මැටි කර්මාන්තයට ඈත ඉතිහාසයක් ඇත. බොහෝවිට පාරම්පරික වෘත්තියක් ලෙසින් හැඳින්වූ මැටි කර්මාන්තයෙන් ජීවිතය දිනූ මිනිසුන් ඕනෑතරම් අතීතයේ සිටියහ. අතීතයේ සඳහන් වන පරිදි මැටි බඳුනේ මූලාරම්භය සිදුවන්නේ අලියකුගේ පා සටහනක් පදනම් කොටගෙනය. දුරාතීතයේ මිනිසුන් ගින්නෙන් සතුන් පුළුස්සා ආහාරයට ගෙන තම බඩගින්න නිවාගත්හ. මැටි පොළොවක සටහන්ව තිබූ අලියකුගේ පා සටහන ඉතා සියුම් ලෙස ආදිවාසීහු පොළොවෙන් වෙන්කර ගත්හ. එයට ජලය පුරවාගත් ආදි මානවයා පසුව අලයක් දමා ගින්නට මැටි තැටිය අල්ලා අලය පුළුස්සා ගත්හ. ගින්නෙන් මැටිය තදවී අමුතු ඝනකමක් එකතු විය. මෙය කල් යාමේදී ආහාර පුළුස්සා ගන්නට කදිම බඳුනක් යැයි ඔවුන් සිතන්නට ඇත. මැටියේ සටහන් වූ අලි පා සටහන පසු කාලයේදී මැටි බඳුනක් වූවා යැයි පැරුන්නෝ අද පවා විශ්වාස කරති.
ශ්‍රී ලංකාවේද කලක් ප්‍රධාන ජීවනෝපායක් ලෙස මැටි කර්මාන්තය පැවතිණි. නමුත් විවිධ කරුණු කාරණා ඔස්සේ එය අභාවයට යන රැකියාවක් බවට පත්විය. කුඹල් සක (සකපෝරුව) අද දක්නට ලැබෙන්නේ ඉඳහිට ඇතැම් ප්‍රදේශවල පමණි.
අදටත් මැටි කර්මාන්තයේ නියැලෙන අපූරු ගමකට දේශය අපි පසුගිය දිනෙක පියනැගුවෙමු. යක්කල, වීරඟුල ප්‍රදේශයේ අදටත් මැටි කර්මාන්තයෙන් තම ආර්ථිකය සරිකරලන පවුල් 35ක් පමණ ජීවත් වෙති. ඔවුන්ගෙන් බොහොමයක් පාරම්පරිකව මෙම රුකියාවේ නියැලෙති.
“මුලින්ම අපේ ජනාධිපතිතුමාට වීරඟුල අපි හැමෝම ස්තූති කරන්න ඕනෙ. නිදහසින් පස්සේ අපේ කර්මාන්තයට වෙනම අමාත්‍යාංශයක් හදලා එයට ඇමැතිතුමෙක් පත්කිරීම ගැන අපි හැමෝම එතුමාට පින් දෙනවා. මේක පාරම්පරික කර්මාන්තයක්. නමුත් අද මේ රැකියාව කරන එක හරි ප්‍රශ්නයක් වෙලා. කොරෝනාවෙන් පස්සේ රැකියා ප්‍රශ්න ඇතිවුණා. මැටි කර්මාන්තයට තියෙන ලොකුම ගැටලුව තමයි මැටි ප්‍රශ්නය. අපේ ගමේ ඉන්න එක මනුස්සයෙක් හරහා තමයි මැටි ටික අපිට ලැබෙන්නේ. බැරි වෙලාවත් ඔහු මේක නොගෙනාවොත් මේ ගමට මැටි නැහැ. මෙහෙට මැටි ගේන්නෙ කටානෙන්. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට මැටි නැති එක.” වීරඟුල ශිල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. විමලසිරි දේශයට අදහස් දක්වමින් පැවසීය.
