2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

ගන්න ගියාම තරු පෙනෙන අහසට විදින බඩුමිලේ රඟ

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

 

අද වනවිට රටේ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍යවල මිල ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස මිල වැඩි වීම නොනවතින අතර දිනපතා කෙමෙන් ඉහළ නගිමින් පවතී. මේ අතර සුවිශේෂ වන්නේ රටේ දිළිඳු ජනතාවට දිනකට එක වේලක් හෝ කෑමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමය. මෙම ආහාර ද්‍රව්‍යවල මිල කල් ඇතිව නිවේදනය නොවන අතර ඒවායේ මිල දැනගන්නට ලැබෙන්නේ මිලදී ගැනීමට වෙළෙඳපොළට ගියවිටය. ඒ නිසා දුප්පත් පාරිභෝගිකයෝ දැඩි ලෙස අපහසුතාවට පත්වෙති.

බඩු මිල අඩු කරන බවට වගකිව යුත්තෝ බොහෝවිට කටමැත දොඩවති. එහෙත් බැලූ බැල්මට මිල වැඩි වනවා මිස අඩු කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන නමුත් ඒ තුළින් තීරණ ගැනීමක් හෝ ගත් තීරණ ක්‍රියාත්මක කිරීමක් හෝ දක්නට නොමැත. මේ සියල්ල සිදුවන්නේ කල්මැරීමට දැයි ජනතාව අතර සැකයක් පහළ වී තිබේ. කෙසේ වුවද මේ වනවිට බඩු මිල තීරණය කිරීම සම්පූර්ණයෙන්ම වෙළෙඳුන්ගේ අයිතිවාසිකමක් බවට පත්ව ඇති සැටියකි. මේ මිල තීරණය කිරීම මුළු දිවයින පුරාම එකම වෙළෙඳ ජාලයක් බවට පත්ව තිබෙන බවක් දක්නට ඇත.

රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි කොටසක් ආනයනය කරන්නේ කොළඹ පිටකොටුවේ හතරවැනි හරස් වීදියේ ව්‍යාපාරික කටයුතු කරන විජාතික වෙළෙඳුන් විසිනි. මෙම වෙළෙඳ කුටි ඉදිරිපසින් ඉතා කුඩාවට දිස්වුවද ඒවා පොළොව මට්ටමෙන් පහළ පිහිටි ගබඩා කාමර දක්වා බොහෝදුර විහිදී පවතී. ඒවායේ විශාල ආහාර ප්‍රමාණයක් රහසේ ගබඩා කර තබාගැනීමට මෙම වෙළෙඳුන් සමත්ව සිටින බව දක්නට ඇත. භාණ්ඩ හිඟවූ ඇතැම් අවස්ථාවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මෙම ගබඩා පරික්ෂා කර ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද මෙම මේනියාව තුරන් කිරීම සඳහා මෙතෙක් බලයට පත් වූ ආණ්ඩු ගත් සාර්ථක ක්‍රියාමාර්ගයක් ගැන දැනගන්නට නොහැක. එසේම මිල පාලනය කර ඇති භාණ්ඩ වුවද ප්‍රසිද්ධියේ වැඩි මිලට අලෙවි කරන්නේ රජයේ නීති තුට්ටුවකටවත් මායිම් නොකරය. 

තොග වෙළෙඳාමේ නියුතු මෙම වෙළෙඳුන්ට දුරකතන ඇමතුමක් මගින් මුළු දිවයිනේම අලෙවි මිල තීරණය කිරීමට භාග්‍යය ලැබී ඇත. බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රට පුරාම එකම මිලක් ක්‍රියාත්මක වන්නේ මේ නිසාය. ආහාර ද්‍රව්‍ය හිඟවූ අවස්ථාවල භාණ්ඩ ආනයනය ස.තො.ස. ආදි රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තද විවිධ හේතු නිසා එම අපේක්ෂා ලත් තැනම ලොප් වී තිබේ.

