2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අත් සෝදගෙන පොත් ගන්න එන්න

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

නැවතත් සාහිත්‍ය වසන්තය එළඹී තිබේ. කොවිඩ්-19 අවදානම පැවතුණත් වාසනාවකට මෙන් අප රටේ සමාජයේ කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කර ඇති නිසා පොතපත ගැන කතා කිරීමේ අවස්ථාව නැවතත් උදා වී තිබේ. වසංගත අවදානම හමුවේ පාඨකයන්ගෙන් තොරව පාළුවට ගොස් තිබූ පොත්හල්වලට දැන් ටිකෙන් ටික පාඨකයන් පැමිණෙමින් තිබෙන අතර අන්තර්ජාල පොත් වෙළෙඳාමද වැඩිපුර වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සාහිත්‍ය ලැදි ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් දෙගිඩියාවෙන් සිටි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද සුපුරැදු පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබෙන අතර සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් පාඨකයන් පැමිණිය යුතුව තිබේ.

සැප්තැම්බර් 18 – 27 දක්වා උදේ 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. පොත් අලෙවි කුටි 400කට අධිකව මෙවර තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාදීලා තිබෙන්නේ මීටරයක පරතරය තබාගන්නා ලෙසයි. අත් සේදීමේ පහසුකම් සහ විෂබීජනාශක ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සපයනවා. අප පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රංචු ගැසී පැමිණීම වෙනුවට මුඛ ආවරණ පැළඳ පරතරය තබාගෙන ප්‍රදර්ශන භූමියට පැමිණෙන ලෙසයි. අප සමඟ එලෙස පැවසුවේ පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතාය.

සංගීත වැඩසටහන්, නර්තනාංග, විද්වත් සංවාද, පොත් දොරට වැඩීම් ආදිය මෙවරද පැවැත්වෙනු ඇත. එමෙන්ම සුපුරැදු පරිදි ආහාරපාන ලබාගැනීමේ අවස්ථාවද සලසා තිබේ. කොත්තමල්ලි පානය පවා ලබාගත හැකිය. සභාපතිවරයා පවසන්නේ මෙවර පසුගිය වර්ෂවලටත් වඩා වැඩි ප්‍රකාශකයන් සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත බවයි. කොවිඩ් නීතිරීති නිසා විදේශීය ප්‍රකාශකයෝ පැමිණෙන්නේ නෑ. ඒ වෙනුවට විදේශීය රටවල ප්‍රකාශන ආයතනවල දේශීය නියෝජිතයෝ සහභාගි වෙනවා.* සිංගප්පූරැව, මැලේසියාව, ඉන්දියාව, ජපානය, එංගලන්තය, ඉරානය, චීනය ආදී රටවල ප්‍රකාශකයන් වෙනුවට ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ප්‍රදර්ශන කුටි පවත්වනවා. මේ නිසා පිටරට පොත් ගන්න බලාපොරොත්තු වන පාඨකයන්ට අසාධාරණයක් වන්නේ නෑ. සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන මහනුවර පොත් දැක්ම හා රජත පුස්තක සම්මාන උළෙල මෙවර නොපැවැත්වීය. මෙවර රජත පුස්තක සම්මාන හිමිවූ කෙටිකතා (මැරීන් ඩ්‍රයිව් - අනුරසිරි හෙට්ටිගේ), කවි (රිදුම් පිරි පිරිමැදුම් - අනුරාධා නිල්මිණී), යොවුන් නවකතා (ඒත් අපි පියාඹමු - සුජාතා අලහකෝන්) කෘතිවලට හිමි ත්‍යාග ප්‍රදානය සැප්තැම්බර් 18දා පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව සභාවේදී සිදු කිරීමට නියමිතය.

කවුරුත් උනන්දුව දක්වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 15දා සවස 3.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා අවසන් වටයට තේරී තිබෙන ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත, ශමෙල් ජයකොඩිගේ කුමර කොබෙයි, තිළිණ සුරත් ද මැල්ගේ තී හා තා සහ එරික් ඉලයප්පආරච්චිගේ පේත නිර්දේශ වී තිබේ. ඒ අතරින් ස්වර්ණ පුස්තකය තෝරාගැනෙනු ඇත.