විමලසිරි පාරම්පරික මැටි කර්මාන්තයේ නියැලෙන ගැමියෙකි. විමලසිරිගේ සීයාගේ පටන් මේ රැකියාවේ නියැළුණු වීරඟුල ගම්වාසීහු සිටිති. විමලසිරිගේ නිවෙසේ මුලින්ම “අත් සකපෝරුවක්” විය. කාලයකට පසුව විමලසිරිගේ පියා “පා සකපෝරුවක්” නිවෙසට මිලදී ගත්තේය. වර්තමානයේදී විමලසිරි මැටි කර්මාන්තයේ නියැලෙන්නේ විදුලි සකපෝරුවෙනි. තම පියා නිවෙසේ පා සකපෝරුවෙන් මැටි භාණ්ඩ අඹද්දී කුඩා විමලසිරි ළඟ දැවටෙමින් තම කුඩා පාදයෙන් සකපෝරැව කරකැවූ හැටි අදටත් විමලසිරිට මතකය. විමලසිරිගේ අධ්‍යාපනික කටයුතුවලට අවශ්‍ය කරන පොත්පත් පවා ඔහු මිලදීගෙන ඇත්තේ තම මව්පියන්ගෙන් මැටි ස්වල්පයක් ඉල්ලා පා සකපෝරුවෙන් හැදූ කුඩා මුට්ටි, පහන්තැටි ජාඇළ මස්සිනාගේ කඩයට විකුණාගත් මුදලෙනි. කුඩා කල සිටම විමලසිරි මේ පාරම්පරික රැකියාවට ප්‍රිය කළේය. අද වෙද්දී ඔහුට ද එම අත්ගුණය මැනවින් පිහිටා ඇත.
“මැටි ටික ගෙනත් දෙන නිසා අපිට පොඩි සහනයක් ලැබිලා තියෙනවා. ගමේ මිනිස්සු ඔහුගෙන් මීට වඩා සහනදායී මිලකට මැටි ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා. නමුත් ඔහුට තනියම ඒක කරන්න අමාරුයි. සහනදායී මිලකට දෙන්න නම් මේ පිළිබඳව ක්‍රමවත් බවක් තියෙන්න ඕනේ. ඒ කටයුත්තට රජයෙන් මැදිහත් වෙනවා නම් ගොඩක් හොඳයි. රජයෙන් මැටි ගන්න තැන් ලබාදෙනවා නම් මීට වඩා සහනදායී මිලකට මැටි ටික අපිට ගන්න පුළුවන් වෙනවා. මේ අමුද්‍රව්‍යවල මිල ගණන් ගැටලුව නිසා මේ මැටි කර්මාන්තය අභාවයට යනවා.” යැයි එම්. විමලසිරි මහතා පවසයි.
ඔහු පවසන පරිදි මැටි භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් වෙළෙඳපොළේ පවතී. නමුත් ලැබෙන ඉල්ලුමට අනුව සපයන්නට ඔවුන්ට නිෂ්පාදන නැත. ඉල්ලුමට ලබාදෙන්නට මැටි භාණ්ඩ ඔවුන්ට නැත. එයට ප්‍රධාන ගැටලුව වන්නේ අමුද්‍රව්‍යවල ගැටලුවයි.
“හැම බැංකුවකින්ම ණය මුදල් ලබාදෙන බවට විවිධ දැන්වීම් පළවෙනවා. නමුත් අපි වගේ අයට ණය දෙන්න ඔය එක බැංකුවක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රැකියාව දියුණු කරගන්න අපි මොනතරම් බැංකුවලට කකුල් කැඩෙනකම් ගියාද? මැටි නිෂ්පාදනකරුවන්ව ගණන් ගන්නේ නැහැ. කිසිම බැංකුවකින් අපිට සහනදායී ණය මුදලක් ලබා දුන්නේ නැහැ. බැංකුවලින් අපේ ගිණුම්වල මුදල් තියෙනවාද අහනවා. එහෙම ගිණුම්වල සල්ලි තියෙනවා නම් අපි ණය ඉල්ලගෙන බැංකුවලට යයිද? රටේ නැති ලියවිලි අපෙන් ඉල්ලනවා. බැංකුවලට ගියාම අපි හරි අසරණ වෙනවා. මේ ගොඩක් මිනිස්සු මේ රැකියාව දියුණු කරගන්නේ පොලියට සල්ලි අරගෙනයි. එහෙම පොලියට සල්ලි අරගෙන මේවා පවත්වාගෙන යන්න බැහැ. මැටි කර්මාන්තය දියුණු කරන්න යම් බැංකුවකින් සහනදායී ණය මුදලක් ලබාදෙනවා නම් ඒක අපි වගේ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට ගොඩක් වටිනවා.” විමලසිරි මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
බොහෝ රජයේ හා පෞද්ගලික බැංකු තම නාමය ප්‍රචලිත කරලීමට සුළු පරිමාණ නිෂ්පාදකයන්ට සහනදායී ක්‍රමයට ඉතා ඉක්මනින් ණය මුදල් ලබාදෙන බව විවිධ දැන්වීම් ඔස්සේ පළ කළද ණය මුදලක් ගන්නට බැංකුවට ගොස් විඳිනා දුක අත්දැකීමෙන් ලත් විමලසිරිලා ඕනෑතරම් වීරඟුල ගම්මානයෙන් අපට මුණගැසුණි.
