අපට  ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදයක් සේ සැලකෙයි. එය දායාදයක් සේ සැලකීම සාධාරණ වන්නේ පරම්පරා ගණනක් දේශයේ ගමන්මග සුරක්ෂිත කළ නිසාම පමණක් නොවේ. සැබැවින්ම අපේ සමාජීය හා සංස්කෘතික ජීවිතය හා බද්ධව පවතින්නක් වන නිසාය. ඉතිහාසයේ ගෙවී ගිය සියවස් එකහමාරක් තුළ තේ වගාව ශ්‍රී ලංකේය ලකුණ ජාත්‍යන්තරයේ සනිටුහන් කළ කීර්තිය අපමණය. අතීතයේ අප්‍රිකාව, ඝයනාව, බටහිර ඉන්දියාව, කැනඩාව, කේප් කොළණිය, හොංකොං, මාලදිවයින, මෝල්ටාව, මුරුසිය, නටාල්, නිව්ෆවුන්ඩ්න්ලන්තය, බෝනියෝ, ඩෙන්මාර්කය, චීනය, ග්‍රීසිය, මැඩගස්කරය, පර්සියාව, නෝර්වේ, පෘතුගාලය, රුමේනියාව, තුර්කිය යන රටවල අපගේ තේ දල්ලේ කීර්තිය පැතිරවූ බව බොහෝ දෙනා දන්නා කාරණයකි.

එහෙත් මේ වන විට රත්නපුර හා ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල අමු තේ දලු සපයන්නන්ට තේ කම්හල්හිමියන් විසින් අමු තේ දලු කිලෝවක් සඳහා ගෙවිය යුතු මුදල අඩුවෙන් ලබාදෙන බවට කර්මාන්තවලට තේ දලු සපයන්නෝ මැසිවිලි නගති.
මේ වන විට අමු තේ දලු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල රුපියල් 130කට ආසන්න වුවත් ඇතැම් තේ කම්හල්හිමියන් විසින් දලු සපයන්නන් හට ලබා දෙන්නේ රුපියල් 100ක පමණ මුදලක් බව රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල තේ දලු සපයන්නෝ පවසති.

අමු තේ දලු කිලෝ එකක් සඳහා ගෙවිය යුතු මුදල සඳහන් වන මිල සූත්‍රයක් තේ කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් මගින් පසුගියදා නිකුත් කෙරිණි. එහි සඳහන් වන අන්දමට අමු තේ දලු කිලෝ සියයකින් තේ කිලෝ 21ක් නිෂ්පාදනය කළ හැකිය. ඒ අනුව තේ කිලෝවක් සඳහා ලැබෙන මුදල 4.65න් සියයට 68න් ගුණ කළ විට ලැබෙන මුදල අමු තේ දලු කිලෝවක් සඳහා තේ කම්හල්හිමියන් විසින් ගෙවිය යුතුය. එහෙත් මේ වන විට බොහෝ කම්හල් හිමියන් අමු දලු සපයන්නන්ට ගෙවනු ලබන්නේ තේ කිලෝවක මිල 4.88න් බෙදා සියයට 68න් ගුණ කළ විට ලැබෙන මුදල බව තේ දලු සපයන්නෝ පවසති. ඒ මගින් තේ දලු සපයන්නන් හට රුපියල් විස්සත් තිහත් අතර මුදලක් අහිමි වන බවද ඔවුහු පෙන්වා දෙති.

“අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු මිල ගණනයක් තිබුණා. ඒ මිල ගණනය තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය අභියෝගයට ලක් කර තිබුණා. ඒ පිළිබඳව අපි තේ මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගත්තා. ඒ පිළිබඳව තේ කොමසාරිස්වරයා නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන වැඩපිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ තේ දලු සැපයීමේදී ලබාදෙන මුදල සූත්‍රයක් අනුව තමයි කටයුතු කරන්නේ. එහිදී සියයට 68ක් තේ දලු සැපයුම්කරැවාට සහ සියයට 32ක් නිෂ්පාදන ක්‍රියාවලිය හැටියට තමයි යන්නේ. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් තේ කම්හල්හිමියන් විසින් මේ තේ මණ්ඩලයෙන් ලබා දීපු සූත්‍රය අනුව අමු තේ දලු සපයන්නන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ නැහැ. ඒක තමයි මෙතන මූලිකම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සිදුවීම දිගටම වෙන්නෙත් නැහැ. තේ වෙන්දේසියේ මිල අඩුවෙන කාලයට ප්‍රශ්නයක් නැහැ. වෙන්දේසියේ මිල වැඩිවන කාලයට තමයි මේ ප්‍රශ්නය පැන නගින්නේ. කොහොම වුණත් මේ පිළිබඳව අපි ප්‍රධාන කාර්යාලය දැනුවත් කරලා තියෙනවා. දේශයේ අපට එලෙස පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ තේ ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රවීණයෙකි.

