2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

කොවිඩ් 19 වළක්වන කළු - තේ ඖෂධය!

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

කළු වළාවන් තුළිනුත් රීදී රේඛා මතුවන්නේ යැයි පැරැණි ධනාත්මක කතාවක් තිබේ. කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රටේ පර්  යේෂණ සහ නවෝත්පාදන සම්බන්ධයෙන් මතුව ආ උද්‍යෝගය සහ ප්‍රගතිය නැවත තහවුරු කරන්නේ මේ කතාව ඇත්තක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව කොවිඩ් 19ට සාර්ථකව විසඳුම් සෙවූ මූලික රටවල් 10 අතරට එන්නට ලංකාවට හැකිව තිබේ. මේ අතර ලංකාව කොවිඩ් 19 සම්බන්ධව සිදුකළ පර්යේෂණ අතින්ද ඉහළ ප්‍රගතියක් ලබා ඇත. මේ ගැන අප හා කීවේ කොවිඩ් 19 පර්යේෂණ  සඳහා මහා දායකත්වයක් සැපයූ අපේ ප්‍රමුඛ පෙළේ වෛරස විද්‍යාඥයන් කිහිපදෙනා අතර නිහඬ සේවයක යෙදෙන වෛරස විද්‍යාඥ ක්‍රිෂාන් ජූඩ් ජයමහයි. ඔහු පෙන්වා දෙන්නේ තමන් ඇතුළු කණ්ඩායම සිදුකරන අතිශය වෙහෙසකර අඛණ්ඩ පීසීආර් පරීක්ෂණ මෙහෙයුම අතරම ශ්‍රී ලංකා වෛද්‍ය පර්  යේෂණායතනය කොවිඩ් 19 සම්බන්ධ අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ උදෙසාද අතහිත දීමටද කාලය වෙන්කරගත් බවයි. ඔවුන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුවන ලංකාවේ කළු-තේ සම්බන්ධ අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණය දැන් සාර්ථක මට්ටමකට එළැඹ තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය කොවිඩ් 19 සඳහා සිදුකෙරෙන පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් ලංකාව තුළ විශ්වාසය දිනාගත් ප්‍රමුඛයාය. එය එසේ වන්නට වෛද්‍ය ජූඩ් ජයමහ ඇතුළු වෛරස අංශයේ සියල්ලන්ගේම අඛණ්ඩ කැපවීම හේතුවිය. ඇත්තෙන්ම යුද්ධයක යෙදෙන භට කණ්ඩායමක් මෙන් පසුගිය දින 180කට වැඩි කාලයක් අඛණ්ඩ මෙහෙයුමක යෙදුනු මේ කාර්ය මණ්ඩලය සිය පෞද්ගලික ජීවිතයේ කරුණු කාරණාද රට වෙනුවෙන් අමතක කර දමා කැපවී සිටින බව ඔවුනට උපහාර වශයෙන් ඉතිහාස ගතවන්නට සටහන් කළ යුතුය. මේ වනවිට ඔවුන් අඛණ්ඩ සේවා මුරයන් යටතේ ඉරිදා දිනයන් 26ක්ද ඇතුළුව සේවයේ යෙදෙමින් පීසීආර් 57000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර හමාරය. රටේ කොවිඩ් 19 මැඬපැවැත්වීම සඳහා ඒ කාර්යක්ෂම නිරවද්‍ය ප්‍රතිඵලවලින් ලද පිහිට අතිමහත්ය. ඒ අතරම ඔවුහු තවත් විවිධ අංශවලින් කොවිඩ් 19 පාලනයට දායකව සිටිති. කළු-තේ සම්බන්ධ පර්  යේෂණයද ඉන් එකකි.

