
කංසා නීතිගත කිරීම පිළිබඳ සමාජ සංවාද විද්වත් කතිකාවක් දක්වා වර්ධනය වෙමින් තිබේ. ආසන්න කාලය තුළ කංසා අපනයනය පිළිබඳ ආර්ථිකමය ප්‍රවේශයකින් බලන බවක් ද පෙනී යයි. මේ සියල්ල කැටිකොට යම් සංවාදයක් ගොඩනැගීමට අපි අපේක්ෂා කළෙමු. ඒ අනුව හිටිහැටියේ රටේ ලොකු තැන්වල කතාවෙන කංසා කතාවේ අක්මුල් සොයා බැලීමට අපි උත්සාහ කළෙමු.
කංසා සම්බන්ධව ආසන්නතම පුපුරා යෑමට හේතුවී ඇත්තේ බෙංගමුවේ නාලක හිමියෝය. මීට පෙර සමාජ සංවාදයක් වූ බව සැබෑවකි. එහෙත් අනපේක්ෂිත මොහොතක උන්වහන්සේ සිදුකළ ප්‍රකාශයක් කංසා පිළිබඳ දේශපාලකයන්ගේ අවධාන යොමුවීමට හේතුවක්ව තිබේ. ඒ දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අමාත්‍යාංශයේ වැඩ බාරගත් අවස්ථාවයි. රජයේ ඉහළ නිලතල දරන්නන් මෙන්ම නිලධාරීන් රැසක් ද මෙහි පැමිණ සිටියහ. බෙංගමුවේ නාලක හිමියන්ට උත්සව සභාවේ කෙටි අනුශාසනයකට ඉඩකඩ ලැබුණි. කංසා කතාව මෙහිදී මතුව ආවේය.
“කංසා කියන්නෙ ඖෂධයක්. ඒ කංසා වගා කිරීමට අපේ රට බොහොම හොඳයි. ඒ හැදෙන කංසා බොහොම ඉහළ ප්‍රමිතියකින් තියෙනවා අපේ රටේ. හොරෙන් වගා කරන ඒවා පොලිසියෙන් අල්ලලා ගිනි තබනවා, අක්කර 10, 15. ඒක බරපතළ අපරාධයක්" යැයි සිය අනුශාසනාවේදී පැවසූ උන්වහන්සේ ගිනි තබන කංසා එලෙස නොකර රාජසන්තක කර ආයුර්වේද දෙපාර්තමේන්තුවට බාරගැනීමෙන් ඒවාට වටිනාකමක් ලබාදිය හැකි බව පැවසූහ. එසේම &කංසා වගාවත් ලියාපදිංචි කරල බලපත්‍ර ඇතිව එහෙම කරන්න වැඩපිළිවෙළක් කරනවා නම් ඒක හරි වටිනවා යනුවෙන් ද බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
මෙම අවස්ථාවට තවත් විශේෂිත පුද්ගලයෙක් සහභාගි වී සිටියේය. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. පසුව ඔහු කංසා කතිකාවේ කොටස්කරුවෙක් විය.
“බොහොම ශක්තිමත් ලෙස අධිරාජ්‍යවාදීන්ට විරැද්ධව හැප්පෙන්නට මේ ගංජා පාවිච්චි කිරීම කරණ කොටගෙන බ්‍රිතාන්‍යයන් විසින් ගංජා සම්පූර්ණයෙන් ලංකාවේ තහනම් කළ බව තමයි ඉතිහාසයේ කියන්නේ. ඒ නිසා විෂ සහිතව කේරළ ගංජා ගෙනල්ලා තමයි පාවිච්චි කරන අයත් පාවිච්චි කරන්නේ. ගංජා ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන නෑ. සුප්‍රසිද්ධ හිමි නමකුත් මේ ගැන කතා කරලා තියෙනවා. අපි අලුතින් හිතිය යුතුයි.”
කංසා අපනයන කතාව ද රටට තදින් දැනෙන්නට පටන් ගත්තේ ඔහුගේ ප්‍රකාශ හේතුවෙනි. අපනයන වගාවක් ලෙස කංසා වගා කළ යුතු බව කීවේ රටේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාය. කංසා වගාව සඳහා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල සහාය ලබාගත හැකි බවත්, ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ මෙම වගාව සංවර්ධනය කළ යුතු බවත් හෙතෙම පැහැදිලි කොට තිබේ.
කංසා යොදාගෙන ඖෂධ නිපදවා අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් ඉපයීමට හැකි බවට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු නිබන්ධනයක් කර ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. එම ආචාර්යවරයා සැබැවින්ම කංසා සම්බන්ධ නූතන සමාජ කතිකාවේ පුරෝගාමියාය.
ඒ අනුව “ත්‍රෙලෝක්‍යවිජයා” නම් පරීක්ෂණ ග්‍රන්ථය රචනා කළ ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා මෙම සංවාදට අපි එකතු කර ගතිමු.
