2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

දැන දැන කිරිහරක් වළේ වැටෙන්න යන ඇමැති

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

එළකිරි මෙන්ම පිටිකිරි ගැන විටින් විට විවිධ කතා මතුවේ. එසේම මේ දිනවල කිරිහරක් ප‍්‍රශ්නයක්ද මතුව ඇත. දියර කිරි සහ කිරි හරක් ගැන කතා නිසා රට තුළ කිරි සම්බන්ධ පුළුල් කතිකාවක් ඇතිව තිබේ. ඒ තුළ දියර (ගොන්) කිරි සම්බන්ධ යථාර්ථයද හෙළිදරව් වීම, ඒ ගැන මහජනයා දැනුවත් වීම අප දකින්නේ හොඳ දෙයක් ලෙසය.

රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වතු සමාගම් 22 කට දෙනුන් 22,000ක් පිටරටින් ආනයනය කරන බවට නව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා විය. ඊට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ඒ වනවිට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ කිරි දෙනුන් තොගයෙන් තවත් 2500 ක් ආනයනය කිරීමට තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකාශයට පත්විය. නමුත් එම දෙනුන් ආනයනය කරනු ලබන්නේ මීට පෙර සිදුකළ ආකාරයට කිරි නිෂ්පාදනය සඳහා නොව අභිජනන ව්‍යාපෘතියක් සඳහා බවද ප්‍රකාශ කෙරිණි.

රටේ කිරි අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ බවත් ඒ අනුව එක් වතු සමාගමකට කිරි ගවයන් 1000ක් ගෙන්වීමට අවසර ලබාදුන් බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුම, සහන, මූල්‍ය ආධාර, සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් සහ අනිකුත් සියලුම පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය. දැනට රටේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 422ක් බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ කිරි ලීටර් මිලියන 750 දක්වා වැඩිකිරීමට හැකිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 දී වන අතර 2019 වනවිට දෙනුන් 20,000 ක් ආනයනය කිරීමට නියමිත විය. ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 100ක ණය මුදලක් යොදා ගනිමින් මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය දියත් විය. කෙසේ වෙතත් 2019 වනවිට ආනයනය කරනු ලැබ සිටියේ දෙනුන් 5000 ක් පමණි. එම දෙනුන් අතුරින් 500ක් එනම් 10% විවිධ ලෙඩ රෝග නිසා මරණයට පත්වූ බව වාර්තා විය. 2015 සිට එම දෙනුන් සෘජුව ගොවීන්ට ලබාදීමට පටන් ගැනීමෙන් පසුව විවිධ පාර්ශ්ව විසින් එම ව්‍යාපෘතියට එරෙහිව බරපතළ විවේචන එල්ල කෙරැණේ ලෙඩ හරක් ගෙන්වා ඇති බවට වන බරපතළ චෝදනාවද සමඟිනි.

ශ්‍රී ලංකාවේ විගණකාධිපති විසින් 2018 දී නිකුත් කළ වාර්තාව මඟින් අදාළ ව්‍යාපෘතිය බරපතල විවේචනයට ලක්වුණු අතර ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍යවලින්ද ඊට අදාළ කරැණු ප්‍රසිද්ධියට පත්විය. එසේම ශ්‍රී ලංකාවේ රජය සහ කිරි දෙනුන් අපනයනය කළ වේලාර්ඩ් නම් සමාගම අතර අත්සන් කළ ගිවිසුම විධමත්ව අත්සන් කොට නැති බවට සහ එම ගිවිසුමේ පිටපතක් සොයා ගැනීමටවත් නොමැති බවට කරැණු දූෂණ වංචා විමර්ශන කොමිසමේදී එළිදරව් විය. ඒ අතර අදාළ සමාගම විසින් ඩොලර් 3,698 කට ලබාදුන් එළදෙනෙක් ශ්‍රී ලංකාව දක්වා ආනයනය කිරීම සඳහා සැබවින්ම වැයවන්නේ ඩොලර් 2650ක් පමණ බවට ඕස්ට්‍රේලියාවේ පවා වාර්තා පළවිය. එම සමාගම ගිවිසුමේ කොන්දේසි කඩකළ බවට සහ දෙනුන් පිළිබඳ නිසි තොරතුරැ ලබා නොදුන් බවටද චෝදනා එල්ල විය.

