2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

අවුරුද්දකට හතර වතාවක් හිරේ යන සෙට් එක

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

සිය දඬුවම් කාලය නිමකර බන්ධනාගාරවලින් නිදහස්ව යන පුද්ගලයන් අතරින් සියයට 50ක් පමණ නැවත නැවතත් බන්ධනාගාර ගතවන බව හෙළිවන්නේ අද ඊයෙක නෙවේ. පසුගිය වසරේ (2019) බන්ධනාගාරවලින් නිදහස් වූ 29164ක් අතරින් 14054 දෙනෙක්ම නැවත බන්ධනාගාර ගතවී ඇති බව 2020 වාර්ෂික වාර්තා පවා පෙන්වා දෙන්නේ ඒ නිසාය.මීට වසර 10කට පෙර තිබූ එම තත්ත්වයේ අදටත් වෙනසක් වී නොමැති බව එම නවතම වාර්තාව අනාවරණය කරයි. 2019 වසරේ එම වාර්තාවලට අනුව, නිදහස ලබා පුනරුත්ථාපනය වී නිවෙස් බලා ගිය පුද්ගලයන්ගෙන් 7817 දෙනෙක්ම නැවත බන්ධනාගාරගත වී සිටිති.

3215 දෙනෙක් දෙවැනි වතාවටත් බන්ධනාගාරගතව සිටීමද විශේෂත්වයකි. ගතවූ සිව් වසර තුළ එනම්, 2016, 2017, 2018 හා 2019 දී මෙම තත්ත්වය පිළිවෙළින් 3763, 2659, 3180 හා 3215 ලෙසින් දැක්විය හැකිය. එම වසර හතර තුළ තෙවතාවකට වැඩියෙන් බන්ධනාගාර ගතවී ඇති සංඛ්‍යාව පිළිවෙළින් 1647, 1221, 592 හා 1346 කි.

2018-2019 වර්ෂවලදී හතර වතාවකට වැඩියෙන් එනම්, පස් හය වතාවක් බන්ධනාගාරගතව ඇති සංඛ්‍යාවද 900කට ආසන්නය. පසුගිය වසරේදී හත් වතාවකට දහ වතාවකට වැඩියෙන් බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාවද 145කි. පුද්ගලයන් 86 දෙනෙක් පසුගිය වසර තුළ 11 වතාවකට වැඩියෙන් හිරේට නියම වීමද පුදුම සහගතය. මේ අතර කාන්තාවන් 11 දෙනෙකු වීමද විශේෂ සිද්ධියක් වන්නේය.

2019 වසරේදී රිමාන්ඩ් භාරයට පත්ව ඇති පිරිස 1,15,325ක් බවද එම වාර්තාව අනාවරණය කරයි. එහෙත්, එම වසර තුළ සිරදඬුවම් ලබා ඇත්තේ 29.164කි. ගතවූ සිව් වසර තුළ එනම්, 2016 වසරේදී පමණක් 11 වතාවකට වැඩියෙන් හිරබත් කා ඇති පිරිස 169ක් ය. 2016 වසරේදී 11 වතාවකට වැඩියෙන් හිරේ ගිය කාන්තාවන් 59 දෙනෙකි.

පාතාල මත්කුඩු ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වරින්වර බන්ධනාගාර ගත වන පිරිසට අයත් බව කීවේ බන්ධනාගාර නිලධාරීන්ය. මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධ සැලසුම් කිරීම සඳහා එකම ආරක්ෂිත ස්ථානය බවට අද බන්ධනාගාර ගතවී අවසන්ය. විරැද්ධවාදී පාතාල කණ්ඩායම්වලින් සිය ජීවිත ආරක්ෂාව සළසා ගැනීමද මීට තවත් එක් හේතුවකි. 

