2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

බූස්සේ හර්තාල් දාන පොඩි ලැසීගේ අලුත්ම ප්ලෑන් එක

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

සති දෙකක් පුරා අපි ලියූ කතා නායකයා දැන් නැවතත් කරළියේ වැජඹෙයි. අපි කියූ කතාවල ඇත්ත සහතික කරමින් මෙකී කතානායකයාගේ කැරැට්ටුව අධිකරණය හමුවේ එකින් එක හෙළිවෙමින් ඇත. ඒ වෙනින් කවුරුත් නොව දකුණේ පාතාලයේ කිරුළු පළඳින්නට යන පොඩී ලැසීය. මිනීමැරැම්, කප්පම් ගැනීම්, කුඩු ජාවාරම්වල පවා නිරත පොඩි ලැසී අද වනවිට තමන්ට එරෙහි වන ඕනෑම කෙනකුගේ ජීවිතයට තුවක්කු කටින් උත්තර දීමට දෙවතාවක් සිතන්නේ නැත. ඒ එක පැත්තකින් ඔහුගේ ජීවිතය රැකගන්නටය. තව පැත්තකින් පාතාලයේ පොරක් වන්නටය. ඒ නිසා බන්ධනාගාරය තුළ සිටද තමන්ගේ තත්ත්වය පෙන්වීම සඳහා ලැසී මිනීමැරූ හැටි අමුතුවෙන් අපි කිවයුතු නැත. පසුගිය සති දෙක පුරාම කීවේ එකී ලැසීගේ කෙරුවාව ගැනය.

කෙසේ වෙතත් අද වනවිට ලැසීත්, ලැසීගේ විරුද්ධ කල්ලියේ වන කොස්ගොඩ තාරකගේ කල්ලියත් නොදැනෙන්න එම කල්ලි දෙකේ නායකයෝ එකතු වී සිටිති. ඒ වෙනින් කිසි දෙයක් නිසා නොව දැන් යන එනමන් නැතිවන තැනට දෙදෙනාම එකම බන්ධනාගාරයේ සිරවී සිටින නිසාය. ඒ බූස්ස බන්ධනාගාරයේ‍ය. ඒ නිසා මේ දෙදෙනා දැන් අයියා මලෝ වී අවසන්ය.

මේ දෙදෙනා අයියා මලෝ වීමත්, මේ ලැසී සහ තාරකගේ නම උඩට ඒමත් සිදුවුණේ පසුගිය ජූනි 26 වැනිදා බූස්ස බන්ධනාගාරයේ ඇතිවූ ආහාර වර්ජනයත් සමඟය. එනම් දරුණු ගණයේ අපරාධකරුවන් වූ පිරිස් රජයේ නියෝගයකට අනුව බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ අතර එකී සංඛ්‍යාව 45ක් විය. එම 45 දෙනා අතර වෙලේ සුදා, ලැසී, කංජිපානි, තාරක, පොට්ට නවුෆර් ආදී අයද සිටියහ.

එසේ සිරගතවීමත් සමඟ බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය, කුඩු ජාවාරම් සියල්ල නතර වුණු අතර සැකකරැවන්ට එළියේ සමාජය සමඟ ගනුදෙනු අත්හරින්නට සිදුවිය. මෙය ගැරඬියාට භූමිතෙල් ගැසුවා හා සමාන විය. ඒ සියලු ජාවාරම් මග කඩාවැටීම නිසාය. ඒ නිසා ඔවුහු බන්ධනාගාර නිලධාරීන්ටත් රජයටත් විරෝධය පා කෑම වර්ජනයක් ආරම්භ කළෝය. ඒ සඳහා රැඳවියන් පිරිසක් එක්ව සිටියහ. එය සම්පූර්ණයෙන් මෙහෙයවනු ලැබුවේ පොඩී ලැසී විසිනි.

මේ තත්ත්වය එතරම් හොඳ නැති දෙයක් නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායමක් යවා මෙකී ආහාර වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කරනු ලැබීය. ඒ වෙනුවෙන් බුද්ධි අංශය, පරිපාලන අංශය ආදී කණ්ඩායමක් සහභාගී වූහ. කෙසේ වෙතත් එකී කණ්ඩායමට පිළිතුරැ ලෙස පොඩි ලැසීගෙන් ලැබුණේ මරණ තර්ජන පමණි. ඔහු සියලු දෙනාටම කීවේ තමන් නිහඬ කළත් තම කණ්ඩායම තවමත් සක්‍රීයව පවතින නිසා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කරනු ලබන බවය. බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සිට මෙකී ඝාතන සිදුකරන බව කීය. ඒ වනවිටත් ලැසී බන්ධනාගාර නිලධාරියකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි අයෙක් විය.

