2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

බැංකු නිලධාරිනිය බිලිගත් කුඩු බිව් රියැදුරා!

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

අලුතින් සංවර්ධනය කළ මෝදර මට්ටක්කුලිය මැදපාර එක් පසෙකට මංතීරු දෙක බැගින් මංතීරු හතරකි. වාහන තදබදයක් නැති සෑම මොහොතකම වාහන ගමන් ගන්නේ අධික වේගයෙනි. පසුගිය දෙවැනිදා පෙරවරුවේ මෝදර සිට වත්තල දෙසට වන මාර්ගයේ වම්පස මංතීරුවේ වේගයෙන් ධාවනය වූ ලොරි රථයකි. තරමක වැහිබර ගතියක් තිබූ මොහොතේ අධික වේගයෙන් පැමිණි ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් දකුණු පසට වේගෙන් ඇදී ගොස් මාර්ගය මධ්‍යයේ පිහිටි කොන්ක්‍රීට් තීරැව මතින් පැන විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක් ගැටී නතර විය. එක් ත්‍රිරෝද රථයක් පොඩි පට්ටම් වී ගොස් මගීන් දෙදෙනකු විසිවී වැටෙන අයුරැද අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවක එතැනම මියගිය අතර එම කාන්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකාවකි. මියගිය රියදුරු සහ බැංකු නිලධාරිනිය යන දෙදෙනාම මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වූහ.

අදාළ අනතුර පටිගත වී තිබෙන සී.සී.ටී.වී. කැමරාවේ දර්ශනය අනුව මාර්ගයෙන් ඉවතට ගිය ලොරිය පළමු ත්‍රිරෝද රථයේ ගැටී නැවත දෙවැනි ත්‍රිරෝද රථයේ ගැටෙන බවද පෙනෙන්නට ඇත. එම අනතුරින් එහි රියදුරු මෙන්ම තවත් මගියකු තුවාල ලබා තිබිණ. මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලීසියේ රථවාහන අංශ නිලධාරීහු සමත්ව තිබිණ. දෙවැනියට අනතුරට පත් ත්‍රීරෝද රථයේ ගමන්ගත් අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මරණයට පත්ව තිබිණ.

මෙසේ අනතුරට පත්ව තිබුණේ හිස් තක්කාලි පෙට්ටි තොගයක් පටවාගෙන ගිය ලොරියකි. එහි රියදුරු වූයේ ගයාන් සංඛපාල නැමැති 28 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය විමර්ශනයට ලක්කළ මට්ටක්කුලිය පොලීසිය පවසන්නේ වැසි සහිත දිනයක අධික වේගයෙන් ලොරි රථය පැදවූ රියදුරා දැඩි අපරික්ෂාකාරී අයුරින් රිය ධාවනය කර ඇති බවත් එය අනතුරට හේතුවක් වී ඇති බවත්ය. වැසි දිනයන්හිදී රිය ධාවනය වැඩි සැලකිල්ලෙන් කළ යුතු බවත් නොඑසේනම් අනතුරකට හේතුවක් බවද පොලීසිය පවසයි.
මෙම සැකකාර රියදුරාට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බව අනාවරණය වී තිබෙන අතර ලොරි රථය ඔහුගේ පියාට අයත් එකක් බවද හෙළි වී ඇත. රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට වාහනයක් ධාවනය සඳහා ලබාදීමද දඬුවම් හිමිවන වරදකි.
අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් රියදුරැවරයා පිළිබඳව සැක සිතූ මට්ටක්කුලිය පොලීසියේ රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. කේ. ඩබ්ලිව්. එස්. මීගොඩ මහතා සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කළේය. විෂ මත්ද්‍රව්‍යයක් භාවිතයට ගෙන තිබේදැයි සැකයෙන් වෛද්‍ය පරික්ෂාවට ලක්කෙරුණු සැකකරුගේ ලේ හෝ මුත්‍රා පරික්ෂාවකින් අනතුරුව ලැබුණු වෛද්‍ය වාර්තාව උපුටා දක්වමින් පොලීසිය සඳහන් කරන්නේ සැකකරු හෙරොයින් හෝ වෙනත් විෂ මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බවය. ඒ තත්ත්වය අනතුර සිදුවන මොහොතේ නොවුණද ඊට දින කිහිපයකට පෙර එකක් ලෙසද හඳුනාගත හැකිය.

 අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් රියදුරුවරයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරික්ෂාවකි. එහිදී රියදුරාගේ ලේ පරික්ෂාවක් සිදු කිරීමටද නියම කෙරිණ. එහි අවසන් ප්‍රතිඵලය වී තිබුණේ රියදුරැවරයා අනතුරට ආසන්න දින හයක් ඇතුළතදී හෙරොයින් පානය කර ඇති බවට අනාවරණය වීමය.

බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා වන බැලුන් පිම්බීම පිළිබඳව බොහෝදෙනා දන්නා නමුත් ඉහත කී ලේ සහ මුත්‍රා පරික්ෂාව පිළිබඳ දන්නා බව අඩුය. මේ වනවිට බීමත් රියදුරන් හඳුනාගැනීමේ පරික්ෂාවට යොදාගන්නා බැලූනය නවීකරණය කොට ඇති බවද පොලීසිය පවසයි. මීට පෙර භාවිතයට ගත් බැලූනයට ඇල්කොලයිසර් බටයෙන් පුම්බා පරික්ෂණය සිදු කළද නව බැලූනය සාමාන්‍ය පරිදි සැකකරුට පිම්බීමට දී පසුව ඇල්කොලයිසර් බටය බැලූනයට සවිකොට වාතය ගැනීමෙන් පරික්ෂණය සිදුකරනු ලබයි.

මේ ආකාරයට ඉකුත් දිනක පොලිස් මූලස්ථානයේ රථවාහන අංශය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී රියදුරන් රාශියක් විෂ මත්ද්‍රව්‍ය පානය කොට රිය ධාවනය කරන බව හඳුනාගෙන ඇත. මේ අතර බස් රථ රියදුරන් ගණනාවක් සිට ඇතැයිද වාර්තා විය. මේ තත්ත්වය මගීන්ට මෙන්ම පදික ජනතාවටත් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් වූ බරපතළ ගැටලුවකි.

මේ නිසා රථවාහන පොලීසිය මෙහෙයවීමෙන් බීමත් රියදුරන් මෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටී.

2020 ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා රිය අනතුරු හේතුවෙන් 1418 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා වසංගතය හමුවේ රට හුදකලාව තිබියදී මෙතරම් මරණ සිදුවීම බරපතළය. කෙසේ වෙතත් රථවාහන පොලීසි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රිය ධාවනයේ යෙදෙන ලෙසය. එසේම නිදිමත විඩාව හෝ ශරීර අපහසුතාවක් හෝ වාහනයේ අඩුපාඩුවක් පවතීනම් රථවාහන ධාවනය කිරීමෙන් වැළකී සිටින ලෙසද පොලීසිය ඉල්ලා සිටිති.

පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් එම පොලීසියේ රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මීගොඩ මහතා සමඟ සැරයන් (49710) නිශ්ශංක මහතා වැඩිදුර විමර්ශන සිදුකරති.

 සමන්ත විල්තෙර