උදෑසනින්ම කාර්යාලයට යෑමට පාරට පැමිණ අත දමා ඔබ නගින බස් රථය තුළ සැප පහසුකම් අවම වුවත් ඒ සියල්ල විඳ දරා ගනිමින් ඔබ ගමන නිමා කරන්නේ කෙසේ හෝ යායුතු යැයි යන අදහසිනි. ඒ ශ්‍රී ලංකාවේ බස් මගියාගේ සැබෑ කතාවය. ඔවුනට බස් ගමන තුළ ඇත්තේ, “කොහොම හරි ආවනේ" යන්න පමණය. ඒ හැර බස් රථය තුළ ඔවුනට ඇත්තේ නොරිස්‌සුම් සහගතබවක් පමණි.
මෙරට පෞද්ගලික බස් කර්මාන්තයේ පැවැත්මට විවිධ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවට බස් රථ හිමිකරැවන්ගේ සංගම් සහ බස් රථ සේවකයෝ නිරන්තරයෙන්ම අවධාරණය කරති. මාතර සිට කොළඹ බලා එන පෞද්ගලික බස් රථයක් සිය ආදායම ලෙස රුපියල් 15000ක් පමණ ඉපැයුවහොත් ඉන් රුපියල් 6000ක් පමණ අතරමගදී දොළපිදේනි ලෙස දීමට සිදුවන බවට ඔවුන් මැසිවිලි නගති.
ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට යැයි පවසමින් ආණ්‌ඩුව පෞද්ගලික බස් රථ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවීමේ සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරය වැනි ආයතන ස්‌ථාපිත කිරීම දක්‌වා අද දවසේ සිදු කර ඇති දේ බොහෝය. නමුත් මේ කුමකින් කුමක් සිදු කෙරුණද එකී ආයතන සියල්ලේ කෙරුවාව හමුවේ මෙරට පෞද්ගලික බස් රථ ව්‍යාපාරය යන්න මේ මොහොත වනවිට ඇත්තේ මගී ජනතාවගේ ගෙලට වැටී ඇති තොණ්‌ඩුවක් ලෙසින් යැයි කිවහොත් එය නිවැරදිය.
මෙරට පෞද්ගලික බස් ව්‍යාපාරය පිළිබඳ කතා කරනවිටදී බස් මුදලාලිලාගේ පාර්ශ්වයෙන් දිගින් දිගටම ඇසෙමින් තිබෙන පෞද්ගලික බස් රථවලින් කප්පම් ලබා ගැනීමේ කතාවය. මේ මොහොත වනවිට මාසයකට රුපියල් කෝටි විස්‌සක ප්‍රමාණයක් එසේ කප්පම් වශයෙන් ගෙවන්නට සිදුව තිබෙන බව අද දවසේ බස් හිමියෝ සඳහන් කරති.
මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 18000 කට අධික වේ. මෙයින් 3000 කට වැඩි ප්‍රමාණයක් අන්තර් පළාත් බස් රථ හෙවත් පළාත් අතර ධාවනය වන බස් රථ වන අතර ඉතිරිය එක් එක් පළාත තුළ ධාවනය වන ඒවාය. මේ සියල්ලෙන්ම අඩු වැඩි වශයෙන් කප්පම් ගන්නා බව බස් රථ හිමිකරුවන්ගේ සංගම් චෝදනා නගයි. අන්තර් පළාත් බස් රථවලට පසු කරන හැම පළාතකටම කප්පම් දීමට සිදුව තිබේ. ඇතැම් බස් රථවලින් දවසකට යම් නිශ්චිත මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනේ. තවත් ඇතැම් මාර්ගවල ගමනාන්තය දක්‌වා ටිකට්‌පතක මුදල ඒ ඒ ගමන් වාරයක් පාසා කප්පම් ලෙස ලබා ගැනේ. මේ පිළිබඳව බස් රථ හිමියන්ගේ සංගම් කියන්නේ එසේය.
දිනකට බස් රථ කර්මාන්තය තුළ සංසරණය වන රැපියල් මිලියන 200ක පමණ මුදලින් මිලියන 10ක් 20 ක් අතර ප්‍රමාණයක් බස් රථ හිමිකරුවන්ගේ අතට පත් නොවී එම මුදල් මහ මග ගසා කෑම්වලට ලක්වීම පෞද්ගලික බස් රථ හිමිකරැවන්ට විශාල හිසරදයක් වී ඇත. මෙරට විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කොතෙකුත් අනාවරණය කළද එහි අඩුවක් දක්නට නොමැති බවට ද බස් රථ හිමියන්ගේ සංගම් විසින් චෝදනා කරති.