වෛද්‍ය පර් යේෂණායතනයේ වෛරස රෝග පර්යේෂණ අංශය ලක්ෂ 600ක පමණ පිට රටට කාන්දුවන්නට ගිය මුදලක් මේ කොරෝනා කාලේ මෙරට ඉතිරි කර දුන් බව බොහෝදෙනා දන්නේ නැත. මේ වෛරස පර්යේෂණවලදී නිබඳවම අත්‍යවශ්‍ය වන වෛරස ප්‍රවාහන මාධ්‍යයන් (viral transport medium) අන්තර්ජාතික ප්‍රමිතියට අනුව තමන්ම නිපදවා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. පීසීආර් සඳහා නියැදි ලබාගැනීමට අවශ්‍ය  සාම්පල කූර හෙවත් Swab Stick පවා; එය තමන්ට අයත් රාජකාරියක් නොවූවත් රට ගැන සිතා තමන්ම නිපදවා භාවිතයට ගත්හ. මේ නිපැයුම්වලදී ලංකාවේ නැනෝ තාක්ෂණ විද්‍යා ආයතනයද ඔවුන් හා එක්ව කටයුතු කර තිබුණි. තමන්ගේ වෛරස පර්යේෂණ වලදී ඔවුන් තහවුරු කරගත් තවත් වැදගත් කරුණක් වූයේ ලංකාව තුළින් වාර්තා වන කොවිඩ් 19ට හේතුවන SARS-CoV- 2 වෛරස මාදිලිය තවමත් දැඩිලෙස විකෘතිවීම්වලට භාජනය වී නැති බවයි.

ඔවුන් දැන් ක්‍රියාත්මකව ඇත්තේ මේ වනවිට ලෝකයේ භාවිත වන වඩාත් කාර්යක්ෂම රෝග නීර්න ක්‍රමවේදයක් වන ප්‍රතිදේහ පරීක්ෂාව මේ රට තුළ ඇරඹීමටය. මේ වනවිට ප්‍රතිදේහ මගින් ඉක්මනින් රෝගය පැතිරීම හඳුනාගත හැකි පර්යේෂණ කට්ටල ලබාගැනීම සඳහා මූලික ඇගැයුම් වාර්තා සකසා ඉදිරිපත්කර හමාරය. ලෝකය පුරා තැන තැන වාර්තා වන දෙවැනි වතාවටත් රෝගය වැළඳීමේ අවදානම කලින් හඳුනා ගන්නටත්, දැනට වෛරස සහිත යැයි සැකසහිතව රෝහල්ගතව ඇති පිරිසගේ සැබෑ තත්ත්වය වඩාත් නිවැරදිව හඳුනාගැනීමටත් මේ ප්‍රතිදේහ පරීක්ෂාව මගින් පහසුය. තමන්ට අවශ්‍ය පර්යේෂණ කට්ටල ලද වහාම මේ පරීක්ෂණද ඇරුඹීමට වෛද්‍ය පර්  යේෂණායතනයේ වෛරස රෝග පර්යේෂණ අංශය සූදානම්ව සිටිති.

අප කලින්ම කී පරිදි වෛද්‍ය පර්  යේෂණායතනය මගින් සම්බන්ධීකරණය කරන තවත් ඵලදායී පර්යේෂණයක් වන්නේ ශ්‍රී ලංකා කළු-තේ සම්බන්ධ පරීක්ෂණයයි. මේ වනවිට එය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ. හොංකොං සරසවියේ කීර්තිමත් ශ්‍රී ලාංකේය මහාචාර්ය වෛරස විද්‍යාඥ මලික් පිරිස් මෙන්ම ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ  ඒ අතර සම්බන්ධීකරණයට දායක වන වෛද්‍ය ජූඩ් ජයමහ ඇතුළු පර්  යේෂණ කණ්ඩායම කළු-තේ පර්  යේෂණයේ ප්‍රමුඛතාව ගෙන ක්‍රියා කරති.

