2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

20 ට කොක්ක අදින උතුරේ ලොක්කෝ

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

මෙරටට නිදහස හිමිවීමෙන් පසු නිර්මාණය වූ දෙමළ ජාතික ගැටලුවට තවමත් පැහැදිලි විසඳුමක් ලැබී නැත. සී.වී.ජේ චෙල්වනායගම්, ජී.ජී. පොන්නම්බලම්, ඒ. අමිර්තලිංගම්, ආර්. සම්පන්දන් වැනි දේශපාලන නායකයන් මෙයට දේශපාලනමය විසඳුමක් සෙවූ අතර ප්‍රභාකරන් සන්නද්ධ විසඳුමක් සෙවීය. තිස් වසරක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයකටද මුල් වූයේ මෙම ගැටලුවය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති වරයා  වූ සී. වී. විග්නේස්වරන් මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද දෙමළ ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට නොනවත්වා ක්‍රියා කරන බව පවසති. මේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ අදහස්ය.

ආණ්ඩුව කියන විදිහට සුළු ජාතීන්ට වැඩ කරන්න බෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේස්වරන්

තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයෙන් තරග කර ඔබ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔබේ පක්ෂයෙන් යාපනය හා වන්නි දිස්ත්‍රික්කවලින් අපේක්ෂකයන් 19 දෙනකු පමණ ඉදිරිපත් වුවත් ඔබට ජයගත හැකි වූයේ එක් ආසනයක් පමණයි. ඔබේ පක්ෂයට ජනතා පිළිගැනීමක් තවම ලැබී නැහැ නේද?

අපේ පක්ෂය ආරම්භ කරල මාස හයයි. කොරෝනාව නිසා මාස තුනක් පමණ කිසිදු ප්‍රචාරයක් ලබා දිය නොහැකි වුණා. අපේ ලකුණ මාළුවා. එම ලකුණ බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මම තවමත් දෙමළ ජාතික සන්ධානයේ කියා ඇතැම් අය සිතුවා.  මා වෙනුවෙන් ඔවුන් ඡන්දය භාවිත කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයාට. ඒ නිසා මට ලබා දුන් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබුණේ සිද්ධාර්ථන් මහතාට.. අපට ජනතාව හමුවෙලා ඡන්ද ලකුණ හඳුන්වා දීමට අවස්ථාවක් නොලැබීම නිසා අපේ පක්ෂයට ලැබිය යුතු ඡන්ද වෙනත් අයට වැටුණා. කාලයක් තිස්සේ දේශපාලනයේ යෙදුණු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට ලැබුණේ ඡන්ද 31,658යි. මට 21,554ක් ලැබුණා. මාස තුනක පමණ කාලයක් තුළ එක් අපේක්ෂකයකුට හෝ පාර්ලිමේන්තුවට පිවිසෙන්න අවස්ථාව ලැබීම ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. 

උතුරේ ප්‍රධාන කණ්ඩායම වූ දෙමළ ජාතික සන්ධානයට පෙර තිබූ ආසන සංඛ්‍යාව මෙවර මැතිවරණයේදී අහිමි වුණා. ඔවුන්ට එවැනි තත්ත්වයක් ඇති වූයේ ඇයි?

ඔවුන් කියන්නෙ එක් දෙයක්, කරන්නේ එක් දෙයක්. ඔවුන් ජනතාවට බොහෝ පොරොන්දු ලබා දුන්නා. එහෙත් ඒ කිසිවත් ඉටු කළේ නැහැ. ඔවුන් රජයෙන් වරප්‍රසාද ලබාගෙන ජනතාව අමතක කළා. ඒ නිසා ඔවුන් ජනතාව ප්‍රතික්ෂේප කළ බවත් පෙනෙනවා.

පසුගිය කාලය පුරා ඔබ දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. දැන් ඔබට දෙමළ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නඟන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඔබේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද?

