තුනෙන් දෙකක බලය සහ එය තවදුරටත් වර්ධනය කරගත හැකි බවට දැඩි විශ්වාසයක සිටින රජය 20 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පහසුවෙන් සම්මතර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 28 වැනිදා ගැසට් කෙරුණු සංශෝධන කෙටුම්පත ලබන 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොවැම්බර් මුල් සතියේ පැවැත්වෙන රැස්වීම් වාරයේදී සම්මත කර ගැනීම රජයේ සැලැස්ම වී තිබේ.
එවැනි සම්මතයකින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා දරණ විධායක ජනාධිපති ධූරයේ බලතල ඉතාම ශක්තිමත් වන අතර මහින්ද රාජපක්ෂ මහතා දරණ අග්‍රාමාත්‍ය ධූරයේ බලතල අඩුවෙයි. කෙටුම්පතේ පරිදිම පනත සම්මත වුවහොත් ඇමැතිවරයකු පත්කිරීමේ බලය පවා ජනාධිපතිවරයාටම හිමිවෙයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පැතිය යුත්තේ අවශ්‍ය නම් පමණි. එය 19 සංශෝධනයටත් වඩා බලයකි. මෙය එක් උදාහරණයක් පමණි.
ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයටම 20 සංශෝධනය ගොඩදා ගත හැකිද? එහි වෙනසක් සිදුවෙයිද? පෙනෙන ආකාරයට නම් ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයට වෙනස් කිරීම්වලින් තොරව එය සම්මත කර ගැනීම නම් අපහසු වනු ඇත. ආණ්ඩුවේම හවුල්කාර පක්ෂවල නායකයන්ගේත් ආණ්ඩුව බලයට පත්කිරීමට සහාය දැක්වූ විවිධ පාර්ශ්වවලට අයත් පිරිසකගේත් අදහස් දැක්වීම්වලට අනුව 20 වැනි සංශෝධනය කෙටුම්පත් කර ඇති ආකාරයට සම්මත කර ගැනීමට උත්සාහ දැරුවොත් එයට එරෙහිව සිටින බලවේග ශක්තිමත් වනු ඇත.
සංශෝධනයේ ගැටලු නැත්නම් සහ එයට එකහෙළාම සහාය දීමට තීරණයක සිටී නම් ශ්‍රීලනිපය ඒ ගැන අධ්‍යයනයට කමිටුවක් පත් කරන්නේ නැත. එසේම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය අධ්‍යයනය කිරීමට හවුල්කාර පක්ෂවල නායකයන් දෙදෙනකු ඉල්ලීමක් කිරීමට හේතුවක් ද නැත. මේ පිළිබඳව ආණ්ඩුව ඇතුළේ පවතින පරස්පර අදහස් පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (10) පැවැති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල ඇමැතිවරයා පළ කළ අදහස් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සර්ව සම්පූර්ණ එකක් නොවන බවත් එහි ඇති දේශපාලනමය සහ නෛතික අඩුපාඩු නිවැරදි කරගත හැකි බවත් ගම්මන්පිල ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි. ඒ මහතා එහිදී නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කළ ප්‍රකාශවල මෙසේද සඳහන් විය.
“ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින්ද සිල්වා මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ පියවරුන් හැටියට අප ගරු කරන චරිතයි. ජනතා අදහස්වලටත් අපි ගරැ කරනවා. කිසිවක් සර්ව සම්පූර්ණ නැහැ. මේ සංශෝධනයත් සම්පූර්ණ නැහැ. මේ ගැන අදහස් දැක්වීමට සති දෙකක් තිබෙනවා. අධිකරණ අමාත්‍යවරයා මෙය පාර්ලිමේන්තුවේ සභාගත කළ විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට සතියක් ලැබෙනවා. මෙය සම්මත විය යුත්තේ තුනෙන් දෙකක කැමැත්තෙන්. කමිටු අවස්ථාවේදී සංශෝධන සිදුකළ හැකියි.”