වීරඟුල ගම්මාන වැසියෝ කිරි උතුරන මුට්ටි, පහන්තැටි, ආරක්ෂක මුට්ටි, පාත්‍ර වර්ග කැට වැඩිපුර නිෂ්පාදනය කරති. ඒවා සඳහා හොඳ ඉල්ලුමක්ද පවතී. නමුත් එම ඉල්ලුමට අනුව සැපයීමට නිෂ්පාදන නැත.
පාරම්පරිකව පැවතගෙන ආ මෙම මැටි කර්මාන්තයට වර්තමානයේ සිටින තරුණ තරුණියන්ගේ නැඹුරුවක් ඇත්තේම නැත. බොහෝ තරුණයෝ මෙම කර්මාන්තයෙන් අද ඈත්වී සිටිති. ගැටලු මතුවෙද්දී බොහෝ තරුණයෝ වෙනත් රැකියාවල නිරතවන්නට උත්සාහ ගනිති. ඇතැම්හු ගමෙන් ඈත්වූහ. ඇතැම්හු විදෙස්ගත වූහ. තම පාරම්පරික රැකියාවෙන් යම් සාධාරණ ආර්ථිකයක් තමන්ට නොලැබෙද්දී වෙනත් රැකියාවල නිරතවන්නට උත්සාහ දැරීමේ වරදක් නැත. නමුත් මෙම පාරම්පරික කර්මාන්තය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීම අදාළ වගකිවයුත්තන්ගේ වගකීමය.
“මම මේ මැටි කර්මාන්තය පටන් අරගෙන දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. මගේ අම්මලාත් මේ රැකියාවේ නිරත වුණා. හැබැයි මම වීරඟුලට ආවාට පස්සේ තමයි මේ රැකියාව පටන් ගත්තේ. පරම්පරාවෙන් ඇඟෙන්ම එන කලාවක් නිසා අපිට මේක කරන්න පුළුවන්. මම මුලින්ම අත් සකපෝරුව පාවිච්චි කළේ. මැටි කකුලෙන් පාගලයි පදම් කර ගත්තේ. ඊටපස්සේ පා සකපෝරැව පාවිච්චි කළා. දැන් අපි මැටි කර්මාන්තයේ නියැලෙන්නේ විදුලි සකපෝරුවෙන්. ඒක හරි පහසුයි. අපේ ගෙදර දැනටත් ඒ සකපෝරු තුනම තියෙනවා. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාම තාම ඉගෙන ගන්නවා. ඒ හැමදේම අපි කරන්නේ මේ මැටි කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන්. අමුද්‍රව්‍යවල ගැටලුව නිසා තමයි උපරිම ලාභයක් නැත්තේ. හරියට අපිට පහසුකම් ලැබුණොත්, රජයෙනුත් අපිට මේ වෙනුවෙන් උදව් කළොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපි හදන බඩු අපිම තමයි වෙළෙඳාම් කරන්නේ. අපි පිටට බඩු දෙන්නේ නැහැ. ආරක්ෂක මුට්ටි, පහන්තැටි, කිරි මුට්ටි වගේම විසිතුරු භාණ්ඩත් මම හදනවා.” යැයි වීරඟුල මැටි කර්මාන්තයේ නියැලෙන පුෂ්පලතා මහත්මිය අදහස් දක්වමින් පැවසීය.
“මෙම ප්‍රදේශයේ බොහෝ කාලයක සිටම මේ මිනිසුන් මැටි කර්මාන්තයේ නියැලිලා ඉන්නවා. මේ ගමේ මැටි කර්මාන්තයේ නියැලෙන පවුල් 35ක් පමණ දැනටත් ඉන්නවා. මේ බොහෝ දෙනෙක් පාරම්පරිකයි. ඉස්සර මේ ප්‍රදේශයේ වළං නිෂ්පාදනයත් කරලා තියෙනවා. නමුත් අමුද්‍රව්‍යවල ගැටලු නිසා මේ වෙද්දී වැඩිපුරම නිෂ්පාදනය වෙන්නේ පහන්තැටි, ආරක්ෂක මුට්ටි, කිරි මුට්ටි වගේම විසිතුරු භාණ්ඩයි. සිංහල අලුත් අවුරුදු කාලයට කිරි උතුරන මුට්ටිවලට හොඳ ඉල්ලුමක් වීරඟුල ප්‍රදේශයට තියෙනවා. අලෙවිය පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් අමුද්‍රව්‍යවල ගැටලු නිසා බොහෝ දෙනෙක් දැන් මේ රැකියාවෙන් ඉවත්වෙලයි ඉන්නේ. සමහර කාලවලදී ඉල්ලන ප්‍රමාණයට දෙන්න නිෂ්පාදන අපි ළඟ නැහැ. ජාතික ශිල්ප සභාවෙන් මේ ගමේ මිනිස්සුන්ට අඩුපාඩු වුණු වැඩමඩු, භාණ්ඩ පුළුස්සන පෝරණු, විදුලි සකපෝරු ලබා දුන්නා. ගමේ සමහර ගෙවල්වල අත් සකපෝරු, පා සකපෝරු දැනටත් තියෙනවා. නමුත් ඒවායින් වැඩ කරන්නේ හරිම අඩුවෙන්. දැන් බොහෝ නිවෙස්වල විදුලි සකපෝරුවක් තියෙනවා. මේ කර්මාන්තයේ තියෙන ලොකුම ගැටලුව අමුද්‍රව්‍ය හිඟකමයි. ඇතැම් කාලවලදී අලෙවි අපහසුකම් පවතිනවා. වෙළෙන්ඳන් ඇවිත් මේ නිෂ්පාදන මිලදීගෙන අරගෙන යනවා. මේක ඉතා වටිනා කර්මාන්තයක්.” යැයි ජාතික ශිල්ප සභාවේ උපදේශකවරියක් වන නාලිකා අමරසේන දේශයට අදහස් දක්වමින් පැවසීය.
බොහෝ දෙනකු තම නිවෙසේ සිට මෙම නිෂ්පාදන කටයුතු සිදු කරන අතර ඇතැම්හු වීරඟුල ජාතික ශිල්ප සභාවට පැමිණ එම විදුලි සකපෝරුව හා පෝරණු උපයෝගී කර ගනිමින් තමන් මිලදී ගත් මැටි ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනයේ නියැලෙති. ප්‍රියංකා චාන්දනී ද එලෙස ජාතික ශිල්ප සභාවේදී අපිට මුණගැසුණු එවැනි තැනැත්තියකි. විදුලි සකපෝරුව මගින් නිදහසේ අපූරු මල් බඳුනක් නිර්මාණය කළ ප්‍රියංකා එය සාදා අවසානයේදී අප සමඟ දොඩමළු වූවාය.
“මම දැන් මේ කර්මාන්තය පටන්ගත්තේ අවුරුදු තිහකට පමණ උඩදීයි. මම මේ හැමදේම පුහුණු වුණේ ජාතික ශිල්ප සභාවෙන්. මම රැකියාවක් කරන්න ආස කළේ නැහැ. පුංචි කාලේ ඉඳන් මම මෙතනට ඇවිත් මේ උගන්වන දේවල් අහගෙන බලාගෙන හිටියා. පසුව මම මෙතන මාස හයක් පුහුණුව ලැබුවා. ඊටපස්සේ මමත් මේ භාණ්ඩ නිෂ්පාදනය කළා. මුලින්ම මම පුංචි පහන්තැටියක් තමයි හැදුවේ. දැන් මට බොහෝ භාණ්ඩ හදන්න පුළුවන්. දැන් මගේ අත මේ මැටියට හොඳට හුරුයි.” යැයි ප්‍රියංකා පැවසුවාය.
කෙසේ වුවද අද වීරඟුල ගම්මානයේ වැසියන්ට බලාපොරොත්තුවක් ඇත. අභාවයට ගිය තම කර්මාන්තය නගාසිටුවීමට වත්මන් ජනපති පත්කළ අමාත්‍යාංශය හරහා තම ගැටලුවලට විසඳුම් ලැබේවි යැයි ඔවුහු විශ්වාස කරති. පාරම්පරික කර්මාන්තයක් වූ අභාවයට යන මැටි කර්මාන්තයේ හෙටදවස කෙබඳු වේවිද? ඔවුහු නොපෙනෙන අනාගතය දෙස දෑස් දල්වා බලා සිටිති.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ
අමුද්‍රව්‍ය ගැටලුවට අපි විසඳුමක් දෙනවා
- රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර
“යක්කල වීරඟුල ගම්මානයේ මැටි කාර්මිකයන්ගේ ගැටලු පිළිබඳව අපි එම ගම්මානයට ගිය වෙලාවේ ඒ කර්මාන්තකරුවන් හා සාකච්ඡා කළා. බොහෝ කාලයක් නොසලකා හැර තිබූ මෙම කර්මාන්තය සඳහා වර්තමාන රජය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබීම ගැන මෙම ශිල්පීන් බොහෝ අගය කළා. මොවුන්ගේ විශාල ගැටලුව වන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලුවයි. ඒ වගේම මැටි ප්‍රවාහනයේදීත් බලපාන ගැටලු සාකච්ඡා වුණා. මේ සියලු ගැටලු සඳහා ලබාදිය හැකි ප්‍රායෝගික විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කරමින් පවතිනවා.” යැයි වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.