ලැසී හමුවූ පිරිස දෙවනුවට ගියේ ලැසීගේ පරම හතුරා වූ කොස්ගොඩ තාරක හමුවීමටය. එහිදී තාරක ලැසීගේ හඬට ශක්තියක් වෙමින් ලැසී කියූ දේ හරි බවත් තමන්ට ඇති තරම් යකඩ (ගිනි අවි) ඇති බවත් සියලු දෙනා ඝාතනය කරන බවත් කීය. එසේම ආරක්ෂක ලේකම්වරයාට බිය නැති බවත් ඔහුට එන්නට කියන ලෙසත් අභියෝග කළේය. මේ සියල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ඉහළට දැනුම් දුන් අතර ලැසීගේ මේ තර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

කෙසේ වෙතත් ඒ වනවිට රහස් පොලීසිය විසින් නාකොටික් නිලධාරීන්ගේ ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටියේය. එහිදී හෙළිවුණේ නාකොටික් නිලධාරීන් පොඩි ලැසී සමඟද ගනුදෙනු කර ඇති බවය. එනම් නාකොටික් නිලධාරීන් සම්බන්ධ කර ඇත්තේ ඩුබායි සිටින උදාර සම්පත් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු විසින්ය. ඔහු විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් යොදාගෙන මත්ද්‍රව්‍ය ලැසීගේ කල්ලියට ලබාදී ඇත.

පුදුමය නම් එම මත්කුඩු නැවත නාකොටික් නිලධාරීන්ට අසුවීම නැවැත්වීමටත්, කොටු වුවහොත් එකී මත්ද්‍රව්‍ය හඳුනා ගන්නටත් ලැසී විසින් සිය හෙරොයින්වලට වර්ණ ලබාදී තිබී ඇත. ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශය සඳහා නිල් පැහැයෙන්ද, ගාල්ල ප්‍රදේශය සඳහා කොළ පැහැයෙන්ද, වැලිගම ප්‍රදේශයට කළු පැහැයෙන්ද හෙරොයින් පටවා තිබිණි. ඒ නාකොටික් නිලධාරීන් සමඟ ඇතිකරගත් සම්බන්ධයත් සමඟය.

කෙසේ වෙතත් කොස්ගොඩ සූජීලා, උදාරලා ලැසීලා කුඩු මෙහෙයවන එක ගැන වෙලේ සුදාට ඇල්ලුවේ නැත. එපමණක් නොව වෙලේ සුදා තමන්ට එපිටින් කිසිවකු කුඩු ජාවාරම්වල නිරතවන්නට ඉඩක් ලබාදුන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ වෙලේ සුදාගේ සැලසුමකට අනුව මාකඳුරේ මදූෂ් සහ කන්ජිපානිව පොලීසියට කොටුකර දීමය. ඒ සඳහා සම්පූර්ණ මෙහෙයුම දියත් කළේ වෙලේසුදා විසින් අන්නාසි මොරිල් යොදාගෙනය. ඒ සැලසුම නිසා අද කන්ජිපානි ද මදූෂ් ද හිරබත් කති.
මේ සියල්ල මැද කොස්ගොඩ තාරක ද කුඩු විකුණමින් සිටි අතර කොස්ගොඩ තාරකද මේ කුඩු ජාලයෙන් ඉවත් කිරීමේ අරමුණක් වෙලේ සුදාට විය. ඒ සඳහා වෙලේ සුදා යොදාගත්තේ දැනට අත්අඩංගුවේ සිටින විශේෂ කාර්ය බලකායේ උපපොලිස් පරීක්ෂකවරයාය.

ඔහු වෙලේ සුදාගේ කොන්ත්‍රාත්තු කරමින් නීතිගරැක නිලධාරියකු ලෙස හැසිරැණු අතර ඔහු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැටුව ඩුබායි රාජ්‍යට පවා ගියේ සැකකරැවන් කුදලගෙන ඒමේ අභීත නිලධාරියකු බව පෙන්වමිනි. විශේෂයෙන් මෑතකාලයේ සිදුකළ කෝටි ගණනක කුඩු මෙහෙයුම්වල ඔත්තුකරැ වූයේ මේ නිලධාරියා වීමද සිනහ ඇතිවන කාරණයකි.