මෙය සම්මත වීමට ඉඩ නොදෙන බව සජිත් ප්‍රේමදාස මහතා කියන බවත් ශ්‍රීලනිපය කමිටුවක් දමා තිබෙන බවත් එක් මාධ්‍යවේදියකු පෙන්වා දුන් විට ගම්මන්පිල මහතා ලබාදුන් පිළිතුරේ මෙසේ සඳහන් විය. &17 සහ 19 සංශෝධනත් කමිටු අවස්ථාවේ සංශෝධනය කළා. මෙයට තුනෙන් දෙකේ කැමැත්ත ගැනීමට නම් සංශෝධන කළ යුතුයි. ගැසට් කළ දේම සම්මත වෙන්නෙ නැහැ.”
මේ අදහස් දැක්වීම්වලින් පැහැදිලි වන්නේ 20 වැනි සංශෝධනය පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට පොහොට්ටුවේ හවුල්කාර පක්ෂවල පවා එකඟත්වයක් නැති බවය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය, අමාත්‍යධූර සංඛ්‍යාවට සීමාවක් නොතිබීම ඇතුළු වගන්ති කිහිපයකට ඇතැම් පක්ෂ විරෝධය පළ කර ඇති බව සඳහන්ය. එපමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම අයත් මන්ත්‍රීන් පිරිසක්ද 20 සංශෝධනයේ ඇතැම් වගන්ති කෙරෙහි නොනිල වශයෙන් විරෝධය පළ කරන බවද දැනගන්නට ලැබීම හේතුවෙන් පක්ෂයේ ලේකම්වරයා සියලු මන්ත්‍රීවරුන්ට අවවාදාත්මක ලිපියක්ද යවා තිබේ. නමුත් රජය 20 සංශෝධනය ලොකු විරෝධයකින් තොරව සම්මත කර ගැනීමේ දැඩි විශ්වාසයකින් සිටී.
ආණ්ඩුව එසේ සූදානම් වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ 20ට දැඩිව විරෝධය පළ කරමින් සිටී. පාර්ලිමේන්තුවේ තවම නියෝජනයක් නැති වුවද යූ.එන්.පිය ප්‍රකාශ කර තිබුණේ 19 ව්‍යවස්ථාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වගන්ති 20 වැනි සංශෝධනයෙන් ඉවත් කෙරෙන බවත් මෙයට තමන් දැඩිව විරෝධය පළ කරන බවත්ය. ඒ සම්බන්ධයෙන් ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන බවද ප්‍රකාශ වී තිබිණි.
19 ව්‍යවස්ථාවේ එක් නිර්මාතෘවරයකු වන දැනට ස්විට්සර්ලන්තයේ පදිංචි හිටපු යූ.එන්.පී. මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කර තිබුණේ 20 වැනි සංශෝධනය මගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑම් සිදුවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එම සංශෝධනය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවත්ය. එහෙත් ආණ්ඩුව කලින්ම ප්‍රකාශ කර තිබුණේ ජනමත විචාරණයකින් 20 වැනි සංශෝධනය සම්මත කිරීමට අවශ්‍යතාවක් නැති බවත් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත කිරීම ප්‍රමාණවත් බවත් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවය. එහෙත් එසේ කියා තිබූ පමණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් එම තීරණය බාරගනු ඇතැයි සිතිය නොහැකිය. තමන් මේ සම්බන්ධයෙන් උසාවි යාමට බලාපොරොත්තුවක් නැති බව ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර තිබිණි. සජබ මහාලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ගොස් අභියෝගයට ලක්කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබුණි. එසේ අධිකරණය ඉදිරියට යාම 20 වැනි සංශෝධනය සම්මත කිරීමට කුමන ආකාරයක බලපෑමක් සිදු කරනු ඇතිදැයි දැන්ම කිව නොහැකිය. නමුත් දැනට සිතාගත හැක්කේ ජනමත විචාරණයකට යා යුතු වන තීරණයක් ඔවුන් අධිකරණයෙන් බලාපොරොත්තු වනු ඇති බවය.