කළු-තේ පිළිබඳ කතාබහ කරළියට එන්නේ කොවිඩ් 19 භීතිකාව දැඩිව පැතිර යන මාර්තු මස මුල් කාලයේදීමය. ඒ කාලයේ චීන පර්  යේෂකයන් පිරිසක් අනාවරණය කළේ චීනයේ ඇති තේ පානය කිරීමේ පුරුද්ද ඔවුන් බහුතරයකට වෛරස රෝගයෙන් ආරක්ෂා වීමට වෙස් වලාගත් ආධාරයක් වී ඇති බවයි. මේ අනුව පර්යේෂණ රැසක් ශ්‍රී ලංකා තේ පර්  යේෂණායතනය ඇරඹූ අතර එයට සමගාමීව හොංකොං සරසවියේද පුළුල් පර්  යේෂණ මාලාවක් ඇරැඹිණි. හොංකොං විද්වතුන් කළු තේ වල ඇති සංඝටක ඇතුළු විවිධ සංයෝග 64ක ව්‍යූහාත්මක වෙනස්කම් සිදුකරමින් ඒවා SARS-CoV- 2 වෛරසයට එරෙහිව ජෛව තොරතුරු ප්‍රතිසැකසීම මගින් සන්නද්ධ කිරිමට කටයුතු කළහ. වෛද්‍ය පර්යේෂණායතනය තමන් සතු ලංකාවේ වෛරස මාදිලිය පිළිබඳ නවතම තොරතුරු ලබාදෙමින් මේ ආයතන අතර සම්බන්ධීකරණයටද අත ගැසුවේය. ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය තමන්ගේම සොයා බැලීම් ඇරඹුවේය. හොංකොං සරසවියේ පර්යේෂණ මගින් මෙන්ම ශ්‍රී ලංකා තේ පර්   යේෂණායතනයේ සොයාගැනීම් මේ වනවිට තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා  කළු- තේ තුළ බහුලව හමුවන විශේෂ ශාක රසායන  සංඝටක මගින් වෛරස රෝගවලට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කරන බවයි. මේ බව වෙනත් රටවල සිදුකරන ලද තවත් ස්වාධීන පර්යේෂණ රැසක්ද තහවුරු කර තිබේ. වෛරසයට බෙහෙත් සොයනවාට වඩා වෛරසයට ගොදුරුවීම වළක්වන මේ ස්වභාවික වෛරස ප්‍රතිරෝධී ඖෂධය ගැන කරුණු අනාවරණය කර ගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ලංකා තේ සඳහා ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. කළු වළා තුළත් රිදී රේඛා සැඟව ඇතැයි අප මුලින් කීවේ එහෙයිනි.

කළු - තේ තුළ තීයාෆ්ලැවීන් - “Theaflavins” ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන ජීවමය ගුණයෙන් අනූන ශාකමය - රසායනය අනෙක් තේ වලට වඩා බහුලය. මේ කියන “Theaflavins”-  ප්‍රතිඔක්සිකාරක ගුණ දරන පොලිෆිනොලීක ඇල්කොලයිඩ සංයෝගයකි. මෙය සතු විශේෂ ගුණයක් ලෙස පර්  යේෂණ මගින් තහවුරු කර ඇත්තේ SARS-CoV- 2 වෛරස එන්සයිම නිශේධනයට ඇති ඉහළ හැකියාවයි. මේ හේතුව නිසා වෛරස සිරුරු ගත වී ක්‍රියාත්මක වීම වළක්වමින්, ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරදෙමින් එය වෛරස එරෙහි ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම තවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මේ සංයෝගය රෝගකාරක රැඳී පවතින පද්ධතිවලින් (ස්වසන) වෛරස සෝදා හැරීමට දායක වන බවය. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, නිදන්ගත බ්‍රොන්කයිටිස් ඇතුළු ස්වසන රෝගවලින් සහනය ගෙන දීමට ක්‍රියාත්මක වන බවය. මේ මගින් පෙනහළු ඇතුළු ස්වසන පද්ධතිය ඉහිල් කර වායූ මාර්ග පිරිසිදු කර හුස්ම ගැනීම පහසු කරවන බවය. මෙම සංයෝගය වෛරස බිත්ති මත බැඳී ඒවා සිරුරේ සෛල හා සම්බන්ධවීම වළක්වන බවය. කොටින්ම කළු-තේ; අපේ ස්වසන මාර්ගය සෝදා සුද්ධ පවිත්‍ර කර දෙන්නට සමත් බවය.

ඒ බව සනාථ කරන පෙර අධ්‍යයනයන්වල තොරතුරු ගැන අපට කීවේ තේ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන් කේ. හෙට්ටිආරච්චිය. ඔහුට අනුව මින් පෙර සිදුකර ඇති අධ්‍යයනයන්හි තේවල අඩංගු අනෙකුත් රසායනික ද්‍රව්‍යයන් වන කැටෙකින්, මෙතිල්සැන්තීන් (කැෆේන්, තියාෆිලින් සහ තියෝබ්‍රොමින්) ප්‍රතිවෛරස් ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කර ඇත. මෙම අධ්‍යයනයන් තුළින් තේ වල අඩංගු සංයෝගවලට ඉන්ෆ්ලුවන්සා වෛරස් වර්ග කිහිපයකට එරෙහිව පුළුල් පරාසයක ප්‍රතිවෛරස් ක්‍රියාකාරීත්වයක් ඇති බව පෙන්නුම් කර ඇත. තේවල අඩංගු සංයෝගවල ප්‍රතිවෛරස් ක්‍රියාකාරීත්වයන්ගේ සායනික කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයන තවදුරටත් සිදුකරමින් පවතී.

තේවල සෞඛ්‍යමය ගුණාංග සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ප්‍රධාන රසායනික සංයෝග අතරට කැටෙකින්, ඇල්කලොයිඩ (කැෆේන්, තියෝබ්‍රෝමීන් සහ තියාෆ්ලැවීන්) ඇමයිනෝ අම්ල, වාෂ්පශීලී සංයෝග, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, විටමින් වර්ග, අකාබනික මූලද්‍රව්‍ය සහ කාබනික අම්ලද ඇතුළත් වේ. බොහෝ වසංගත රෝග අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ නිතිපතා තේ පානය කිරීම, කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම හා අධි රුධිර පීඩනය පාලනය සමඟ සම්බන්ධතාවයක් දක්වන බවත් පිළිකා සහ හෘද රෝග අවම වීමටද දායක වන බවත්ය. කළු තේ වල දක්නට ලැබෙන ප්‍රධාන රසායනික සංඝටකය වන්නේ පොලිෆීනෝල් ය. විශේෂයෙන් ෆ්ලේවනොයිඩ කාණ්ඩයේ පොලීෆිනෝල සිරුර තුළ ප්‍රතිඔක්සිකාරක ගුණයන්ට, රුධිර නාලිකා සිහින් වීමේ රෝග තත්ත්වයන් අඩු කිරීමට, වේදනා සමන තත්ත්වයන්ට, සෛල විකෘතිවීම වළකින තත්ත්වයන්ට සහ ප්‍රතිවෛරස ක්‍රියාකාරකම් සඳහා දායක වන බව වාර්තා වී ඇත.

තියාෆ්ලැවීන්, ඇදුම, නිදන්ගත බ්රොන්කයිටිස්, පෙනහළුවල වායු කෝෂවලට හානිවීම හෝ විශාලවීමේ තත්ත්වය සහ අනෙකුත් පෙනහළු රෝග සඳහා ප්‍රතිකාර ලෙස නිර්දේශිත ඔසුවකි. එමගින් පෙනහළුවල ශ්වාසනාලිකා ලිහිල් කර හුස්ම ගැනීම පහසු කරවයි. තේවල ඇති කැටෙකින් (ECG සහ EGCG) මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයන්ට (AIDS) විරැද්ධව ක්‍රියාකරන බව වාර්තා වී තිබේ. කළු තේ වල ඇති රෝග වැළැක්වීම මෙන්ම රෝග නිවාරණය කිරීමේ හැකියාව සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි සංඝටකයක් ලෙස පොලීෆීනෝල හඳුනාගෙන ඇති බව පේටන්ට් බලපත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඉහත සඳහන් ක්‍රියාකාරී සංරචක සංයෝගවලට හීම්-ඇග්ලුටීනින් සහ නියුරාමිනිඩේස්වල ක්‍රියාකාරීත්වය අක්‍රිය කළ ඇකි අතර එමගින් ඉන්ෆ්ලුවෙන්සා වෛරස සෛලවලට ඇතුළුවීම වළක්වා ගැනීම තුළින් ආසාදනය අවම කර ගත හැක.