දැන් දැන් හෙළිවන්නේ මෙකී නිලධාරියා සමඟ විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරික්ෂවරයකු ඇතුළු සෙබළුන් 12 දෙනෙක් එක්ව මේ සැලසුම් සහගත වැටලීම් සිදුකළ බවය. මරීනා මෝල්හි තිබී කුඩු තොගයක් සොයා ගැනීමත් මේ නාටකයේ කොටසක් බව හෙළිවී ඇත.

කෙසේ වෙතත් මේ සියල්ල සිදුකර ඇත්තේ වෙලේ සුදාගේ මෙහෙයුම් අනුවය. වෙලේ සුදා සමඟ විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්ෂකවරයා අතර ඇති වූ දුරකථන සංවාද සංඛ්‍යාව දහසකට වඩා වැඩි බව සඳහන් වේ. ඒ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය. පුදුමය නම් මේ සියල්ල සිදුකර ඇති පොලිස් උප පරීක්ෂවරයා ආරක්ෂා කිරීමට ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මැදිහත් වී සිටීමය. ඔහුව සම්පූර්ණයෙන් ආරක්ෂා කර ඇත්තේ පොලීසියේ ඉහළ නිලධාරීන් බව දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත.

වෙලේ සුදාගේ කුඩු ටික රට තුළට ගන්නට වෙනත් අයගේ කුඩු අත්අඩංගුවට ගත්තත් අවසානයේ ඒ කුඩු නාකොටික් නිලධාරීන් මාර්ගයෙන් ඒ ජාවාරම්කරුවන්ටම විකුණා තිබීම එක පැත්තකින් විහිළුවක් වන අතර තවත් පැත්තකින් ඛේදවාචකයකි. මෙතුවක් කල් මේ සියල්ල සිදුකර ඇත්තේ ඒ ආකාරයෙන් බව මේ වනවිට හෙළිවී ඇත

මේ සියල්ල යහපාලන රජය සමයේ සිදුවී තිබූ අතර එයට හේතු වී ඇත්තේ එම රජයෙන් ජාතික ආරක්ෂාව බිංදුවට තබා තිබීමය. කෙසේ වෙතත් මේ සියල්ල මැද දැන් දකුණේ පාතාලයේ නයි වෛරක්කාරයෝ මිතුරන් වී සිටිති. තාරක ලැසී දැන් සටන් කරන්නේ හිරගේ නිදහස ඉල්ලාය. ඒ නිසා ආරක්ෂක ලේකම්, ජනාධිපති ඝාතනය කරන බවට තර්ජනය කරන තෙක් ඔවුන් වැටී ඇත්තේ හිටියත් එකයි නැතත් එකයි කියා හිතන තැනට වැටී ඇති නිසාය. ඒ නිසා කෙසේ හෝ එළියට යාම දැන් ඔවුන්ගේ අරමුණ වී ඇත.

