2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

වනාතවිල්ලුවේ කැලෑව වැනසුවේ සිමෙන්ති සංස්ථාව?

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

වනාතවිල්ලුව ඉරට්ටමෝට්ටේ ප්‍රදේශයේ කැලෑ කැපීම හේතුවෙන් අටදෙනකු වනාතවිල්ලුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත් අඩංගුවට පත් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

1952 සහ 1977 දී එවකට කර්මාන්ත ඇමතිවරයා සිමෙන්ති සමාගමට විශාල වශයෙන් වනාන්තර ඉඩම් අක්කර 5800ක් පවරා දෙමින් නීත්‍යානුකූලව එම ඉඩම් ගැසට් කළේය.

වනාන්තරයක් වන මෙම ඉඩම වනාන්තරය ඉවත්කර හුණුගල් කැපීම සඳහා සමාගමට ලබා දී ඇත. හුණුගල් ඉවත් කිරීමෙන් පසු ඉඩම ප්‍රතිසංස්කරණය කර නව එකක් බවට පත් කළ යුතු යැයි කියනු ලැබේ.

කෙසේ වෙතත්, සිමෙන්ති සංස්ථාව හුණුගල් ගල් කැණීම සඳහා ඉඩම පෞද්ගලික සමාගමකට බදු දී ඇති අතර එම සමාගම වරින්වර හුණුගල් ගල් කැණීමේ සමාගම්වලට එය බදු දී තිබේ. දැනට මෙහි හුණුගල් හාරන තුන්වැනි සමාගමයි. සමාගමට ඉඩම බදු දීමෙන් සිමෙන්ති සංස්ථාව මුදල් උපයන බව පැහැදිලිය. නමුත් ගිවිසුමේ නියමයන් සපුරාලීමේදී අදාළ කොන්දේසි සපුරා ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වා නැත.

කොන්දේසි ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස හුණුගල් කැඩීම නැවත සක්‍රීය කර නොමැති කොටසක අරුවක්කාඩුව කසළ අංගණයද ඉදිවෙමින් පවතී. රජයෙන් සිමෙන්ති සමාගමට නීත්‍යානුකූලව පවරා ගත් මෙම ඉඩම ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම වුවද, ප්‍රදේශයේ සමහර පුද්ගලයෝ ඔවුන්ගේ නොසැලකිලිමත්කම ප්‍රයෝජනයට ගෙන කැලෑව කපා ඉඩම අල්ලා ගැනීමට යොමු වී සිටිති. අක්කර 5800ක මෙම භූමියේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම්වරයා වගකිව යුතු නැති බව පැවසිය යුතුය.

මෙම කැලෑ එළිපෙහෙළි කිරීම අද ඊයේ සිදුවූවක් නොව කාලයක පටන් සිදුවූවක් බව ප්‍රදේශවාසීහු පවසති. සිමෙන්ති සමාගමේ ඉහළ නිලධාරීන් ඇස්කන් පියාගෙන සිට දැන් ඔවුන්ගේ දෑස් විවර කර වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කිරීම සතුටු විය හැකිය. කාලයක පටන් සිදුවූ මෙම කැලෑ විනාශයට වගකිවයුත්තෙක් නැත.

වනාන්තර විනාශයට අත් අඩංගුවට පත් වූ අය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් වසර විස්සක පමණ කාලයක් තිස්සේ වෙනස්කම් සිදුකරමින් ක්‍රමානුකූලව තම භූමි ප්‍රමාණය වැඩි කරමින් වගා කටයුතු කරමින් සිටින බවයි. එසේ නම් මෙහි වරදකරුවන් වන්නේ කැලෑ කැපීමට ඉඩදී බලා සිටි සිමෙන්ති සමාගමයි. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ කටයුතු ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දේශපාලන අධිකාරිය රැස්වීමකදී කියා සිටියේ මෙම සිද්ධියට දේශපාලනඥයකු හෝ ඔහුගේ ආධාරකරුවන් සම්බන්ධ වන්නේ නම් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ පරිසරය විනාශ කිරීම මේ වනවිට ඉහළ මට්ටමක පවතින බවත් දේශපාලන කරන අය බූරුවන්ද යන්න සමහරු අසන බවත් අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය. තරාතිරම නොබලා පරිසරයට හානිකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එවැනි වනාන්තර විනාශ කිරීමට දේශපාලනඥයන්ට අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් (දේශය) වෙනුවෙන් අපි මේ පිළිබඳව විමසීමු.