20 වැනි සංශෝධනයේ උණුසුම සමඟ ජවිපෙ එයට එරෙහිව රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබේ. අධිකරණය ඉදිරියට යාමට වඩා ඔවුන් බලාපොරොත්තු වන්නේ ජනතාව දැනුම්වත් කරමින් 20ට එරෙහිව ජනමතයක් ගොඩනැගීම බව පෙනී යයි. චන්ද්‍රිකා, මහින්ද සහ මෛත්‍රීපාල ජනාධිපතිවරුන් තිදෙනාම විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට දුන් පොරොන්දු කඩකර ඇති බවද ඔවුන් මෙහිදී ජනතාවට යළිත් සිහිපත් කර දෙනු ඇත. මේ දැනුවත් කිරීම් කොතරම් දුරකට සාර්ථක වනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
20ට විරෝධය පාමින් 19 සංශෝධනය වඩාත් ශක්තිමත් කොට ඒ වෙනුවෙන් පෙනී සිටීමේ වැඩපිළිවෙළක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (09) බත්තරමුල්ලේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අභියසදී ආරම්භ කෙරිණි. ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අඟහරුවාදා (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර ඒ සඳහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පිරිසක්ද සහභාගි වී සිටියහ. “19 ප්ලස්” නමින් ව්‍යාපාරයක් තම පක්ෂය මගින් ආරම්භ කරන බවත් ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
කෙසේ වුවද මේ වැඩසටහන්වලදී සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන පාඨලී චම්පික රණවක මහතා වැඩිපුර දකින්නට නොසිටීම කාගේත් කතාබහට ලක්වෙමින් තිබේ. 20 වැනි සංශෝධනයට එරෙහිව ඔහු දැඩි මතයක සිටියත් සජබ වැඩසටහන්වල ඔහු පෙනෙන්නට නැත. එය සජබ ඇතුළේ පිපිරුමක ලකුණක්දැයි සමහරු සැක පළ කරති.
එසේම යූ.ඒ.පී., සජබ සහ ජවිපෙ විසින් 20 සංශෝධනයට එරෙහිව ගෙන යන විරෝධතා වැඩසටහනට 19 සංශෝධනය ගෙන ඒමට ක්‍රියාකාරී දායකත්වයක් හිසිලූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වය අඩුවීමද කැපී පෙනෙයි. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමේදී පිටත සිට සහාය දැක්වූ විද්වතුන් පිරිසක්ද 20 සංශෝධනයට එරෙහිව මත පළ කරන තත්ත්වයක් තුළ සිවිල් ක්‍රියාකාරිකයන් එසේ නිහඬව සිටීම විපක්ෂයේ විරෝධතා වැඩපිළිවෙළට පහර වැදීමකි. ඔවුන් මතවාදී ලෙස හෝ සම්බන්ධ කර ගැනීමට අසමත් වීම විපක්ෂයේ පසුබෑමක් වනු ඇත.
නායකත්ව ගැටලුවට විසඳුමක් නොමැතිව සිටින යූ.එන්.පිය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට කෙනකු පවා නම්කර නැත. ලබන ජනවාරි 01 වැනිදා දක්වා රනිල් වික්‍රමසිංහ නායකයා වශයෙන් සිටින බව දැන් ප්‍රකාශයට පත්ව තිබේ. ඊළඟ පියවර දැනගැනීම සඳහා නායකත්වය බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට දෙසැම්බර් 31 වැනිදා වනතුරු සිටිය යුතුය.
ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප ඥාතියකු වූ මෙරට පළමු විධායක ජනපති වූ ජේ.ආර්. ගෙන ආ විධායක ජනාධිපති ක්‍රමය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ජී.ආර්.) විසින් තවදුරටත් ශක්තිමත් කරයිද නැතහොත් එහි තටු කපයිද යන්න විසඳීමට තව සති කිහිපයක් ඇත.
ශශීන්ද්‍ර