2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

ඉර දිහා බලාගෙන හඳ කියා කියන විග්නේෂ්වරන්ගේ දෙමළ භාෂා කතාව

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

නව පාර්ලිමේන්තුවේ පළමු සභා රැස්වීමේදී කථානායකට සුබ පැතුම් එක් කරමින් මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවැත්වූ කතාව ගත යුත්තක් නොවන බව අපගේ හැඟීමය. දෙමළ භාෂාව ලෝකයේ පැරුණිම සහ රටේ මුල්ම භාෂාව හා රට නිජභූමිය කරගත් මුල්ම භාෂාව ලෙස ඔහු හැඳින්වූවේය.

මෙසේ රටේ මුල්ම භාෂාව හා ලෝකයේ පැරැණිම භාෂාව ලෙස පැවසිය හැකිදැයි මම අප රටේ ප්‍රකට වාග් විද්‍යා මහාචාර්යවරයකුගෙන් ඇසුවෙමි. ඕක හරියට පොඩි ළමයෙක් ඉර දිහා බලාගෙන හඳ කියනවා වගේ බොළඳ කතාවක්. ගත යුත්තක් නෑ.ඔහු කීවේය.

මීට වර්ෂ 3000කට පෙර පටන් දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවේ වාසය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙන බවත් විග්නේෂ්වරන් පවසයි. මහාවංශයේ සඳහන් කරුණු සාක්ෂි සහිතව ඔප්පු කර නැති බැවින් එය පිළිගත නොහැකි බවද ඔහු පවසා සිටියි. මෙය තමන්ගේ වාසියට උතුරේ ජනතාව ඇන්දවීම සඳහා ටොම්පච දෙසාබෑමක් මිස තාර්කික කරැණක් නොවේ. මහාචාර්ය නලින්ද සිල්වා සඳහන් කර තිබුණේ ඒ කතාව ඇත්ත නම් ආදම් සහ ඒවා ද දෙමළ කතා කරන්නට ඇති බවය. මෙය නිජබිම් සංකල්පය නම් පිළුණු මතවාදය කරළියට ගෙන ඒමට දැරූ උත්සාහයකි. එහෙත් ඒ උත්සාහයට එදා පාර්ලිමේන්තුවේ සභාගැබෙන් විරෝධතාවක් එල්ල නොවීම නිසා ඔහුගේ අරමුණට එතරම් උණුසුමක් ලැබුණේ නැත.

හිටපු මන්ත්‍රී එස්.ජේ.වී. චෙල්වනායගම් 50 – 60 දශකවලදීත් ඒ. ආමිර්තලිංගම් 1970 – 80 දශකවලදීත් කරළියට ගෙන ඒමට උත්සාහ කළේ මෙයය. චෙල්වනායගම් රට සභා හරහා වෙනම රාජ්‍යයකට පාර කැපූ අතර, පසුව වේලුපිල්ලේ ප්‍රභාකරන් ආයුධ අතට ගෙන ඊළම ලබාගැනීමට උත්සාහ කළේ රටට මහා විනාශයක් කරමිනි. එහෙත් ඉතිහාසය විමසන විට පෙනෙන්නේ ක්‍රි.ව. 10 වැනි සියවසෙන් එපිට ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයන් සිටියත් පුළුල්ව පැතිරුණු දමිළ ජනාවාස කිසිවක් නොපැවති බවය. 10 වැනි සියවසින් පසුව පොළොන්නරැව රාජධානියට දකුණු ඉන්දියාවෙන් එල්ල වූ චෝල ආක්‍රමණ නිසා පුළුල් දෙමළ සංක්‍රමණයක් සිදුවූ බව ශ්‍රී ලංකාවේ දමිළ ජනාවාස පිළිබඳ අධ්‍යයනයක් කළ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පවසයි.
13 වැනි සියවසට පෙර ලියන ලද කිසිදු පාලි හෝ දෙමළ කෘතියක යාපනයේ පිහිටා තිබූ වෙනම ස්වාධීන රාජ්‍යයක් ගැන සඳහන් නොවේ. යාපනය පාලනය කළ රජකු ගැන මුල්වරට සඳහන් වන නිකාය සංග්‍රහය ලියා ඇත්තේ 14 වැනි සියවසේදීය. 13 වැනි සියවසට පෙර කාලයට අයත් චෝල පාණ්ඩ්‍ය ආදී ඉන්දියානු සෙල්ලිපිවල ඊළාම් හෙවත් ශ්‍රී ලංකාව ගැන සඳහන් වුණත් උතුර වෙනම රාජ්‍යයක් වශයෙන් සඳහන් නොවේ. ක්‍රි.ව. 1263 පමණ වනවිටත් යාපනයේ පැවතියේ රටේ අගනුවර සිට පාලනය වන ප්‍රාදේශීය රාජ්‍යයකි. වසභ රජ සමයට (ක්‍රි.ව. 2 සියවස) අයත් වල්ලිපුරම් රන්පත, කදුරැගොඩින් හමුවූ අක්ෂර සහිත වළං කැබැල්ල, (ක්‍රි.පූ. 2 සියවස), කදුරැගොඩ අත්තානි කණුව (ක්‍රි.ව. 898 – 914), තුනුකායි සෙල්ලිපිය (ක්‍රි.ව. 914 – 923) යන සෙල්ලිපි සියල්ල සිංහල භාෂාවෙන් රචිත ඒවාය. ඒ අනුව පෙනෙන්නේ දිවයිනේ වෙනත් ප්‍රදේශවල පැවති ශිෂ්ටාචාරයට වෙනස් ලක්ෂණ සහිත දෙමළ ශිