2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

විස්සට ගල් සහ මල්

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව නිර්මාණය වී ඇති සංවාද පුළුල් පරාසයක පැතිර යන්නකි. ඒ අනුව අපි නීති ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ විස්ස පිළිබඳ ඇති සංවාදයට ඇහුම්කන් දීමට තීරණය කළෙමු. එහිදී ප්‍රමුඛ මතවාද තුනක් අපට නිරීක්ෂණය විය. එම මත තුන නිරෑපණය වන පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීතීඥ මත විමසුම මෙසේය.

19න් සිද්ධ වුණ හානිය රටම දන්නවා

නීතීඥ කෞශල්‍යය නවරත්න 
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැලකිල්ලට ගන්නා විට එය ගෙන ඒමට කටයුතු කළ බොහෝ පාර්ශ්ව අද ඒ හරහා රටට වූ හානිය පිළිගෙන තිබෙනවා. විශේෂයෙන්ම දහනවය ගෙන ඒමට මූලික වූ හිටපු ජනාධිපතිවරයාද එසේම එම කටයුත්තේ පුරෝගාමියෙක් වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සංශෝධනයට අත ඉස්සූ බහුතර මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද මේ සංශෝධනයේ වාසිවලට වඩා අවාසි වැඩි බව පිළිගන්නවා.
19 වැනි සංශෝධනය හරහා උත්සාහ කළේ කොමිෂන් සභා ඇතිකරලා ජනාධිපති බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර බව කියන්න. නමුත් සත්‍යවශයෙන් මෙතැන තියෙන්නේ මුළුරටම එක් ඡන්ද කොට්ඨාසයක් විදිහට කටයුතු කරලා මහජනතාවගේ වෙනස්කළ නොහැකි පරමාධිකාරී බලයෙන් පත්වෙන ජනාධිපතිවරයාගේ බලතල එක් ඡන්ද කොට්ඨාසයකින් බලයට පත්වෙන අග්‍රාමාත්‍යවරයා අතට පත් කිරීමේ කූඨ උපක්‍රමයක්. එදා මේ කටයුත්ත යම් ප්‍රමාණයකට ශ්‍රේෂ්ඨාධිකරණය වැළැක්වූවා. සංශෝධනයේ කොටසක් ඉවත් කරගන්න සිද්ධවුණා.

කොහොම නමුත් 19න් ඇතිකරපු උභතෝකෝටික ප්‍රශ්න නිසා රට කොතරම් අරාජික වුණාද කියන එක අපි දන්නවා. පොලිස්පතිවරයා චෝදනාවක් ලබා සිරගත වෙනවා. ඒත් ඔහුව ඉවත්කර ගන්න ජනාධිපතිවරයාට බැරිවුණා. රට අරාජික වෙද්දී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරිවුණා. මැතිවරණ කොමිසමට ඡන්ද තියන්න පුළුවන් වුණාද? කොමිසමේ තීරණ ගැනීමම ගැටලුවක් වුණා.

මේක විද්වත් කමිටුවක් පත්කරලා අලුතින් ව්‍යවස්ථාවක් ගේන්න කටයුතු කරන මොහොතක්. නමුත් අලුත් ව්‍යවස්ථාවක් ගේනතුරුවත් 19 එක්ක ඉදිරියට යාමේ හැකියාවක් නෑ. ඒ නිසා රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආකාරයට 20 වැනි සංශෝධනය රැගෙන ඒම ඉතාම වැදගත්. ජනාධිපතිවරයා කියන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් පත්වුණු පුද්ගලයෙක්. ඔහුට රට ඉදිරියට ගෙනයාමට ශක්තිය අවශ්‍යයි. දැනට 20 වැනි සංශෝධනය ජනමත විචාරණයක් කරා ගෙනයෑම අවශ්‍ය නොවන බව නීතිපතිවරයා පවා කියලා තිබෙනවා.

රටේ මූලික නීතිය උත්තරීතර නීතිය සම්බන්ධව ගැටලු තියාගෙන ඉස්සරහට යන්න අපිට බෑ. අපි දන්නවා 19ය ගෙනාවේ ඇයි කියලා. 19 වැනි සංශෝධනය ඔය කියන විදිහට ජනතාවගේ පරමාධිපත්‍ය බලය රකින්න, අයිතිවාසිකම් රකින්න ගෙන ආපු සංශෝධනයක් නොවන බව දැන් රටට පැහැදිලි වෙලා හමාරයි. ඒ නිසා ජනතා අභිලාශය ව්‍යවස්ථාවෙන් පෙන්නුම් කරන ආකාරයට 20 වැනි සංශෝධනය රුගෙන ඒම බොහොම වැදගත්.