දෙමළ ජනතාවට දේශපාලන, ආර්ථික හා සාමාජයීය ගැටලු රැසක් තිබෙනවා. ඒවාට විසඳුම් සෙවීම සඳහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා සහාය දක්වන කණ්ඩායම් සිටීනම් ඔවුන් සමඟ එක්ව හෝ එසේ නොමැතිනම් තනිවම හෝ දෙමළ ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන්  පෙනී සිටිනවා. උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස මෙම අයිතීන් දිනා ගැනීමට මම සටන් කළා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පෙරට වඩා ඒ සම්බන්‍ධයෙන් පෙනී සිටින්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දෙමළ ජනතාවට ඇති දේශපාලනික ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කරනවා. උතුරු නැඟෙනහිර දෙපළාතේ ජනතාවට තමන්ගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යෑම සඳහා බලය බෙදාහැරීමක් අත්‍යවශ්‍යයි. සෑම රජයක්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන බව පැවසුවත් ඒ කිසිවක් ඉටු කළේ නැහැ. බලය අතට ගත්තාම බලය බෙදා හරින්න පාලකයන් කැමති නැහැ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරනවා. දේශපාලන විසඳුමක් තුළින් බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය දිනාගත යුතුයි. දෙමළ ජනතාව දසක ගණනක් තිස්සේ තම ඉල්ලීම් දිනා ගැනීමට සටන් කළා. එහෙත් බහුතර සිංහල ජනතාව සිටින්නේ ‘“මේක අපේ රට සියලු අයිතිවාසිකම් අපට පමණයි‘” යන මතයේ. සුළු ජාතින් තමන්ගේ මතය අනුව කටයුතු කළ යුතුයැයි ඔවුන් සිතනවා. දෙමළ භාෂාව මෙරට පැරණි භාෂාවක් යැයි මා ප්‍රකාශ කළවිට එයට විවිධ දෝෂාරෝපණ එල්ල වුණා. මා එසේ ප්‍රකාශ කළේ සිංහල ජනතාව කෙරෙහි වෛරයකින් නොවෙයි. දෙමළ ජනතාවටත් මේ භූමියේ අයිතිවාසිකම් තිබෙන බව පෙන්වා දීමට පමණයි. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වසර දෙදහකට වැඩි කාලයක් දෙමළ ජනතාව වාසය කළා. ඒ නිසා ඔවුන්ගේ වැඩකටයුතු ඔවුන්ටම කරගැනීමේ අයිතියක් තිබෙනවා. 

අලුත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නංවන්න සියලු කටයුතු සූදානම් කරලා. වසරකින් පමණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් සූදානම්. 19 වැනි සංශෝධනයේ දෙමළ ප්‍රජාවට හිතකර ඇතැම් කරැණු අඩංගු වුණා. අලුත් තත්ත්වය ඔබ දකින්නේ කොයි විදිහටද?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒකාධිපති පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. නව ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඔහු බොහෝ ආයතනවල පරිපාලකයන් ලෙස පත් කර තිබෙන්නේ හමුදා නිලධාරීන්. ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ ඒකාධිපති ක්‍රමයකින් යැයිද. ඒ නිසා බලය සම්පූර්ණයෙන් ඔහු අතට ගෙන කටයුතු කළ යුතුයැයිද ඔහු සිතනවා ඇති. ඔහු සතු එම බලයෙන් යම් කොටසක් සුළු ජාතීන්ටත් ලබා දෙනවා නම් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙත් සියලු සුළු ජාතීන් තමන් කියන පරිදි කටයුතු කළ යුතු යැයි යන තීරණයේ ඔවුන් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අපගේ විරුද්ධත්වය පළ කරන අතර ඉන්දියාව ඇතුළු විදේශ රාජ්‍යයන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. එවිට පහසුවෙන් ඒකාධිපති පාලනයක් ගෙන යා හැකි වන්නේ නැහැ. ඒකාධිපති ක්‍රමයකට එරෙහි  මහජන මතයක් ගොඩ නැංවිය යුතුයි. මගේ මතය වන්නේ සිංහල හා දෙමළ (අනෙකුත් සුළු ජාතීන්ද ඇතුළුව) ජනවාර්ගිකයන් සැමදාම සමගියෙන් මේ රටේ වාසය කළ යුතුය යන්නයි.

ඉදිරි අයවැයේදී ඔබ කටයුතු කරන්නේ කොහොමද?

අයවැය යෝජනා ඉදිරිපත් කළ විට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට යහපත් දෙයට සහය පළ කිරීමටත් අයහපත් දෙයට විරෝධය දැක්වීමටත් අප කටයුතු කරනවා. 

පළාත් සභා ක්‍රමය මෙරටට අනවශ්‍ය දෙයක් ලෙස බොහෝ අය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

උතුරැ නැගෙනහිර පළාත් සභාව හැර සෙසු පළාත් සභා හත අනවශ්‍ය බවයි මගේ හැඟීම. ඇත්තටම පළාත් සභා ක්‍රමය ඇති කළේ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබා දීමේ අරමුණින්. දෙමළ ජනයාට විශේෂයෙන් කිසිවක් ලබා නොදුන් බව හැඟවීම සඳහා ජේ. ආර් ජයවර්ධන අනෙක් පළාත්වලත් පළාත් සභා ඇති කළා. උතුරු නැඟෙනහිරට පළාත් සභාවක් අවශ්‍යයි. එයට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් මදි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරිය යුතුයි. දැන් පවතින ක්‍රමය යටතේ මධ්‍යම රජයට ඕනෑම දෙයක් කළ හැකියි. උතුරු නැඟෙනහිර පළාත් සභාව පැවැති සමයේ අප යම් යම් කටයුතු සිදු කිරීමට උත්සාහ කළත් මධ්‍යම රජය එයට විරුද්ධ වුණා. උතුරු නැඟෙනහිර පළාත් සභාව ඒකාබද්ධව පැවතිය යුතුයි. මන්ද එම පළාත්වල වැඩි ජනතාවක් කතා කරන්නේ දෙමළ භාෂාව. අනිත් පළාත් හතේ වැඩි දෙනකුගේ භාෂාව සිංහල. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින පළාත් සභා දෙක එක්ව තිබිය යුතු වන අතර එම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි.

උතුරේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වන්නේ ජල ප්‍රශ්නය. ඔබ උතුරේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?

අපි ඒ සඳහා මුහුදු ජලය පිරිසුදු කර පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. දැන් එය ක්‍රියාත්මක වෙනවා.

ඔබ මහ ඇමැතිවරයා ලෙස සිටි සමයේ පළාත් සභාවට ලබාදුන් මුදල් කිසිදු ව්‍යාපෘතියකට භාවිත නොකොට යළි භාණ්ඩාගාරයට ගිය බවට රාවයක් පවතිනවා මෙහි සත්‍යයක් තිබේද?

නැහැ අපට ලැබුණු මුදලින් සතයක් හෝ යළි භාණ්ඩාගාරයට හරවා යවා නැහැ. අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභාවට මිලියන 12,000ක් අවශ්‍ය බවට අපි රජයට දැනුම් දුන්නා. එහෙත් අපට ලැබුණේ මිලියන 1500ක් වැනි ප්‍රමාණයක්. සංවර්ධන වැඩකටයුතු සඳහා යෙදවූයේ එම මුදල් ප්‍රමාණයයි. අප ඉල්ලා සිටි මුදලින් අපට ලබා නොදුන් කොටස මධ්‍යම රජයේ විවිධ අමාත්‍යාංශවලට ලබා දුන්නා. අමාත්‍යංශවලින් එම මුදල්  ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විවිධ වැඩකටයුතු වලට වැය කළා. එහෙත් එම වැඩකටයුතු නිසි පරිදි ක්‍රියාවට නැංවුණේ නැහැ. ඉන් සිදුවූයේ මේ පළාතේ සංවර්ධනයට වැය කළ යුතු මුදල්වලින් ප්‍රයෝජනයක් නොගෙන  එම  මුදල් නැවත භාණ්ඩාගාරය වෙත හරවා යැවීමයි. ජනතාව සිතන්නේ සියලු මුදල් අපට ලබා දුන්නත් ඉන් ප්‍රයෝජනයක් නොගෙන ආපසු හරවා යැවූ බවයි. අපට ඒ සියලු මුදල් ලැබුණා නම් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ බොහෝ සංවර්ධන කටයුතු සිදු කළ හැකිව තිබුණා. එලෙස භාණ්ඩාගාරයට මුදල් ආපසු යැවීම සම්බන්ධයෙන් වගකිව යුත්තා මා නොවෙයි.

20 වැනි සංශෝධනයෙන් එන්නේ ඒකාධිපති පාලනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

ආසන 16ක් තිබූ ඔබේ සන්ධානය පසුගිය මහ මැතිවරණයෙන් ආසන 10 දක්වා පහත වැටුණා. එවැනි තත්ත්වයක් ඇති වුණේ ජනතාව ඔබේ සන්ධානය ප්‍රතික්ෂේප කළ නිසාද?

2018 පළාත් පාලන මැතිවරණයේදීත් ලැබුණේ මෙවැනි ප්‍රතිඵලයක්. මෙවර මහ මැතිවරණයෙන්ද ඒ හා සමාන පසුබෑමක් ඇති වී තිබෙනවා. එයට හේතු කිහිපයක් බලපෑවා. පසුගිය කාලයේ  දෙමළ සන්ධානයේ සහය හිමි වූයේ යහපාලන රජයටයි. විපක්ෂයේ අසුන් ගත්තත් ආණ්ඩුවේ කොටස්කරැවන් වශයෙන් කටයුතු කළා. අපි උතුරේ ජනතාව වෙනුවෙන් යම් යම් දේවල් ඉටු කළත් ජනතාවට දැනෙන දෙයක් කරන්න හැකි වූයේ නැහැ. ඒ නිසා අප කෙරෙහි පැවැති ජනතා විශ්වාසය අඩු වුණා. ඇතැම් පිරිස් අපට චෝදනා කරනවා බලයේ සිටි රජයෙන් වරප්‍රසාද ලබා ගැනීම හැර ජනතාවට කිසිවක් කළේ නැහැ කියා. එය වැරදි අදහසක්. අපි රජයෙන් කිසිම වරප්‍රසාදයක් ලබා ගත්තේ නැහැ. එහෙත් උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා වැඩකටයුතු රැසක් සිදු කළා. වසර 40 වැනි කාලයක් පුරා සංවර්ධනයක් සිදු නොවුණු එම පළාත්වට අප කළ කාර්යභාරය එතරම් දැනුණේ නැහැ.

