2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

රාජ්‍ය සේවයට මේ තරම් ආයතන ඕනෑද?

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

අලුත් ආණ්ඩුව පත් කරන ලද කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරු ගැන ජනතාවගේ අවධානය නොවෙනස්ය. අලුතින් කරන්නට උත්සාහ කරන කාර්ය ගැන සියුම් අවධානයක් ඇති වී තිබේ. මහජන දිනය වශයෙන් බදාදා දිනය වෙන්කර තිබුණි. පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳුදා දිනය මහජනතාව වෙනුවෙන් වෙන් කරන තීරණයක් ගෙන ඇත. එදින සියලු අමාත්‍යවරු, සංස්ථා සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීහු කාර්යාලයේ රාජකාරි කළ යුතුය. ක්ෂේත‍්‍රයේ රාජකාරිවලින් බැහැර විය යුතු අතර රජයේ කාර්යාලයකින් හෝ ආයතනයකින් සේවයක් අපේක්ෂා කරන ජනතාව මගහරින්නට ඉඩකඩ අවුරා දමයි.

වැඩ කරන රටක් වෙනුවෙන් රාජ්‍ය යාන්ත‍්‍රණය පණ ගැන්වීම අවශ්‍යය. පෞද්ගලික අංශය කාර්යක්ෂමව හා නිසි කළමනාකරණයකින් කටයුතු කරන බවට අද වන තෙක් ආකල්පයක් තිබේ. රජයේ සේවය දුර්වල හා ඉක්මනින් තීරණ නොගන්නා ව්‍යුහයක පවතින බව සලකයි. රජයට අයත් ඇතැම් අංශ ඉතා කාර්යක්ෂම හා වගකීමක් සහිතව කටයුතු කරන බව අවිවාදිතය. දුර්වල තැනක පවතින අංශ කාර්යක්ෂම කරගැනීම බලධාරීන්ගේ වගකීමකි.

රාජ්‍ය යාන්ත‍්‍රණය හදිසි අවස්ථාවලට පමණක් නොවේ

යුද කාල වකවානුව, සුනාමි තත්ත්වය හා තවමත් පහව ගියේ නැති කොවිඩ් -19 වසංගත තත්ත්වය අභිමුවෙහි රජයට අයත් ආයතනවල අවශ්‍යතාව කැපී පෙනිණි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යන අවස්ථා උදාහරණයක් විය. පෞද්ගලික අංශයේ බස් රථ නතරවන විට රජයේ ලංගම හා දුම්රිය සේවා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන අවස්ථා බහුලය. ඒවායේ සේවය කරන්නේ ද සාමාන්‍ය ශ‍්‍රමිකයන්ය. පෞද්ගලික අංශයට කැපවීම ගැන පාඩමක් කියා දෙන තරමට එම සේවා පවත්වාගෙන ගියේය. ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල කැපවීම සම්බන්ධයෙන් මෑත කාලයේ උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය. යුද බිමේදී තුවාල ලබන සෙබලා පමණක් නොව වසංගත තත්ත්ව හමුවේ අසාධ්‍ය වන ජනතාවගේ ද ජීවිත ගලවා ගැනේ. කාලවේලාවක් රහිතව සිය දරු පවුල් ගැන පවා නොතකා කරන සේවය ඉමහත්ය. ගෙවන දීමනා ගැන එම බාරධුර සේවය අතරතුර මැසිවිලි නගන්නේ නැත.

කෙසේ වෙතත් රජයට අයත් ආයතන අතර ඇතැම් අංශ ගැන ජනතාව කතා කරන්නේ කලකිරීමෙන් බව නොරහසකි. අලස නිලධාරීන් හා රාජකාරිය පැහැරහරින අවස්ථා ගැන නිතර වාර්තා වෙයි. එයින් ජන ජීවිතය අපහසුවට පත්වන බව පෙන්වා දිය යුතුය. රජයට අයත් ආයතනයකින් නිසි සේවයක් සිදු නොවන විට එහි අවසාන දෝෂාරෝපණය එල්ල වන තැනක් තිබේ. ජනතාව ආණ්ඩුවට දොස් තබන අතර ජනාධිපති, අගමැති හෝ ඇමැතිවරු මේවා ගැන සොයා නොබලන්නේ දැයි ප‍්‍රශ්න කරති. විශාල ජන වරමකින් බලයට පත්වන ආණ්ඩු ඉතා ඉක්මනින් පිරිහෙන අතර රාජ්‍ය ආයතන, රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩවලවල හැසිරීම එයට බලපාන එක් බරපතළ හේතුවකි.

රජයට අයත් ආයතන හදිසි අවස්ථාවලට සීමා විය යුතු නැත. පෞද්ගලික අංශයට තරගයක් දෙන වගකීමක් ඒවාට තිබේ. විශේෂයෙන් මුදලක් ගෙවා සේවයක් ලබා ගන්නා තැන් ඇත. පළාත්පාලන ආයතනයකින් යමක් කරගන්නා සෑම අවස්ථාවකම අය කෙරේ. නිවාස සැලැස්මක් අනුමත කරගැනීම විශාල අරගලයකි. නිවසක් තනන්නට යන කාලය හා සමාන කාලයක් ලියැකියැවිලි සකස් කරගන්නට වෙන්කරන්නට සිදුවෙයි. මුදලක් අය කරන විට හෝ ජනතා කැමැත්ත දිනා ගන්නා සේ ක‍්‍රියාත්මක වීම ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

රජයේ සේවයට ආයතන 400ක්

මිලියන විසි එකක් පමණ වන මෙරට ජනගහනයට සේවය සඳහා විශාල ආයතන ප‍්‍රමාණයක් තිබේ. මෙම ආයතන ගණන කොපමණ ද යත්, රජයට ඒවා ගැන නිශ්චිත අවබෝධයක් පවා නැත. මුදල් අමාත්‍යංශ ලේඛනවලට අනුව රජයට අයත් ආයතන ගණන හාරසියයක් බව දක්වයි. එහෙත් විගණකාධිපතිවරයා වෙනස් ඉලක්කමක සිටී. අමාත්‍යංශ සතු ආයතන ගැසට් කරන විට එහි ඇති ලේඛනය සසදන විට ජනතාවට පලක් නැති, වර්තමානයට නොගැලපෙන ආයතන ගණනාවක් නිරීක්ෂණය කළ හැකිය. තරුණ හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍යංශය යටතේ ජාතික තරුණ සේවා සමූපකාරය යනුවෙන් ආයතනයක් තිබේ. මෙම ආයතනය බිහි කරන්නේ තරුණයන්ට සමාගමේ කොටස් විකිණීමෙන්ය. වසර හතලිහකට කලින් කොටස් මිල දී ගත් තරුණයෙකුට අද එහි කොටස් අයිතිය එහි ලාභාංශ ගැන කිසිම අවබෝධයක් නැත. මෙම ආයතනයෙන් කරන සේවය ගැන තරුණ පරපුර නොදනිති. අලුත් ව්‍යුහයකට ඇතුළු වනවිට පරණ දේ අත්හරින්නට අවශ්‍යය. 