මේ වනවිට බන්ධනාගාරවල පවතින පුනරැත්ථාපන ක්‍රියාවලියේ දුර්වලතාවය නැවත නැවත පුද්ගලයන් බන්ධනාගාර ගතවීමට ප්‍රධාන හේතුවක් බව කීවේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතාය.
අද බන්ධනාගාරවල පවතින්නේ පුනරැත්ථාපනය නමින් අකාර්යක්ෂම වැඩපිළිවෙළක්. මෙහි අසාර්ථකභාවයට හොඳම නිදසුන තමයි, සමහරුන් 11 වතාවකට වැඩියෙන් හිරේට එන එක. අද පුනරුත්ථාපන ක්‍රියාවලියක් බන්ධනාගාර තුළ නැහැ. ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. ඒක විද්‍යානුකූලව කළයුතු දෙයක්. අද ඒක රැකියාවක් ලබාගැනීමට ලඝුකරලා. හිරෙන් නිදහස් වූවෙකුට සමාජයේ පිළිගැනීමක් නැහැ. නැවත එනවා. අඩුගානේ සිරකරුවන්ට ඡන්දයවත් නැහැනේ. ඒ මිනිස්සුන් නැවත එන්නේ ආසාවට නොවෙයි.

කලක් බන්ධනාගාරවල පුනරැත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කළ කර්මාන්ත අංශය බිඳවැටීමේ තර්ජනයකට මුහුණ පා ඇති බවද නොරහසකි. පසුගියදා පල්ලන්සේන තරැණ වරදකරැවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වූ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි කර්මාන්ත අංශවලට අත්වී ඇති ඉරණම දැක යළිත් එම කර්මාන්ත ආරම්භ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේ ඒ නිසාය. මහර බන්ධනාගාරයේ පසුගියදා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී එහි කර්මාන්ත අංශය පිළිබඳව ඇය සතුට පළකර තිබුණේ අනිකුත් බන්ධනාගාරවලටද ආදර්ශයක් වශයෙනි. නිදහස ලබා පිටව යන පුද්ගලයන් අතරින් අඩක්ම නැවත නැවතත් බන්ධනාගාර ගත වන්නේ පුනරැත්ථාපන ක්‍රියාවලියේ පවතින අසාර්ථකත්වය නිසා බවට විවාදයක් නැත්තේ මතුවන කරුණු නිසාය.

බන්ධනාගාර තුළ පුද්ගලයන් සිරකර තැබීමෙන් ඔවුන් වඩාත් ප්‍රචණ්ඩ වීමත් සමඟම කුඩු ජාවාරම්කරැවන්ගේත් දේශපාලකයන්ගේ හා පාතාල අපරාධකරැවන්ගේත් ගොදුරු බවට පත්වන්නේ කැමැත්තෙන් නොවේ. 2019 බන්ධනාගාර වාර්ෂික වාර්තාවට අනුව, බන්ධනාගාර ගත සිරකරුවන් 29164ක් අතරින් 15123ක්ම මත් චෝදනා මත සිරගත වූවන්ය. මෙම විශාල පිරිස කිසියම් පුනරුත්ථාපන වැඩපිළිවෙළකට යොමුකිරීම ආරම්භ වූයේ 2013 වසරේදීය. පූර්ණ යුද හමුදා අධීක්ෂණය යටතේ කන්දකාඩු හා සේනපුර මධ්‍යස්ථාන වෙතින් මෙතෙක් පුනරැත්ථාපනය වී ඇති සංඛ්‍යාව 6000කට වැඩිය. පසුගිය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟම, මෙම කන්දකාඩුවලින් හමුවූ කොරෝනා පොකුර රටම භීතියට පත් කරන්නටද සමත් විය.

මත්ලෝලීන් පුනරැත්ථාපනය කෙරෙන මෙවැනි සාර්ථක වැඩපිළිවෙළක් මුළු ලෝකයේම නොමැති බව කීවේ පුනරැත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාය. දැනට අත්හිටුවා ඇති මෙම වැඩපිළිවෙළට අනුව එවැනි මත්ලෝලීන් සඳහා යළිත් මෙම මස අවසානයේ එහි දොර හැරෙන බවද ඔහු කීවේය.