කාලයෙන් කාලයට පැනනගින මෙම ප්‍රශ්නයෙන් විශේෂයෙන්ම බැට කන්නේ රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල අමු තේ දලු සපයන්නෝ වෙති. ඔවුන් මැසිවිලි නගන්නේ තේ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව තිබෙන මිල සූත්‍රය වෙනස් කිරීමට තේ කම්හල් හිමියන්ට කිසිදු අයිතියක් නොමැති බව පවසමිනි.

දකුණු පළාතේ තේ කර්මාන්තයේ අත්දැකීම් බහුලව ඇති සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති වූ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙම ගැටලුව පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“මේ අමු තේ දලු පිළිබඳ ගැටලුවේදී තිබෙන මිල අපිට තීරණය කරන්න බැහැ. තේ වෙන්දේසියේ සිදු කරන ලද මිල අනුව තමයි මේ මිල සකස් වෙන්නේ. මේ පිළිබඳව  තේ මණ්ඩලයේ සමීකරණයක් තියෙනවා සාධාරණ මිල සමීකරණය කියලා. 1958 අංක 52 යටතේ තමයි මේ මිල සමීකරණය තියෙන්නේ. ඒ අනුව වෙන්දේසියේදී තේ කිලෝ එකකට රුපියල් 500ක් ලැබුණහොත් ඒ 500න් 68ක කොටසක් යන්න ඕන තේ දලු සපයපු අයට. ඉතුරු 32 තමයි කම්හල්හිමියාට යන්නේ. ඒ වගේම එම චක්‍රලේඛය තුළ තව උපදේශයක් තියෙනවා. අමු තේ දලු කිලෝ 4.65ක් යනවා කළු තේ කිලෝ එකක් හැදෙන්න. ඒක නීතියක්. ඒ නීතිය අනුව හැදෙන මිල තමයි සැපයුම්කරුට තේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කම්හල්වලින් ගෙවිය යුත්තේ. ඒ ක්‍රමය දිගටම ක්‍රියාත්මක වෙලා ගියා. පසුගිය අප්‍රේල් මාසයේ මැයි මාසයේ අමු තේ දලු මිල ඉහළ ගියා. ඒ අවස්ථාවේදි තමයි මේ කර්මාන්තශාලා හිමියන් අර මිල සූත්‍රයෙන් පිට පැනලා කටයුතු කළේ. මේ ඒ කාලයේ කම්හල්හිමියන් වැඩිපුර දලු තියාගන්න තමයි මේ විදියට කටයුතු කළේ. මම දන්න විදියට ගාල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල කම්හල්හිමියන් විසින් විශාල මුදලක් සැපයුම්කරැවන්ට ගෙවන්න තියෙනවා දැන් මේ පිළිබඳව  අපි තේ මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. ඔවුන් ඉදිරියේදී ඒ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා අපි හිතනවා.

තේ කොමසාරිස්‌ ජයන්ත එදිරිසිංහ

“මේ අමු තේ දලුවල මිල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පැමිණිලි ගණනාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් තමයි මේ පිළිබඳව පැමිණිලි ලැබිලා තියෙන්නේ. අපි තේ මණ්ඩලය මිල සූත්‍රයක් යටතේ තමයි මේ තේ දලු මිලදී ගැනීම් සිදු කරන්නේ. එහිදී තේ දලු සපයන්නන්ට සියයට 68ක් සහ කම්හල්වලට සියයට 32ක් ලෙස තමයි එම මිල සූත්‍රය සකස් කරලා තියෙන්නේ. මේ තේ වෙන්දේසියේදි ලබාදෙන මිල අනුව තමයි මේ අමු තේ දලුවල මිල නියාමනය වෙන්නේ. පසුගිය මාර්තු, අප්‍රේල් යන මාසවල මේ අමු තේ දලුවල මිල  ඉහළ යාමක් සිදු වුණා. එහිදී තේ කම්හල්හිමියන් විසින් අපේ තේ මණ්ඩලය නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව නෙවෙයි මේ දලු සපයන්නන්ට මිල ලබා දී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය පිළිබඳව අපි දැඩි විමසිල්ලෙන් සිටිනවා වගේම අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා.

 සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02