බන්ධනාගාර ප‍්‍රකිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන අමාත්‍යංශය යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයක් තිබේ. මෙම ආයතනය ස්ථාපිත කළේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලට පසු තරුණන් නැවත සමාජ ගත කිරීමටය. ආයතනය තවමත් නඩත්තු කරයි. එල්.ටී.ටී.ඊ තරුණන් පුනරුත්ථාපනය කරන ලද්දේ වෙනම ඒකකයකින්ය. මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය තවත් අංශයකි. මෙවර අමාත්‍ය මණ්ඩලයට අයත් විෂය පථය වෙන් කිරීමේදී රජයට අයත් ආයතන තුනක් අහෝසි කරන බව සඳහන්ය. මෙම තීරණය ද අවුරුදු ගණන් ක්‍රියාත්මක නොවී පැවැතිය හැකිය. පසුව ඒවා නැවත බලගැන්වෙයි. වී අලෙවි මණ්ඩලය දෙවතාවක් වසා දමා තිබේ’. පැරණි ආණ්ඩු ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතිය දී තිබේ. පසුව එම තීරණ වෙනස්කර නැවත පවත්වාගෙන යයි. මෙරට වී නිෂ්පාදනයෙන් සියයට දහයක කොටසක් හෝ මිල දී ගන්නට මණ්ඩලය අසමත්ය. නොබෝදා නිෂ්පාදන අරඹන ලද ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අයිතිය ගැන මාධ්‍ය ප‍්‍රශ්න කර තිබුණි. රජයට නිසි බලතල තිබේදැයි පැහැදිලි නැත. අනෙක මෙම කම්හල් පණගැන්වෙන විට අමුද්‍රව්‍ය කොතැනින්ද? ඇඹිලිපිටිය හා වාලච්චනේ කම්හල්වලට අමුද්‍රව්‍ය වශයෙන් ඉවත දමන කඩදාසි හා පිදුරු භාවිතා කෙරිණි. පිදුරු කමතට බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කරයි. පිදුරු ගිනි තැබීම පවා බරපතළ වරදකි. හේතුව කාබනික පොහොරකි. කඩදාසිවලට අමුද්‍රව්‍ය ආනයන කරන්නට සිදුවිය හැකිය. නොඑසේනම් මෙරට දැව ප‍්‍රයෝජනයට ගැනීමට සිදුවෙයි. එය අපරාධයකි. අනෙක වන ජීවි හා වන සංරක්ෂක අමාත්‍යංශයට දැව සංස්ථාවක් තිබේ. එහෙත් අමාත්‍යංශයේ කාර්ය හා කර්තව්‍යවල දැව කැපීම ගැන වචනයක හෝ සඳහනක් නැත. දැව කපන්නේ නැති සංස්ථාව පවත්වාගෙන යා යුතු ඇයි? 

අලුතින් හිතන්නට ඉඩ දෙන ව්‍යූහයක් හැදීම

ශ‍්‍රී ලංකාව ගමන් කරන්නේ සංවර්ධිත යුගයකටය. තාක්ෂණය හා නවීන ජීවිතය එහි තිබේ. විද්‍යාව එහි වැදගත් සාධකයකි. එහෙත් රජයේ ආයතන තවමත් පැරණි ව්‍යූහයකය. අලුත් ආයතන අවශ්‍ය අවස්ථාවක නිර්මාණය කිරීම සුදුසුය. එහෙත් පැරණි ආයතන ඈවර කිරීම අවශ්‍යය. පෞද්ගලික අංශයේ සමාගම් තමන්ට අවශ්‍ය අවස්ථාවල සමාගම් පිහිටුවයි. අනවශ්‍ය අවස්ථාවල ඒවා වසා දමා ප‍්‍රතිසංස්කරණයක නිරතවෙයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුවට අයත් ආයතනයක් සිමෙන්ති නිෂ්පාදනය කරන්නේ නැත. තිබුණ ආයතන පෞද්ගලීකරණය කර අවසන්ය. එහෙත් සංස්ථාව තිබේ. එහි අදහස පැහැදිලි නැත. කෘෂිකර්ම අමාත්‍යංශයට ඇල්කඩුව වැවිලි සමාගම අයත්ය. අනෙක් අමාත්‍යංශ වැවිලි අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත. ජාත්‍යන්තර සංවිධාන, ප‍්‍රදාන ආයතනවලින් ආරම්භ කරන ව්‍යාපෘති වෙනුවෙන් විවිධ අවස්ථාවල ආණ්ඩු ආයතන හදයි. ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු පවා ඒවා පවතී. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ආරම්භ කර ජනසවිය භාරකාර අරමුදලේ ව්‍යාපෘතිය අවසන්ය. එහි කොටස් තවමත් පවතී. ආයතනය ඈවර කිරීමෙන් පසු සේවකයන් පවා ඉවත් කරන ලද නමුත් සමහර කාර්ය මණ්ඩලය හා ගොඩනැගිලි තිබේ. මේවා නිසි ප‍්‍රයෝජනයක් රහිත අවස්ථා වශයෙන් දැක්වීම අවශ්‍යය.

අශෝක් ලේලන්ඩ් යනු ඉන්දීය සමාගමකි. එයට කොටස් හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමක් තිබේ. මෙම ආයතන දෙකම එකම බස් රථයක් හෝ බර වාහනයක් නිෂ්පාදනය කරන්නේ නැත. පවත්වාගෙන යන්නේ ඇයි? ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම අංශ දෙක පැවැරීමෙන් අයහපතක් වෙන්නේ නැත. අනවශ්‍ය කාර්ය මණ්ඩල හා නඩත්තුව රජයේ වියදම බව සඳහන් කළ යුතුය. අතිශය දුෂ්කර ආර්ථික පසුබිමක රට පවතින අතර එයට හේතුව කොවිඩ් වසංගතය හෙයින් උද්ගත වූ තත්ත්වයයි. මෙම අවස්ථාවේදී රාජ්‍ය ආයතන ගැන සොයා බලා ඒවා නියමානුකූලව පිහිටුවීම හා අවශ්‍ය වෙතොත් අහෝසි කිරීම ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාල වකවානුවකි. 

රජයේ වැය බර ගැන හිතන්නට ද අවස්ථාවක්

සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට වැඩිම මුදලක් වෙන්කර ඇත. එය රු. බිලියන 200 කි. විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ද තවත් රු. බිලියන 83 ක් වෙන්කර තිබේ. රජය් සේවකයන් හා විශ‍්‍රාම ගත් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රජය දරන පිරිවැය මෙයින් පැහැදිලිය. එවැනි පසුබිමක් තිබිය දී පවා අලුතින් අඩුම ආදායමක් ඇති පවුල්වලින් වෘත්තිකයන් ලක්ෂයක් සේවයට බඳවා ගත් අතර උපාධිධාරීහු පනස් දහසකට පත්වීම් දෙන තීරණයක් ගෙන ඇත. ඉදිරියේදී රජයේ වියදම් තවත් ඉහළ නැගේ. මෙම සියලු දෙනා වෙනුවෙන් වැටුප්, දීමනා පමණක් නොව කාර්යාල ඉඩ පහසුකම් පවා ප‍්‍රශ්නයකි. හේතුව එම වියහියදම් වෙනුවෙන් බර දරන්නේ ජනතාව වීමයි. ජනතාවගෙන් අය කරන බදුවලින් රාජ්‍ය අංශයේ වියදම් කළමනාකරණය වෙයි.

වාර්තා පෙන්වන අන්දමට ශ‍්‍රී ලංකාව යනු ජනගහන අනුපාතය අනුව වැඩිම රජයේ සේවක පිරිසක් සේවය කරන රටවල් ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටකි. මෙම පිරිසගෙන් ලබාගත යුතු සහාය වැදගත්ය. ජාතික ආර්ථිකය නගා සිටුවන අතර ජාතික නිෂ්පාදනයට වහල් කරගත යුතුව තිබේ. එය කළ හැකි පවතින රාමුවට වෙනස්ව හිතන වැඩපිළිවෙළකින් පමණකි.

අද පවතින දියුණු තාක්ෂණය අනුව කාර්යාලයක් අවශ්‍යම නැත. නිවසේ සිට සේවය කරන සංස්කෘතියක් ලෝකය පුරා පැතිර යමින් තිබේ. අනෙක එයින් ඉතිරිවන ඉඩකඩ විශාල ආර්ථිකයකි. ලෝකයේ අලුත්ම ව්‍යවසාය අනුව ඉඩකඩ අලෙවිකිරීම එක වැදගත් ක‍්‍රියා පටිපාටියකි.  ඕනෑම තැනක ඇති කුඩා ඉඩක් හෝ වෙනත් තාවකාලික දෙයකට පැවැරිය හැකිය. සියලු යටිතල පහසුකම් සහිත තැන්වලට ඉල්ලීමක් තිබේ. එවැනි පසුබිමක රජයට අයත් ගොඩනැගිලි, ඉඩකඩම් විශාල ප‍්‍රාග්ධනයකි.

තාවකාලිකව විවිධ මෙහෙවර වෙනුවෙන් පැවරීමෙන් ආදායමක් උපයා ගත හැකිය. අනාගතයේදී ආර්ථිකය සක‍්‍රීය වන අවස්ථාවේදී මෙවැනි පැති වෙනුවෙන් සූදානම් වීම සුදුසුය. ජනතාවගේ බදුවලින් පමණක් නොව මෙවැනි අලුත් අදහස්වලින් අයවැය සකස් කරගතහොත් විශාල වාසියක් වනු නොඅනුමානය.


ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02