පී. හැරිසන් මහතා ඇමැති ධුරය දැරූ ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යංශයෙන් දියත් කළ ගැබ්බර කිරි දෙනුන් ගෙන්වා බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ ලබාදෙන ලද දෙනුන් ගිවිසුම්ගත තත්ත්වයට වඩා පටහැනි නිසා ගොවිපොළ හිමියන්ට විශාල පාඩු විඳින්නට සිදුව ඇති නිසා ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ලැමමෝර් සත්ත්ව ගොවිපොළේ සභාපති සහ සමස්ත ලංකා කිරිගොවි සම්මේලනයේ උප සභාපති අමල් සූරියගේ මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබිණි. තමා මේ යටතේ රජයෙන් ලබාගත් ඕස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වූ ගවයන් 200න් ගවයන් නමදෙනෙක් 2018 මැයි 22 වනවිට මියගිය බවත් තවත් දෙනුන් 21 දෙනෙකුගේ වසු පැටවුන් උපත ලබද්දීම මියගොස් සිටීම සහ ගබ්සාවීම් සිදුව තිබූ බවත් ඔහු කොමිසමට හෙළිකර තිබුණි. මෙම දෙනුන් හඳුනා නොගත් රෝගවලින් පෙළුණු බවද ඔවුන් බිහිකළ වසු පැටවුන්ගේ මරණ අනුපාතය ඉතාම ඉහළ අගයක් ගත් බවද සාක්ෂිකරැ කොමිසමට හෙළිකර තිබුණි. රජය මේ දෙනුන් ලබාදීමේදී ඇති කරගත් ගිවිසුමට අනුව එක දිනකට කිරි ලීටර් 20ක් ගත හැකි බව ප‍්‍රකාශ කළද මේ ආනයනික දෙනුන්ගෙන් දිනකට කිරි ලීටර් අටක්වත් ගත නොහැකි බවද සාක්ෂිකරැ කොමිසමට හෙළි කළ කරැණකි. රටින් ගෙනෙන පිටි කිරි පමණක් නොව ආණ්ඩුව මැදිහත් වී රටින් ගෙනා කිරි හරක්ගේ තත්ත්වයද එසේය. මෙම එක ගවයකු වෙනුවෙන් ගොවිපොළ හිමියන් රැපියල් ලක්ෂ දෙකක මුදලක් වැයකර ඇති බවද මේ සම්බන්ධයෙන් තමා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාට 2018.05.24 දින ලිඛිතව පැමිණිලි කළ බවද මීට පෙර දිනක සාක්ෂිකරු කොමිසමට කියා සිටියේය. දේශීය කිරි ගොවියාත් මෙරට ගොන් වැස්සියන්ට වඩා රටින් ගෙනත් දෙන ගොන් වැස්සියන් ගැන වැඩි විශ්වාසයක් තැබීම නිසා අද ඔවුන්ට ජනාධිපති කොමිෂන් ගානේ රස්තියාදු වීමටද සිදුව ඇත.

මේ වැඩේට අපි විරුද්ධයි

සමස්ත ලංකා කිරිගොවි සම්මේලනයේ උප සභාපති අමල් සූරියගේ:

මෙයට පෙර බලයේ තිබුණ යහපාලන ආණ්ඩුව විසින් දේශීය කිරි ගොවියා නන්නත්තාර කළා කියන කාරණාව සියලු දෙනා දන්නා කාරණාවක්. ඒ වගේම වත්මන් ආණ්ඩුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නැවතත් සැරසෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන යහපාලන රජය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඊට පෙර පැවති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් තමයි මෙම ව්‍යාපෘතියට අවසර ලබාදී තිබූ බව. ඒ නිසා අපිට පැහැදිලි වන කරුණක් තමයි යහපාලනයට පෙර සිටිය අය මෙන්ම යහපාලන රජයත් මෙයට වගකිව යුතුයි. ඒ ආණ්ඩු දෙකේම සිටින උදවිය තමයි දැන් මේක නැවත ක්‍රියාත්මක කරන්න යන්නේ. නමුත් කිසිවෙකු මේ සිදුවන අසාධාරණයට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. මේ ව්‍යපෘතිය නිසා දේශිය කර්මාන්තකරුවා ණය වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරනවට අපි විරුද්ධයි.

පසුගිය රජයත් කෝටි සිය ගාණක් නාස්ති කළා

ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරැණාරත්න:

කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථකයි. කිරි දෙනුන් ආනයනය කිරීමේදී නිරෝධායනයට ලක්කරන්නේ නැහැ. මේ සතුන් ආනයනයට අදාළ විගණන වාර්තා මගින්ද ආනයනයට අදාළ ප්‍රශ්න සහගත කරුණු පෙන්වාදී තිබුණා. මේ දෙනුන්ට අදාළ එන්නත් වාර්තා කැඳවීමටද නිර්දේශ කර තිබුණා. මේ සතුන්ට අදාළව ලබාගත් සාම්පල් එංගලන්තයේ පර්යේෂණාගාරවලදී රෝග සහිත බව වාර්තා කර තිබුණා. ආණ්ඩුව ඒ කිසිවක් සැලකිල්ලට ලක්කළේ නැහැ. ආණ්ඩුව ඍජුව රුපියල් ලක්ෂ 79,000ක් මේ ආනයන මගින් රටට අහිමි කළා. 2018 මැයි මාසයේදී එජාප ආණ්ඩුව ඩො.මි. 1.03ක්, ඒ කියන්නේ රු.කෝටි 131 කට වැඩි මුදලක් ඕස්ට්‍රේලියාවේ බෙලාඩ් සමාගමට ගෙව්වා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම මුදල් ගෙවන ලද්දේ අයවැයෙන් මුදල් වෙන් නොකර තිබියෙදීයි. මේ මුදල්වලට අනුව කිසිදු සතෙක් ලංකාවට ආනයනය කෙරැණේ නැහැ. එවකට හැරිසන් අමාත්‍යවරයාගෙ කාලයේ විශාල වංචාවක් සිදුවී තිබෙනවා. අපි මේ පිළිබඳව ජාතික විගණන පනත යටතේ පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. නමුත් තවමත් ප්‍රතිචාරයක් නැහැ. දැන් වත්මන් ආණ්ඩුවත් මේ ව්‍යාපෘතිය කර ගසාගෙන යන බව පේනවා. මේ ඕස්ට්‍රේලියානු බෙලාඩ් සමාගම අපට බාල බඩු දී තිබෙනවා. ආනයනය කිරීමෙන් රටටත් මිලදී ගැනීමෙන් ගොවීන්ටත් විශාල පාඩු සිදුවී තිබෙනවා. දැනගන්නට ඇති අන්දමට මේ කිරි දෙනක් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක පමණයි. ඒ කියන්නේ රුපියල්වලින් 1,21,000ක් පමණ මුදලක්. නමුත් ආණ්ඩුව මේ කිරි දෙනුන් ලක්ෂ 5,20,000ක පමණ අගයක් ලබාදී සමාගමට ගෙවා තිබෙනවා.