“මෙම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති රජයේ රක්ෂිතයක් නොවේඑම ඉඩම 1977දී රජය විසින් සිමෙන්ති සංස්ථාවට ලබාදෙන ලද එකක්. මේක දීලා තිබෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති බලතල සමඟ. මේ ඉඩමට සිමෙන්ති සංස්ථාව වගකිව යුතුයි. සංස්ථාව වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ පොලිසියට පවරා ඇති බලතලවල නෛතික රාමුව තුළයි. නීතියේ ඉඩක් තිබේ නම් රජයේ නිලධාරීන් වශයෙන් අපට කළ හැකි දේ පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් අප විමසූ විට ඔහු මෙසේ පැවසීය.

“වන විනාශයක් සිදුවී තිබෙනවා. පලු, මිල්ල, කොහොඹ වැනි ගස් කපා තිබෙනවා. ප්‍රමාණය නම් අපි මැනුම් කරලා නැහැ. විශාල ප්‍රමාණයක් කපලා තිබෙනවා. 2009 අංක 65 වැනි සංරක්ෂණ සංශෝධන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බලයක් නැහැ. මන්ද එම ඉඩම රජය විසින් සිමෙන්ති සමාගමට ලබාදී තිබීම නිසා. විශාල කැලෑවක් තිබෙනවා. යම් ක්‍රමවේදයක් සකස් කරලා මේක ආරක්ෂා කරනවා නම් හොඳයි.”

සිද්ධිය මාකට් කරන්න දේශපාලනය ගාවාගෙන

ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙයට සම්බන්ධ බවට කතාබහට ලක්වීම නිසා අප වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතාගෙන්ද මේ පිළිබඳ විමසුවෙමු.

“මේ කැලෑ කැපීමට කිසිම දේශපාලනඥයෙක් සම්බන්ධ නැහැ. ගමේ අය තමයි හේන් වගා කරන්න සුද්ද කරලා තිබෙන්නේ. මේ අගෝස්තු මාසෙ හේන් කරන්න කැලෑ සුද්ද කරනවා. මේ අය හේන් කරන්න ගිහින් වැඩියෙන් කපාපු එකයි වරද. අපි මේක හරියි කියලා කියන්නේ නැහැ. නමුත් මේකට දේශපාලනය ගාවලා ටිකක් ඩිවලප් කරපු එකයි කළේ. මේ සිද්ධිය මාර්කට් කරන්න හින්දා දේශපාලනය ගාව ගන්නවා.

යම් වැරැද්දක් කවුරු හරි කරනවා නම් පෙන්නන ඒක හොඳයි. නමුත් ඇත්ත විකෘති කරලා එක එක්කෙනා බොරු පුවත් මවනවා. හැබැයි ඇත්ත ඇතිසැටියෙන්ම ජනතාවට දැනගන්න සලස්වන එක මාධ්‍යයක වගකීම කියලා මම හිතනවා. මේ ලිපිය කියවන කොට ජනතාවට ඇත්ත තේරෙයි. ප්‍රාදේශීය දේශපාලනය ඈඳාගෙන කතාකරපු කවුරුවත් අපෙන් ඇහැව්වෙ නැහැ. අපෙන් ඇහැව්වා නම් ඇත්ත මොකක්ද කියලා කියනවා. ඔය පරිසරවේදීන් කියලා ආවේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ ජේ.වී.පී. මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක්. එහෙම හරි කමක් නැහැ, මේ වගේ දේවල් කතා කරන්න ඕනෑ. නමුත් ඇත්ත වහල බොරු ඉස්මතු කරලා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන්ව ගාවගෙන කරපු එක නම් යුක්ති සහගත නැහැ. මම කියන්නේ කවුරු හරි වරදක් කරලා තිබෙනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට බලයක් තිබෙන.වා ඒක කරන්න කියලා මම කියනවා.”

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමේදී වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ සිමෙන්ති සමාගම කළ පැමිණිල්ල අනුව සැකකරුවන් අටදෙනකු අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරැවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්ය.

 රෝවන් පෙරේරා පුත්තලම

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02