මිල පාලනය කිරීම පිළිබඳ රජයට ස්ථිර ප්‍රතිපත්තියක් නැතිවීමද මෙලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ යාමට හේතු වී ඇත. දේශපාලන අධිකාරිය මේ පිළිබඳ දරණ අදහස ද පරස්පර විරෝධීය. උදාහරණයක් වශයෙන් කිවහොත් ඉහළ ගිය මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන අතර ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා බේකරි හිමියන් සමඟ වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. එසේම බිත්තර ආනයනය සඳහා බේකරි හිමියන්ට තාවකාලික බලපත්‍රයක් දෙන බවද ඔහු පවසා තිබේ.

එහෙත් කිසිවිටෙකත් බිත්තර ආනයනය නොකරන බව කිරි හා බිත්තර රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් එදිනම වාගේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට පවසා තිබේ. බිත්තර මිල ඉහළ යාමට හේතුව බේකරි හිමියන් සමඟ සිටින අතරමැදියන්ගේ ක්‍රියා කලාපය බව ඔහුගේ අදහසය. පසුගියදා ඇති වූ කොරෝනා වසංගතයේදී ඇතැම් ගොවියන් කුකුළන් මසට විකිණීමද නිෂ්පාදනය අඩුවීමට හේතුවී තිබේ. බිත්තර මිල රැපියල් 14ක මට්ටමට පහළ දැමීමට රජය ඉදිරියේදී මිල පාලනයක් කරන බවද ඔහු කියා ඇත. මේ අනුව පෙනී යන්නේ බිත්තර මිල පිළිබඳව ඇමැතිවරුන් දෙදෙනා මත දෙකක සිටින බවය. කුමන මතයක් ජය ගනීද යන්න පිළිබඳ ජනතාව විචිකිච්ඡාවෙන් බලා සිටින බව කිව යුතුය.

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.කේ. ජයවර්ධන පවසන්නේ ඉදිරියේදී පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වැඩිකිරීමට කටයුතු කරන බවකි. බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව පවසන හේ මාගරින් රුපියල් 300 සිට 400 දක්වා ඉහළ ගොස් ඇති අතර ෆාම් තෙල් ලීටරය රුපියල් 500ක් වී ඇති බවද පෙන්වා දෙයි. සේවක වැටුප් සහ යටිතල පහසුකම් වියදම්ද ඉහළ යාමෙන් විශාල අර්බුදයකට ලක්ව ඇතැයි ඔහු කියයි.
දැනට ඇති එළවළු හිඟයට පිළියමක් ලෙස රැපියල් 700ක් පමණ වටිනා එළවළු වර්ග 6කින් සමන්විත මල්ලක් රුපියල් 350කට අලෙවි කිරීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සූදානම් වෙයි. මෙයට කැරට්, අර්තාපල්, බීට්, ලීක්ස්, නෝකෝල්, තක්කාලි ආදී එළවළු අඩංගු බව ප්‍රචාරය වී ඇත. ආහාර මිල වැඩි වූ බොහෝ අවස්ථාවල රාජ්‍ය ආයතන මගින් සහන මිලට ආහාර මළු බෙදීමට මෙයට පෙර කිහිප අවස්ථාවකදීම කටයුතු කළද ඒවා අසාර්ථක වූ අතර ප්‍රදර්ශන තත්ත්වයෙන් පමණක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. එයට හේතුව අවශ්‍ය ඉල්ලුම සැපයීමට එම ආයතනවලට නොහැකි වීමය.
එහෙම මිල වැඩි වීමක් නෑ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් පවසන්නේ බැලූ බැල්මට වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ යාමක් දක්නට නොමැති බවය.
මේ වනවිට රජය ප්‍රකාශයට පත්කර ඇති දේශීය ආහාර වගා කිරීමේ වැඩපිළිවෙළට සහය දීම සඳහා අපි දේශීයව වගාකරන දේවල් ආනයනයෙන් වැළකී සිටිනවා. අප මේ වනවිට ආනයනය කරන්නේ දේශීය වශයෙන් වගාකිරීම ප්‍රවර්ධනය නොකරන දේවල් හා රට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන දේ පමණයි. ආනයනය කරන ද්‍රව්‍ය ලෝක වෙළෙඳපොළේ මිල අනුව මිල තීරණය වන නිසා ලෝක වෙළෙඳපොළේ මිල අනුව ආනයන මිල අඩු වැඩි වෙනවා.
උදාහරණයක් වශයෙන් කිවහොත් ලෝක වෙළෙඳපොළේ බී ලූනු මිල වැඩිව ඇති නිසා සහ දඹුල්ලෙන් අවශ්‍ය ලූනු ප්‍රමාණය වෙළෙඳපොළට නොපැමිණීම නිසා මේ වනවිට කිලෝව රුපියල් 150 තරමට මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම වියලි මිරිස් ගිය සතියේ තොග මිල තිබුණේ කිලෝව රුපියල් 360 ප්‍රමාණයේයි. එහෙත් මේ සතියෙ රුපියල් 450 වෙලා තියෙනවා. මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 135ට සුදු සීනි කිලෝව රුපියල් 124ට සහ සැමන් ටික් එන රුපියල් 220ටයි අපි තොග මිලට අලෙවි කරන්නේ.