ගොවියන්ට එක් කිරි ගවයෙක් රැපියල් ලක්ෂ දෙකට දීලා රැපියල් ලක්ෂ 03ක සහනාධාරයක් ආණ්ඩුවෙන් ගෙවන බව කිව්වා. මෙමගින්ද විශාල වංචාවක් සිදුවී ඇති බව පේනවා. මේ අමතර මුදල් මැති ඇමතිවරුන්ට කීය ගානේ ලැබුණද කියලා හොයන්න ඕනෑ. මේ විදියට වංචා සිදුවෙලා තිබෙන බව දැන දැනත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවත් නැවත වරක් එම සමාගමෙන් තම එම නිලධාරීන්ම සම්බන්ධ කරගෙන කිරි ගවයන් 2500ක් ගෙන්වන්න කටයුතු කරමින් ඉන්නවා. මේක බරපතල කාරණයක්. මේ කිරි ගවයන් මිලදී ගත්ත ගොවියන්ට විශාල පාඩුවක් සිදුවෙලා තිබෙනවා. ඔවුන්ට කිසිදු වන්දි මුදලක් නැහැ. මේ ගවයන් රක්ෂණය කරලා නැහැ. ඒ නිසා ගොවියන්ට කිසිදු වන්දි මුදලක් ලැබී නැහැ. ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දීලා. අපේ රටට ගැලපෙන නිෂ්පාදන ප්‍රතිපත්තියකට යා යුතුයි. කිරි නිෂ්පාදනය අදාළ තීන්දු ගැනීමේදී සහය ලබාගැනීමට අපේ රටේ විද්‍යාඥයන්, පශු වෛද්‍යවරැන් සිටිනවා. නමුත් ඕස්ට්‍රේලියාව අපේ රටේ කිරි වෙළෙඳපොළ නැති කර ගැනීමට කැමති නැහැ. ඒ නිසා ඔවුන් අපේ රටේ කිරි කර්මාන්තය විනාශ කිරීමට සූදානම් වනවාදැයි සැක උපදිනවා. අපේ රට කිරිවලින් ස්වයංපෝෂණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව නෙමෙයි. දැන දැනම ආණ්ඩු තුනක් මඟින් මෙම අසාර්ථක ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම තුළ විශාල වංචාවක් සිදුවන බව පේනවා. මෙම තත්ත්වය අපි දැඩිව හෙළා දකිනවා.

 කිරි ලීටර් 20ක් ගන්න පුළුවන් කතාව බොරුවක්

සමස්ත ලංකා සත්ව උපදේශක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.ජේ.එම්. බණ්ඩාර:

වත්මන් රජය කරන්නට යන නැවත වරක් පිටරටින් කිරි ගවයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ගැන කථාබහක් මේ වනවිට සමාජයේ මතු වී තිබෙනවා. සංගමයක් ලෙස අපි මේ කටයුත්තට විරුද්ධයි. රට තුළ හොඳ අභිජනන ක්‍රියාත්මක කරලා හොඳ කිරි ගවයන් සකසා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අනෙක් එක රුපියල් ලක්ෂ 4කට 5කට කිරි ගවයෙක් ගෙනත් රැපියල් ලක්ෂ දෙකකට ව්‍යාපාරිකයන්ට දෙනවා. ඇත්තටම සිදුකළ යුතු වන්නේ පිටරට යන මුදල් ටික අයෝජනය කරලා දේශීය කර්මාන්ත දියුණු කිරීම. අනෙක් කාරණය තමය ලක්ෂ 4ක් 5ක් වියදම් කරන සතුන්ගෙන් කිරි ලීටර 18,20ක් ගන්න පුළුවන් කිව්වට බොහෝ සතුන්ගෙන් ඒ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ.

මහජන මුදල් ගසාකෑමට පක්ෂ බේදයකින් තොරව පැවති ආණ්ඩුවල බලධරයන් ක්‍රියාත්මක වී ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සහමුලින්ම රටට අසාර්ථක එකක් බව දැනගෙනමය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ රුපියල් බිලියන ගණනක් වැයකොට මේ රටට නැවත වරක් කිරි හරකුන් ගෙන්වීමට සූදානම් වීමය. මේ ව්‍යාපෘතිය නැවත වරක් රට තුළ ක්‍රියාත්මක උවහොත් අපට කීමට ඇත්තේ රට ගොනුන්ගේ කිරි වලට අපේ ගොනුන් පරදී යන්නය. 

සටහන: හසිත් අංජන

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02