“වර්තමානයේ ලංකාවේදී කංසා භාවිත කරන්නේ කංසා දුම පානය කරන අය, කංසාවලින් ඖෂධ නිෂ්පාදනය කරන අය, එම ඖෂධ භාවිත කරන අය සහ කංසා වගා කරන අය පමණයි. මේ කොටස්කරැවන් හතර පස්දෙනාට තමයි කංසා නීතිගත කරන්න ඕනෑ කියලා පළමුවෙන්ම හිතෙන්න ඕනෑ. ඒ අය යම් ප්‍රමාණයට සටනක් කරනවා. ඒ අතරින් කැපීපෙනෙන්නේ වෙද මහත්වරැවත් වගාකරුවන්වත් බෙහෙත් පාවිච්චි කරන අයවත් නෙවෙයි. කංසා දුම පානය කරන කරන කොල්ලො ටික. මේ කොල්ලො ටික තමා මේ අරගලය කළේ. ඒ කොල්ලො ටික ගාවට මම ඇවිල්ලා වැටුණා පොතත් අරගෙන. ඊට පස්සේ කංසා ගැන පිරිස ඉගෙන ගත්තා. ඒ අතර පිරිසක් මේකට විරැද්ධව ප්‍රකාශ කරන්නත් පටන් ගත්තා. මෙතැන හොඳ සංවාදයක් නිර්මාණය වුණා. ඊට පස්සේ රජයෙන් ගංජා වගා කරනවා කියලා කිව්වා. දැන් අපි කිව්ව දේ රජය කරන්න ලෑස්ති වෙනවා. මේක තමා අලුත්ම තත්ත්වය."
මේ සටනේ පුරෝගාමී චරිතය ලෙස ඔහු පෙන්වා දෙන්නේ කංසා සම්බන්ධව තීරණයක් ගැනීමට සුදුසුම නායකයා බිහිවී ඇති බවය. එසේම විද්වත් සමාජය තවදුරටත් මෙම සංවාදයට සම්බන්ධ විය යුතු බව වැලිඅංග මහතා පෙන්වා දෙයි. ලෝකය කංසා සම්බන්ධව පරීක්ෂණ අතින් ඉදිරියට ගොස් ඇති බවත් අප පසුගාමී වී ඇති බවත් ඔහුගේ පැහැදිලි කිරීමය. අප වසන්ත වැලිඅංග මහතා මතු කළ විශේෂ කරැණක් ළඟ නතර වීමු. ඒ කංසා සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන්නට යන පරීක්ෂණයේ කතාවය.
අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙණිය මහතා ඇමතුවෙමු.
“කංසා මත්ද්‍රව්‍යයක් විදිහට භාවිත වෙනවා වගේම දේශීය සහ බටහිර ඖෂධයක් ලෙසත් භාවිත වෙනවා. එම නිසා කංසා සම්බන්ධව ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට අපි කමිටුවක් පත් කළා. එහි ඉන්නවා මනෝ වෛද්‍යවරු. ඒ වගේම දේශීය වෛද්‍යවරුන්ටත් ආරාධනා කරලා තියෙනවා. තවත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශ්ව ඉන්නවා. ඔවුන් අතර සංවාදයක් ඇති කරලා නීතිමය පැත්තත් බලලා වාර්තාවක් සකස් කරන්න කියලා අපි කියලා තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා."
මේ සංවාදය අනුව යමින් අපි දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද ඇමතුවෙමු.
“අපේ රටේ දේශීය ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් කංසා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. පාරම්පරික වෙදකමෙත් ආයුර්වේදයෙත් ඖෂධක් ලෙස කංසා භාවිතයට ගන්නවා. දුම පානය කරන ආකාරයට නෙවෙයි මෙය සිදුවෙන්නේ. ඊට අමතරව බටහිර යුරෝපයේ, කැනඩාවේ, ඊශ්‍රාලයේ ඩොලර් බිලියන හයකට ආසන්න ඉල්ලුමක් කංසා වෙනුවෙන් තියෙනවා. ලෝකයේ ඉදිරි වර්ෂ කිහිපය තුළ මේ විශාල වෙළෙඳපොළ ඉල්ලුම තියෙනවා. ඒ නිසා අපනයන කර්මාන්තයක් ලෙස කංසා වගා කිරීමට ඉඩ ලබා දිය හැකිද යන්න පිළිබඳ නීතිමය සීමාවන් අධ්‍යයනය කරමින් ඉන්නවා."
ඒ අනුව මේ කංසා කතාවේ ආරම්හය පමණක් බව පැහැදිලිය. හෙට මෙම සංවාදය තවත් පුළුල් වනු නොඅනුමානය. අප ඊට පූර්විකාවක් සැපයුවා පමණි.
චමිඳු නිසල් ද සිල්වා