ප්‍රකාශකයන් පොත් දැක්මට සූදානම් වන්නේ කෙසේද යන්න දැනගැනීමට අපි පොත් ප්‍රකාශකයන් කිහිප දෙනකුටත් කතා කළෙමු. පොත් දැක්මට මුල පටන්ම සහභාගී වන පැරණිතම පොත් ප්‍රකාශකයෙක් වන මරදාන දයාවංශ ජයකොඩි සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මහතා කීවේ ප්‍රදර්ශන දිනවල අලුත් පොත් 6ක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. නවකතා හතරක් සහ පරිවර්තන පොත් 2ක් අපි මේ වෙනුවෙන්ම නිකුත් කරනවා. වෙනදා වගේම උනන්දුවෙන් අපි පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙනවා. සහභාගීත්වය තරමක් අඩුවීමට ඉඩ තිබුණත් පාඨකයන්ට අපේ පොත් පහසුවෙන් ලබාගැනීමේ සෑම අවස්ථාවක්ම සලසා තිබෙනවා. ඔහු කීවේය. 

ප්‍රේමකීර්ති රණතුංග ලියූ දේවක්කෝඩුව, සමන් මහානාම දිසානායකගේ සුදු මැණික, සුමිත් නානායක්කාරගේ රාජාන්තරය, බන්දුල පී. දයාරත්නගේ අයිස් පීල්ලේ වීරයෝ ආදී නවකතාත් කුමාර සිරිවර්ධන පරිවර්තනය කළ හුදෙකලා අසරැවා, එස්. චන්ද්‍රසිරි දසනායක පරිවර්තනය කළ සැරිසරන්නාගේ මාලය, ප්‍රේමසිරි මාහිංගොඩ පරිවර්තනය කළ අවතැන්වූවෝ ඔවුන්ගේ අලුත් පොත් ලැයිස්තුවේ තිබේ.

පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතා පැවසුවේ ප්‍රදර්ශනය වෙනුවෙන් අලුත් පොත් රාශියක් මේ වනවිටත් මුද්‍රණය කර ඇති අතර තවත් කෘති රාශියක් මුද්‍රණයෙන් නිකුත්වීමට නියමිත බවයි. සූරිය ප්‍රකාශන පොත් අතර පරිවර්තන රාශියක් දැකගත හැකිය. පැරණි පොත්වල නව මුද්‍රණද පළ කර තිබේ. රොබට් ජේම්ස් වොලර් (එක් ගිම්හානයක), විල්කි කොලින්ස් (දෛවය දෙතැනක), කැසැන්ඩ්‍රා මරණයේ පාලම, කීර්ති ලංකා ගුණරත්න, පණ්ඩිත රාමාගේ කතා, ක්‍රිස්ටීන් විල්සන් මතක සටහන් (ප්‍රේමචන්ද්‍ර අල්විස්), එක්ස් ෆයිල්ස් කතා මාලාවේ කෘති සමහරක්, කමලා මාර්කන්දායගේ ආදරණීය වියරුව (පරි. අනුල ද සිල්වා), වික්ටෝරියා හෝල්ට්ගේ සේද වෛරය ඇතුළු පරිවර්තන රාශියක්ද, ඔබ අද බඳුනක් පිරෙව්වාද (සමන් කළුආරච්චි), මලික් තුසිත ගුණරත්නගේ ස්වර්ණ සිහිනය, යශෝධරා ගුණසේකරගේ ඉව අල්ලන චණ්ඩි කෙල්ල සූරිය ප්‍රකාශන අතර දැකගත හැකිය.

අතුල ජයකොඩි පැවසුවේද අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳ පැමිණිය යුතු අතර අවශ්‍ය නම් මුඛ ආවරණ මිලදී ගැනීමටද දොරටුව අසලදී හැකියාව තිබෙන බවය.