ඉස්සර හාල්වලින් කිලෝවට රුපියල් 5 – 10ක ලාභයක් තමයි නිෂ්පාදකයන්ට තිබුණේ. එහෙත් අද වනවිට රුපියල් 20 පමණ ලාභයක් ලබනවා. එයට හේතුව සෙසු නඩත්තු වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබීමයි. ඒ නිසා එවැනි ලාභයක් තබානොගෙන ව්‍යාපාර කරගෙන යන්න බැහැ. එයට දෝෂාරෝපණය කිරීම වැරදියි.

වෙළෙඳපොළේ මිල තීරණය කරන්නේ සිල්ලර වෙළෙඳුන් තමා. අද අපේ වෙළෙඳපොළේ සෑම ද්‍රව්‍යකම මිල නියම කරන්නේ සිල්ලර වෙළෙඳුන් එයට අපට බලපෑම් කරන්න බැහැ. අපි අඩු ලාභයක් තබාගෙන නිකුත් කළත් සිල්ලර වෙළෙඳුන් ඇතැම් අවස්ථාවල විශාල ලෙස ලාභ තබාගෙන අලෙවි කරන නිසා වෙළෙඳපොළේ මිල අසාධාරණ ලෙස වැඩිවෙනවා. එයට ක්‍රියාමාර්ග ගත යුත්තේ රජයයි. එය අපේ වගකීමක් නෙවෙයි. මානම් සිතන්නේ සිල්ලර වෙළෙඳුන් සාධාරණ ලාභයක් තබාගෙන අලෙවි කළ යුතු බවයි. එහෙම නැති වුණොත් එය පාරිභෝගිකයාට හානියක් වන අතර සිල්ලර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට ද බාධාකයක් වෙනවා. ඒ නිසා සාධාරණව ක්‍රියා කළ යුතුයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාරිණි ප්‍රේමා පොඩිමැණිකේ

අද රටේ භාණ්ඩ මිල ඉහළ ගිහින් තියෙන්නේ මිල පාලනය නොකිරීම නිසා යැයි සමහරැන් කියනවා. එහෙත් මගේ අදහස නම් භාණ්ඩ මිල පහළ දැමීමට මිල පාලනය කිරීම සාර්ථක උපක්‍රමයක් නොවන බවයි. මිල පාලනය මේ වනවිට යල් පැනපු ක්‍රමයක් බවට පත්වෙලා. භාණ්ඩ මිල වැඩි වනවිට සෑම රජයක්ම මිල පාලනයට යොමුවන බව පෙනෙන්නට තියෙනවා. එහෙත් එය අසාර්ථක බව ඔවුන්ටම පිළිගන්න සිදුවෙලා.