දෙමළ සන්ධානය නි‍යෝජනය කරන ඔබගේ ඉදිරි දේශපාලන කාර්යභාරය කුමක්ද?

විපක්ෂයේ දෙවැනියට වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටින්නේ දෙමළ සන්ධානයටයි. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම අප කණ්ඩායමයි. දෙමළ ජාතික ගැටලුවට විසඳුමක් ලැබිය යුතුය යන්න අපගේ විශ්වාසයයි. එයට විසඳුම් ලැබෙන තෙක් අපගේ සටන ඉදිරියට ගෙනියනවා. දැනට පවතින දේශපාලන තත්ත්වය හැමදාම පවතින්නක් නොවෙයි. බලය යළි වෙනස් විය හැකියි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. එමෙන්ම වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම්. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

1978 එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට පසුකාලයේ  එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂවල ස්ථාවරය වුණා.  1994දීත් 1999දීත් 2005දීත් 2010දීත් 2015දීත් බලයට පත්වූ සියලු ආණ්ඩුවල පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටයි. එහෙත් එම පොරොන්දු ඉටු වුණේ නැහැ. 2015 යම් පමණකට බලතල අඩු කරා. 2019 ජනාධිපතිවරණයේදීත් 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ බලයට පත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වන පොරොන්දුවකින් නොවෙයි. ඔවුන් සඳහන් කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවටයි. 19 වැනි සංශෝධනය නිසා ජනාධිපති හා අගමැති අතර ගැටලු නිර්මාණය වන හෙයින් රටට සේවය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් එය ඉවත් කළ යුතු යැයි ඔවුන් කියා සිටියා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කතාව  කිසියම් තාක්ෂණික වදනක් විනා එහි අභ්‍යන්තරයේ සැඟවුණු අදහස ජනතාවට වැටහුණේ නැහැ. එහි යටි අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය යළි ශක්තිමත් කරන්නක්ය යන්න ජනතාවට වැටහුණේ නැහැ. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළාම එහි සැබෑ මුහුණුවර ජනතාවට දැනෙන්නට පටන් අරන්. අපි මෙහි භයානකකම ජනතාවට වටහා දිය යුතුයි. 20 වැනි සංශෝධනයට අපි දැඩිව විරුද්ධයි. එයට එරෙහිව අධිකරණයට යා යුතුනම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා සහය දුන්නා. දැන් ඔහු 20 වැනි සංශෝධනයට සහය දක්වාවිදැයි අප බලා සිටිනවා. ඔහුට එවැන්නක් කළ නොහැකියි. ජනතාව අතරත් දේශපාලන නියෝජිතයන් අතරත් මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමට පියවර ගන්නවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ශ්‍රී ලංකාවේ ඒකාධිපති පාලන ක්‍රමයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකියි.

පසුගිය රජය සමයේ උතුරට යම් යම් දේ ලැබුණා. ඇතැම් ඉල්ලීම් ලැබුණේ නැහැ. අලුත් ආණ්ඩුවෙන් එම ඉල්ලීම් ලබා ගැනීමට කටයුතු කරනවාද?

අනිවාර්යයෙන්ම උතුරු නගෙනහිර පළාත්වල ජනතාවගේ අවශ්‍යතා දිනා ගැනීමට මේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සාකච්චා කරන්න අපි සූදානම්. එමෙන්ම ආණ්ඩුව ගෙන එන අයහපත් තීන්දුවලට අපි විරෝධය ප්‍රකාශ කරනවා.
පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ඔබේ මතය

පළාත් සභා අවශ්‍යයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් එක් ප්‍රධාන ගැටලුවක් වූයේ දෙමළ ජාතික ගැටලුවයි. රටේ 30 වසරකට වැඩි යුද්ධයක් ඇති වූයෙත් එම ගැටලුව මුල් කරගෙනයි. පළාත් සභා ක්‍රමය ඇතිවූයේ එයට විසඳුමක් ලෙසයි. මධ්‍යම රජයේ ඇතැම් ප්‍රතිපත්ති උතුරු නැගෙනහිර ජනතාව නොපිළිගන්නේ නම් එයට විසඳුම් සෙවිය හැකි ක්‍රමය පළාත් සභා ක්‍රමය බවට විශ්වාසයක් ඇති වුණා. පළාත් සභාව අහෝසි කරන්න කටයුතු කළහොත් අතීතයේ තිබූ අර්බුද යළි නිර්මාණය විය හැකියි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා


 

 

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02