20 අවශ්‍යයි. ඒත්  ද්විත්ව පුරවැසිකමට එකඟ නැහැ

ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්

විසිවැනි සංශෝධනය සම්බන්ධව කතාකරන විට මගේ පෞද්ගලික මතය හා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව තිබෙන තත්ත්වය ගැටලුවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ද්විත්ව පුරවැසිභාවය තබාගෙන කටයුතු කරන විට වෙනත් රටවල වගේම මෙරටදී පවතින තානාපති කාර්යාලවල බලපෑමට ඔවුන් ලක්වෙන්න පුළුවන්. රටවල් දෙකක තිබෙන මේ සබැඳියාව නිසා වෙනත් බොහෝ රටවල මෙවන් අවස්ථාවන් දෙන්නේ නෑ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ද්විත්ව පුරවැසියෙකුට ඡන්දේ දෙන්න පුළුවන් නම් ඇයි මහජන නියෝජිතයෙක් වෙන්න බැරි කියලා. නමුත් එක මනාපයක් ලබාදීමට වඩා මහජන නියෝජිතයන් විදිහට රට වෙනුවෙන් තීරණ ගැනීම වගකීම් සහගතයි. එතැනදී බලපෑම්වලට ලක්වෙන්න බෑ.
සමස්තයක් විදිහට බලපුවාම විසිවැනි සංශෝධනය අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. අපි දන්නවා 19 වැනි සංශෝධනය නිසා රටට වෙච්ච හානිය. අපි දැක්කා අගමැති ජනපති පක්ෂ දෙකක වුණාම රට අස්ථාවර වෙන ආකාරය. රටේ ස්ථාවරත්වයද මිනිස් අයිතිවාසිකම්ද කියන දේ බලන්න වෙලා තියෙන්නේ. අපේ දැන් තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. රට ස්ථාවර වෙන්නේ ජනාධිපති මාර්ගයෙන්. ඒක අපි තෝරගෙන අවසානයි. ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති තෝරනවා නම් රටේ ස්ථාවරත්වය ඔහු මත රැඳෙනවා.

13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට විශාල බලතල ප්‍රමාණයක් දීලා තිබෙනවා. ඉඩම් සහ පොලිස් බලතල ක්‍රියාත්මක නොවෙන එක ඇත්ත. නමුත් පළාත් සභාවලට ලබාදී ඇති බලතල සලකන විට රටේ ඒකීයත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා බලවත් වීම වැදගත්. නැතිනම් රටේ ඒකීයත්වයට විශාල හානියක් වීමට ඉඩ තිබෙනවා. අපි දැක්කා පසුගිය කාලේ ජාතික ආරක්ෂාව වගේ කරුණුවලදී එක් එක්කෙනා කර අරිමින් කටයුතු කරනවා. වගකීම් ගන්නේ නෑ. නමුත් අපි භූගෝලීය පිහිටීම අනුව දැනටමත් ලෝක බල දේශපාලනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත්වෙලා ඉවරයි. අපිට ශක්‍තිමත් නායකයකුව සිටීම වැදගත්. නමුත් 19න් ඇති කළේ ව්‍යාකූල තත්ත්වයක්. ශක්තිමත් රජයක් ඒ හරහා බිහිවෙන්නේ නෑ.
පළාත් සභා සහ ජාත්‍යන්තර දේශපාලන හමුවේ පැහැදිලිවම ජනාධිපතිතුමා ශක්තිමත් කළ යුතුයි කියන තැන මම දැඩිව ඉන්නවා. දැනට තියෙන්නේ ජනාධිපති ක්‍රමයක්. ඒක ඇතුළේ එය කළ යුතුයි. මේ ක්‍රමය අහෝසි කරනවා නම් එය අපි වෙනම දීර්ඝකාලීනව සාකච්ඡා කරලා කරමු. ස්වයංජාත ව්‍යවස්ථාවක් වෙනුවෙන් මම දැඩිව පෙනී ඉන්නවා.

20 වැනි සංශෝධනයේ අවශ්‍යතාව බොහොම පැහැදිලියි. නමුත් ද්විත්ව පුරවැසි වගේම ජනාධිපති මුක්තිය වැනි කාරණාවලට මම එකඟ නෑ. වෙනත් කාරණ නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ මිනිස් අයිතිවාසිකම් කඩ කරනවා නම් එය ප්‍රශ්න කරන්න අයිතියක් තිබිය යුතුයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩවීමකදී ජනාධිපතිට මුක්තියක් නොතිබිය යුතුයි කියන තැනම මම ඉන්නවා. මේ කාරණා දෙක පමණයි. පොදුවේ ජනාධිපතිවරයා ශක්තිමත් විය යුතුයි කියන ආකල්ප මත 20 වැනි සංශෝධනය එක්ක හිටගන්න අපිට පුළුවන්.