කේ.එස්.පී. ප්‍රකාශන අලුත් ප්‍රකාශන ආයතනයකි. නව ඉසව්වක් ඔස්සේ ප්‍රකාශන පළ කරන ඔවුන් මෙවර පොත් දැක්ම වෙනුවෙන් පළ කළ පොත් අතර සිංහල මෙන්ම ඉංග්‍රීසි කෘතිද තිබේ. නිමාවූ ඍතුවක ශේෂ පත්‍රය කවිපොත - මාලන් බණ්ඩාර කපුවත්ත, සුදුවත හැඳි කෙකිනිය කවි - සුහර්ෂණී ධර්මරත්න, යාත්‍රාහාරී - භිෂ්ම උප්රෙති (පරි. වසන්තා කේ. මිහිඳුකුලසූරිය, මෙහෙරු නිසා - ඉන්ද්‍ර සුන්දරේසන් (පරි. තෙසාරා ජයවර්ධන) යන පොත්ද අලුත් නගරාධිපති කෙටිකතා පොතද (බටුවන්ගල රාහුල හිමි) ඔවුන්ගේ කෘති අතර තිබේ. කාංචනා ප්‍රියකාන්තගේ කර්මක්ෂ කෙටිකතා කෘතියේ නව මුද්‍රණයද මෙවර පොත් දැක්ම වෙනුවෙන් පළ කර ඇත. ධරණී වීරසේකරගේ Fear and Tears, සඳරු විජේරත්නගේ The Fireflies යන ඉංග්‍රීසි ප්‍රකාශනද කේ.එස්.පී. වෙතින් නිකුත්ව තිබේ.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත නවකතා දෙකක්ම පළ කර ඇත්තේ විදර්ශන ප්‍රකාශන ආයතනයයි. ඒ කුමර කොබෙයි සහ රතු ඉරි අඳින අතය. විදර්ශන අධිපති ජනක ඉණිමංකඩ මහතාට අප ඇමතුවේ ඔවුන්ගේ සූදානම ගැන දැනගැනීමටයි.

ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණි පොත්වලට සුදර්ශන භූමියේ විශාල ඉල්ලුමක් තිබෙනවා. සෑම ප්‍රදර්ශන කුටියකම පාහේ ඒ පොත් අලෙවි කෙරෙනවා. අපි ප්‍රකාශිත නිර්දේශිත පොත් දෙකම පාඨකයන්ට පහසුවෙන් ලබාගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 

ප්‍රදර්ශනය වෙනුවෙන් අපි පසුගිය මාස දෙක තුළ පොත් 30ක් නිකුත් කළා. පරිවර්තන, නවකතා, ශාස්ත්‍රීය පොත්, විවාර කෘති, කවි, කෙටිකතා ඒ අතර තිබෙනවා. මෙවරත් අපේ ප්‍රදර්ශන කුටිය කැපීපෙනෙන පරිදි සැලසුම් කෙරෙනවා. ඔන්ලයින් හරහා පොත් මිලදී ගන්නා පාඨකයන්ගේ තොරතුරැ ලබාගෙන ඔවුන්ට විශේෂ වට්ටම් සහිතව පොත් ගෙන්වාගත හැකි පරිදි ලියාපදිංචි කිරීමේ සේවාවකුත් අපේ ප්‍රදර්ශන කුටියේ පැවැත්වෙනවා.

මරදානේ සුරස ප්‍රකාශන කුටියද පොත් ප්‍රදර්ශනයේ විශාල පාඨක ආකර්ෂණ හිමි තැනකි. සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක සඳහන් කළේ අලුත් පොත් 30ක් මෙවර සාහිත්‍ය මාසයේ නිකුත් කරන බවයි. දිලීප ජයකොඩිගේ පරිවර්තන කෘති 6ක්ද සමන් අතාවුදහෙට්ටිගේ වසාවාසි, වියට්නාම් පරිවර්තන නවකතාවද ඒ අතර වේ. මහානාම දුනුමාල ලියූ පැරැණි නුවර පාර රජ මාවත, අශෝක ගුණතිලකගේ කඳුළු අතරින් සිනාසෙන රැජන, ප.ද.රා. ප්‍රේමවර්ධනගේ රස්පුටින් ඝාතනය, කුමාර හෙට්ටිආරච්චිගේ ගුවර්නිකා නවකතාව, පරාක්‍රම ඒකනායකගේ හතර දෙනෙක් කුමාරවරැ නිකුත් වන සුරස පොත් අතර වේ.

සරසවි ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා මහතා පැවසුවේ දැන් පාඨකයන් පොත්හල්වලට පැමිණ පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති බවයි. පොත් ප්‍රදර්ශනයේදී වඩාත් ධනාත්මක ප්‍රතිචාර පාඨකයන්ගෙන් ලැබෙතැයි ඔහු සඳහන් කරයි. මෙවර නිකුත් වන සරසවි ප්‍රකාශන අතර සුනේත්‍රා රාජකරුණානායකගේ සිලෝනාගමනය, ප්‍රභාත් ජයසිංහගේ රස පොළොව (කෙටිකතා), ටෙනිසන් පෙරේරාගේ කොරෝනා කාලේ අබිරහස් ජීවිත, කීර්ති වැලිසරගේගේ දිගු තත්පර (කෙටිකතා), උපාලි රත්නායකගේ සේපියන්ස්ලා (පරිවර්තන) යන කෘතිද තිබෙන බව ප්‍රකාශන කළමනාකාරවරයා කීවේය.

කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02