කෙටි දුර බස් රථයකින් දිනකට රුපියල් 250 සිට 500 දක්‌වා මුදලක් කප්පම් ලෙස ලබාගන්නා බව සඳහන්ය. දුර ධාවන බස් රථයකින් දිනකට රුපියල් 750-1000-1500-2000 ආදී වශයෙන් කප්පම් ලෙස ලබාගැනේ. බදුල්ල - කොළඹ බස් රථ දිනකට කප්පම් ලෙස රුපියල් 2000 බැගින් ගෙවන බව සඳහන්ය. කොළඹ සිට මොනරාගල, අම්පාර, කතරගම ආදී ප්‍රදේශවලට ධාවනය වන බස් රථ දිනකට රුපියල් 1500 බැගින් කප්පම් ගෙවන බව සඳහන්ය. බොහෝවිට මේ මුදල් එකතු කරන්නේ විවිධ පළාත්වල මාර්ගස්‌ථ ප්‍රවාහන අධිකාරිවලට අයත් නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන්මය. ඇතැම් තැන්වල සිවිල් පිරිස්‌ය. ඔවුන්ට දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදය හිමිය. බොහෝ වේලා සටහන්කරුවන් උදේට නිවසින් එන්නේ හිස් අතිනි. එහෙත් හවසට රුපියල් 15,000 - 18,000 - 20,000 තරම් මුදලක් රුගෙන නිවසට යන ඔවුන් ගත කරන්නේ කුමාර දිවියකි.
මෙලෙස පෞද්ගලික බස් රථවලින් කප්පම් ලබා ගැනීම පිළිබඳව දේශයේ අප බස් රථ සංගම් කිහිපයකින් විමසීමක් කළෙමු.
ලංකා පෞද්ගලික බස් රථ හිමිකරැවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා අපේ බස් රථ කර්මාන්තය අර්බුදයකට ලක් වෙලා තිබුණේ. දැන් තමයි කෙමෙන් කෙමෙන් පෞද්ගලික බස් රථ යථා තත්ත්වයට පත් වෙන්නේ. එලෙස තිබියදීත් මාසයක රුපියල් කෝටි 20ක් විතර කප්පම් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියන්ට සිදු වෙලා තියනවා. දිවයින පුරා තිබෙන පෞද්ගලික බස් රථ 20000ක් විතර නිල ලත් විදියට මෙන්ම නිල නොලත් විදිහට මෙලෙස කප්පම් වශයෙන් ගෙවන්න සිදු වෙලා තියනවා. මේ තත්ත්වය තුළ බස් රථ හිමිකරැවන්ට ආදායමෙන් සියයට 25ක් පමණ අහිමි වෙනවා. ඇත්තටම මෙය බරපතළ ගැටලුවක්. මේ කොරෝනා කාලයත් එක්ක අපි රජයට කිසි විටකත් බලපෑමක් කළේ නැහැ බස් ගාස්තු ඉහළ දාන්න කියලා එය ජනතාවටත් බරක් නිසා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා වත්මන් ආණ්ඩුව මේ කුඩු පාතාලය නැති කරන්න හදනවා වගේ අපේ පෞද්ගලික බස් රථ තුළ ක්‍රියාත්ම වන කප්පම් මාෆියාව නවතා දෙන්න කියලා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
මේ වනවිට අපි පෞද්ගලික බස් කර්මාන්තය කරගෙන යන්නේ ඉතාම අසීරැ විදිහට මේ කොරෝනා වසංගතය එක්කම තව තවත් බස් රථ කර්මාන්තය කඩාගෙන වැටුණා. ඒ තත්ත්වය තුළ දැනට අපේ පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙලා තියනවා. ඒ නිසා අපි රජයට සහ වගකිවයුතු නිලධාරීන්ට මේ පිළිබඳව දැනුවත්කිරීම් කරලා තියනවා. නමුත් තවමත් එය ඉටුවන ආකාරයක් පේන්න නැහැ. අවස්ථා ගණනකදීම මාධ්‍ය මගින් පවා මේ පිළිබඳව හෙළිදරව් කිරීම් කරලා තියනවා. නමුත් ක්‍රියාත්මක වන ආකාරයක් පේන්න නැහැ. කොහොම වුණත් මේ විදිහට දිගටම ක්‍රියාත්මක වුණොත් මේ කප්පම් කල්ලි පෞද්ගලික බස් කර්මාන්තය කඩා වට්ටනවා කියන එක තමයි අපිට දැනට පෙන්න තියෙන්නේ.
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
පෞද්ගලික බස් රථ හිමිකරැවන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නවා කියන කාරණය මම දැක්කා මාධ්‍ය මගින් පවා පළවෙලා තියනවා. කිසිම කෙනෙක් කාටවත් අල්ලස් කප්පම් ලබා දිය යුතු නැහැ. ඒ වගේම තමයි ඉදිරියේදී මේ පෞද්ගලික බස් කර්මාන්තයේ නියැලෙන බස් හිමියන් සහ බස් සංගම් සමඟ අපි සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ පිළිබඳ තොරතුරු දන්නවනම් ඇවිත් පැමිණිලි කරන්න. මෙවැනි ක්‍රියා මාර්ගවල නියැලෙන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපි පසුබට වෙන්නේ නැහැ.
හසිත් අංජන