ජනතාව 20ට විරුද්ධ විය යුතුය

ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුණොත් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළුවා දැමීමක් සිදුවෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්තනෝමතික එකක්ය යන මතය එක්ක අළුත් ව්‍යවස්ථාවක් ඇතිකරගත යුතුයි කියලා 1978 ඉඳන් 1994 දක්වාම රටේ ජනතාව ඊට විරෝධය දැක්වූවා. 1994 ඉඳන් 2020 දක්වා ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන් සියල්ලක්ම වගේ නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා ජනතාවට පොරොන්දු වුණා. පසුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු අත්තනෝමතිකභාවය අඩු කරන්න සමහර වෙලාවට පාර්ලිමේන්තුව කටයුතු කළා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය එයට උදාහරණයක්. නමුත් 2011 දී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආයෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරණ තැනටම අරගෙන ගියා.

2015දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නෙ පොදු අපේක්ෂකයාගේ පොරොන්දුවක් විදිහට ජනතා අනුමැතියෙන්. ස්වාධීන කොමිෂන් සභා, ජනපති ධුර කාලය අවුරැදු 5කට අඩු කරලා, තරඟ කළ හැකි වාර ගණන 2 වරකට සීමාකරලා. තොරතුරැ දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරලා යම් ආකාරයක ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරන තත්ත්වයක් ව්‍යවස්ථාවට ගෙනාවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්නෙ තරඟ කිරීම දෙවරකට සීමාකිරීම හා තොරතුරු දැනගැනීමේ පනත හැර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආපු සියල්ලම අයින්කරලා නැවතත් 78ට තත්ත්වයට අරගෙන යෑමයි.

19 තිබූ මූලික අයිතිවාසිකම් නඩුවකින් ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකි තත්ත්වය ඉවත් වෙලා. ඔහු ජනතාවට හෝ අධිකරණයට වග නොකියන නීතියට හසුනොවන පුද්ගලයෙක් බවට නැවත පත්කරනවා. මෙලෙස ජනතාවට දීපු මූලික අයිතිවාසිකමක් අඩු කරනවා නම් තුනෙන් දෙකක බලයකින් හෝ අධිකරණ නිර්දේශයක් මත කරන්න නොහැකියි. එයට ජනමත විචාරණයකට යා යුතුයි.

ඒ වගේම ව්‍යවස්ථා සභාව අයින් කරලා පාර්ලිමේන්තු කවුන්සිලය කියලා දෙයක් ගේනවා. මේකත් ජනාධිපතිවරයා ඕන විදිහට තමයි හැඩගැහිලා තියෙන්නෙ. ස්වාධීනත්වයක් තියේවි කියල හිතන්න පුළුවන් කමක් නෑ. 18 වැනි සංශෝධනයෙන් ආපු ඔය වගේම කවුන්සිලයක් විපක්ෂය වර්ජනය කළා. ජනාධිපතිවරයා විනිශ්චයකාරවරු සහ සියලුදෙනාම පත් කරන්නෙ ඔය පාර්ලිමේන්තු කවුන්සිලයේ නිරීක්ෂණය හරහා වුණත් ඉන් ජනපතිට බලපෑමක් නොවන නිසා එම පත්කිරීමේ පාරිදෘශ්‍යභාවය අභියෝගයට ලක්වෙනවා. 

පාර්ලිමේන්තුවේ හතරෙන් තුනක් පමණ අමාත්‍ය මණ්ඩලවට පත්වීම, ඔවුන් නඩත්තු කිරීමට ජනතා මුදල් වැයවීම ආදී කාරණා නිසා ජනතා අවශ්‍යතාවයට අනුව 19 වැනි සංශෝධනයේදී අමාත්‍ය මණ්ඩලය සීමා කළත් 20 වැනි සංශෝධනය හරහා ජනපතිට අවශ්‍ය පරිදි අමාත්‍ය මණ්ඩල පත්කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ සියල්ල ජනතාවගේ අභිලාෂය ක්‍රියාවට නංවන්න නොවේ, තමන්ට බලය කේන්ද්‍රගත කරගන්න, තමන්ට නතු පාර්ලිමේන්තුවක් හා රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනගන්න ඇතිකරන සංශෝධනයක්. ජනතාව මීට තම විරෝධය මෙයට ප්‍රකාශ කළ යුතුයි.

 චමිදු නිසල්