කෙසේ වෙතත් උප පොලිස් පරීක්ෂකවරයා මේ සියල්ල අවුල් වන තැනදී කොස්ගොඩ තාරකගේ ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරක් පොලීසියට ලබාදුන්නේය. ඒ හේතු කිහිපයක් නිසාය. එක් පැත්තකින් තාරක මාධ්‍යට ඔත්තු දෙමින් එකී නිලධාරියාගේ සියලු රහස් හෙළිකරමින් සිටි නිසාය. දෙක මාධ්‍ය සමඟ ගනුදෙනුව හෙළි කිරීමටය. අවසානයේ ඒ සියල්ල සිතූ ලෙසම සිදුවුණි. කෙසේ වෙතත් එය සිදුකර වැඩි දවසක් ගතවූයේ නැත. අවසානයේ උප පොලිස් පරීක්ෂකවරයා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබීය. දැන් ඔහු සිටින්නේ රහස් පොලිස් බාරයේය. එපමණක් නොව කොස්ගොඩ තාරක සිටින්නේ ද රහස් පොලිස් බාරයේය. අවසානයේ දෙදෙනාටම එකම කූඩුවේ ලගින්නට විය.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ ඇති වී තිබෙන දැඩි නීති නිසා රුඳවියන් සිටින්නේ බරපතළ අර්බුදයකය. විශේෂයෙන් ආරක්ෂක අංශ විසින් රැඳවියන් හමුවන්නට පැමිණෙන නීතීඥයන් පවා පරික්ෂා කරන තැනට පත්ව සිටියි. එපමණක් නොව සතියකට සැරයක් තම නිවසේ අය අමතන්නට දුන් දුරකථන පහසුකම් ද නවතා දමා ඇත. එය ඔවුන්ට දරන්නට බැරි තරම් ප්‍රශ්නයක් වී ඇති නිසා පසුගිය බ්‍රහස්පතින්දා නැවතත් ආහාර වර්ජනය ආරම්භ කෙරිණි. එයද පොඩි ලැසීගේ මෙහෙයවීමක් බව මේ වනවිට හෙළිවී ඇත. ඒ සඳහා ලැසී, නවුෆර්, ආමි සම්පත්, වෙලේ සුදා, කන්ජිපානි ඇතුළු සිරකරැවන් 35 දෙනකු එක්ව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ වනවිට දකුණේ පාතාලය බොහෝ සෙයින් නිවී ගොස් ඇත. ඒ ලැසීලා රාජුලා රණාලා බන්ධනාගාරයේ සිටින නිසාය. ඔවුන් හැමදෙනාටම බාහිර සමාජය සමඟ ගනුදෙනු කළ නොහැකි නිසා විශේෂයෙන් කොස්ගොඩ සුජී සමඟ ගනුදෙනු කළ නොහැකි නිසා අපරාධ සිදුවීම් නැති වී ඇති බව පොලීසිය සඳහන් කරයි. විශේෂයෙන් ආරක්ෂක අංශ වෙත වාර්තා වී ඇති ආකාරයට කොස්ගොඩ සුජී ලංකාව සමඟ සිදුකරන ගනුදෙනුද නවතා දමා ඇත. විශේෂයෙන් කුඩු ගෙන්වීම ද නවතා දමා ඇති බව සඳහන්ය. වෙලේ සුදාට බාහිර සමාජය සමඟ ගනුදෙනු කිරීමට නොහැකි වීම නිසා මේ වනවිට ජාත්‍යන්තර කුඩු ජාලය බිඳී ගොස් ඇතැයි සඳහන් වේ. ඒ හේතුවෙන් මෙරටට කුඩු ගෙන ඒම නවතා දමා ඇත. එමෙන්ම කොරෝනා තත්ත්වය හමුවේ විදෙස් ගමන් සීමා වීම නිසාද කුඩු ආනයනය කිරීම කඩා වැටී ඇත. මේ සියල්ල මැද ලංකා රජය සිදුකරන වැටලීම් හමුවේ ජාත්‍යන්තර කුඩු ජාලය සම්පූර්ණයෙන් සිය ජාවරම අත්හැර දමා ඇති බව සඳහන් වේ. පුදුමය නම්  දැන් අසුවන සියලු මත් කුඩු නාකොටික් නිලධාරීන් විසින් බෙදාහැරි ඒවා බව තහවුරැ වීමය. එය කෙතරම් ඛේදවාචකයක් ද යන්න ලැබෙන පුවත් එක්ක ඔබට අපට සිතාගත හැක.

මේ අතර බස්නාහිර පළාත තුළ සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ පොලිස් නිලධාරීන් විස්සකට අධික සංඛ්‍යාවක් පාතාලය සහ මත්කුඩු ජාවරම්කරැවන් සමඟ ගනුදෙනු කරන බවය. ඒ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් නුදුරේදීම ඔවුන්ද අත්අඩංගුවට ගන්නා බවත් සඳහන් වේ.

ඒ අනුව සති දෙකක් පුරා අප ගෙනා පොඩී ලැසීගේ කතාව මෙයින් නිම කරන අතර එහෙත් දකුණේ පාතාලයේ කතාත් සිද්ධිත් තවම නිමක් නැත. ඒ නිසා ඉදිරියේ අළු යට ගිනි කොයිමොහොතක හෝ උඩ මතුවනු ඇතැයි සැකයෙන් මේ කතාව මෙලෙස නිමාකරමි.

 ගයාන් ගාල්ලගේ