මෙලෙස වෛරස් ආසාදන නිසා ඇතිවන ඉන්ෆ්ලුවෙන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීමට තේවලට හැකියාවක් ඇති බව බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර ඇත. තේ කැටෙකින්වලට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයන් මතුපිට ඇති නෙරුම් බඳු ශූලයන්ට බැඳී එම වෛරසයන් ධාරක සෛල මතුපිටට අධි‍ශෝෂණය වීම වැළැක්වීමේ හැකියාවක් ද ඇත.

ජපානයේ සමහර දිස්ත්‍රික්කයන් හි ඉන්ෆ්ලුවෙන්සා වැළැක්වීමේ පියවරක් ලෙස හරිත තේ නිස්සාරණයන්ගෙන් උගුර සේදීම නිර්දේශ කර තිබේ. විද්‍යාත්මක අධ්‍යයනවලින් සනාථ කරන ලද සාම්ප්‍රදායික දැනුම තුළද කළු තේ පානයෙන් මේ හා සමාන ප්‍රතිඵල ලැබෙන බව පෙන්වා දී ඇත. තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ L-තියනීන් මිනිසුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරන බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. 

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ, කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා කෙනෙකුගේ සිරුර තුළ ඇති ස්වභාවික ප්‍රතිශක්තිකරණ හැකියාව අඛණ්ඩව ඉහළ නැංවීමට හෝ ඒ සඳහා මූලිකත්වය ගැනීමට දෛනික කළු තේ පරිභෝජනය ඉතා හොඳින් ඉවල් වන බවයි. තේ පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ තොරතුරු විශ්ලේෂණය හා සමාලෝචනය මගින් කළු තේ වල චිකිත්සක බලපෑම හා ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ බලපෑම අවම කිරීමට විශේෂයෙන් කළු තේ වල ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇති බව උපකල්පනය කළ හැක. කළු තේ වල ඇති තියාෆ්ලේවින් ක්ෂුද්‍ර ජීවී ආසාදන වළක්වාලීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට ශරීරයට සහාය වීම සිදුකරනු ලබයි. මේ නිසාම SARS-COV-2 වෛරසයෙහි ක්‍රියාකාරීත්වය නිශේධනය සඳහා තියාෆ්ලෙවින්වල ඇති හැකියාව නිසා කොවිඩ් 19 වසංගතයට චිකිත්සක ප්‍රතිකාර සෙවීමේදී තියාෆ්ලෙවින් කෙරෙහි ශුභදායී බලාපොරොත්තු තබාගත හැකි බව පෙනේ.

දිනකට කළු-තේ කෝප්ප 3-4ක් පානය, ශරිරියට හානියක් නැතිව කොවිඩ් 19න් ගැලවී සිටිය හැකි අහිංසක ගැළවිජ්ජාවක් ලෙස මේ පර් යේෂණ මගින් අපට ඉඟිකර හමාරය. එසේ වූවද තේ බිවු පමණින් සියල්ල යහපත් වන්නේ නැති බව සිහියේ තබා ගතයුතුය. ඒ සමඟ අපට හඳුන්වා දී ඇති සමාජ දුරස්ථ භාවය, අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම ඇතුළු පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා අත් නොහැර පිළිපැදිය යුතුමය. ඉතින් මේ පර්   යේෂණවලට දායක වූ මහාචාර්ය මලික් පිරිස්, තේ පර්  යේෂණායතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක ආචාර්ය එල්. සමන් කේ. හෙට්ටිආරච්චි සමඟ වෛද්‍ය ජූඩ් ජයමහ ඇතුළු පර්  යේෂකයන් කණ්ඩායම අපට කියන්නේ “අපි තේ බොමු - හැබැයි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ පුරැදු  අත් නොහැර පිළිපදිමු!” කියාය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02