අනිත් අතට භාණ්ඩ මිල පාලනය කරලා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් වැටලීමට මෙහෙයුම් කරනවා. මතුපිටින් කිහිපදෙනකු අල්ලලා වැටලීම් කරනවා යැයි ප්‍රචාරයක් දෙනවා. එම අදාළ ආයතනවලට වැටලීම් කිරීමට අවශ්‍ය නිලධාරීන් වාහන ආදිය අඩු නිසා එය පූර්ණකාලීනව කළ හැක්කක් නොවෙයි. අනිත් අතට වැඩි මිලට විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම ප්‍රායෝගික නැහැ. රට පුරාම එවැනි වැටලීම් ක්‍රියාත්මක කිරීම අපහසුයි. එහෙම කරලා මෙය අඩු කරන්නත් බැහැ.
උදාහරණයක් ලෙස පැවසුවොත් අද සහල්වලට පැනවූ උපරිම මිල අසාර්ථක වෙලා තියෙනවා. විවෘත වෙළෙඳපොළේ වැඩි මිලට සහල් අලෙවි කරනවා. සීනි, පරිප්පු, අර්තාපල් ආදියද වැඩි මිලට අලෙවි කරනවා. මේවා පාලන මිලට සතොස මගින් දෙන බව ප්‍රකාශ කළත් පාරිභෝගික අවශ්‍යතා සපුරන්න සතොසට ලැබෙන තොග ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පාරිභෝගිකයට සිදුවන්නේ බාහිර තැන්වලින් වැඩි මිලට ගැනීමටයි. සීනි, පරිප්පු, අර්තාපල් වැනි ආහාර ද්‍රව්‍ය පිටත සිල්ලර වෙළෙඳසල්වල විවිධ මිල ගණන්වලට අලෙවි කරනවා. කිසිදු පාලනයක් දක්නට නැහැ. බිත්තර වුණත් රුපියල් දෙකකින් අඩු කළා යැයි ප්‍රකාශ වුවද තවමත් වෙළෙඳපොළට ඒ මිල ඇවිත් නැහැ. තවමත් අලෙවි වන්නේ බිත්තරය රුපියල් 22 – 23 වගේ මිලටයි. නිෂ්පාදකයන් අගමැති සමඟ එකඟවූවා යැයි පැවසුවද එය සියයට සියයක් සාර්ථක නැහැ. ඇතැම් නිෂ්පාදකයන් මිල අඩුකර නැහැ. සිල්ලර වෙළෙන්දා කොහොමත් මිල අඩුකර නැහැ. මෙතැනදි අඩු කළා යැයි කියන මිල වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ.
දැන් බලන්න අද පොල් ගෙඩිය කීයද? හිරමණයට දමා ගාන්න බැරි තරම් කුඩා පොල් ගෙඩිය වුණත් රුපියල් 75 – 85යි. පොල් ඉඩම් කැබලි කර නිවාස තැනීම විකිණීම පසුගිය ආණ්ඩු මගින් තහනම් කළත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. දිවයිනේ පොල් නිෂ්පාදනය අඩුවීම නිසයි මිල ඉහළ ගිහින් තියෙන්නේ. නිෂ්පාදනය වැඩි නොකර මිල ඉහළ යාම වළක්වන්න බැහැ. මෙය සෑම භාණ්ඩයකටම අදාළයි.

මගේ අදහසනම් අද පවතින තත්ත්වය අනුව මිල පාලනයක් ප්‍රකාශයට පත් කළායැයි භාණ්ඩ මිල පහළ යන්නේ නැහැ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. සැපයුම අඩුව ඉල්ලුම වැඩිවූවිට මිල ඉහළ යනවා. වෙළෙඳපොළට භාණ්ඩ නිසි ලෙස ගලා එනවා නම් සැපයුම්කරුවන් අතර ඇතිවන තරගයේ ප්‍රතිඵලයක් ලෙස මිල සමතුලිත වෙනවා. භාණ්ඩ හිඟවීමයි අද ඒවා ඉහළ යාමට ප්‍රධාන හේතුව.

 

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02