මෙම සාර්ථක වැඩපිළිවෙළ යටතේ මත්ලෝලීන් 1000ක් එකවර පුනරුත්ථාපනය කිරීමද අගය කළ යුතුය. මෙතෙක් මෙම මධ්‍යස්ථානය වෙතින් පුනරුත්ථාපනය වූ 6000ක් අතරින් සියයට 3ක් පමණ නැවත නැවතත් ආපසු පැමිණ ඇති බවද මේජර් ජනරාල්වරයා අනාවරණය කළේ එය ඉතා සුළු පිරිසක් ලෙසිනි.

එහෙත්, එහි වැඩිවීමක් දක්නට නැතැයිද ඔහු පෙන්වා දෙන්නේ පුනරැත්ථාපන වැඩපිළිවෙළේ සාර්ථකභාවයද සමගිනි. මෙම මධ්‍යස්ථානය වෙත උපදේශන කටයුතු සම්පත් දායකයන් විසින් ලබාදෙන බවද කී හෙතෙම බන්ධනාගාර තදබදයට මෙමගින් ලැබෙන දායකත්වය ප්‍රබල විසඳුමක් ලෙසද සලකයි. මෙහි පුනරැත්ථාපන කටයුතු තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, අධිකරණ නියෝග මත පුනරුත්ථාපනයට යොමුකළ විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබීමට සිදුවීමද බරපතළ ගැටලුවක් බව එහි පාලකයෝ පෙන්වා දෙති.

සෑම මාසයකට වරක්ම අධිකරණ මගින් මෙවැනි මත්ලෝලීන් 100/150 අතර සංඛ්‍යාවක් පුනරැත්ථාපනය සඳහා කන්දකාඩු හා සේනපුර වෙත යොමුකරනු ලැබූවද එහි කොරෝනා රෝගීන් 11 දෙනකු ප්‍රතිකාර ගන්නා නිසා එම කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

මේ වනවිට එම කඳවුරු දෙකේ මත්ලෝලීන් 890 දෙනෙක් පුනරැත්ථාපනය ලබන බවද, මේජර් ජනරාල්වරයා අනාවරණය කළේ වෙනදා එහි දහසක් පුනරැත්ථාපනය ලබන බව කියමිනි. මෙම පුනරුත්ථාපන වැඩපිළිවෙළ පිළිබඳව මුළු ලෝකයම ප්‍රසාදය පළකරන්නේද නිකමට නොවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවද මෙහි අගය වටහාගෙන අවසන්ය. 

මුලු ලෝකයම බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුනාගෙන ඇති එල්.ටී.ටී.ඊ. කාඩරයන් 12,500ක් එකවර පුනරැත්ථාපනය කළ එකම රට ශ්‍රී ලංකාව බවට අදටත් කතා කරන්නේ එම වැඩපිළිවෙළේ ඇති සාර්ථකත්වය නිසාය. ඉන්පසු ආරම්භ වූයේ මෙම වැඩපිළිවෙළය. මත්ලෝලීන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම මෙහි දැන් කාර්යභාරය වුවද, නැවතත් ඔවුන් පිවිසෙන්නේ එම සමාජයටම නොවේදැයි ඔහු අසන්නේද නිකමට නොවේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව තෝරාගත් පුනරුත්ථාපනලාභීන් විදේශ රුකියාවලට යැව්වේද වැඩපිළිවෙළක් සාකච්ඡා මට්ටමේ පවතින බව කීවේද මේජර් ජනරාල්වරයාය.

රිමාන්ඩ් භාරයට පත්වන වැඩිදෙනා මත්ලෝලීන් බවට තර්කයක් නැතත්, ඔවුන් වරදකරුවන් නොවන නිසා පුනරුත්ථාපන වැඩපිළිවෙළකට යොමු කිරීමට නොහැකි වී ඇති බව කියන්නේද බන්ධනාගාර දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය රැඳවියන් ආරක්ෂා කොට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම පුනරැත්ථාපනය කොට සමාජගත කිරීම වුවද, එය නිසි පරිදි සිදු නොවන තෙක් යළි යළිත් බන්ධනාගාරගත වන්නන් තවදුරටත් ඉහළ යනු නොඅනුමානය.

 ජයන්ත සමරකෝන්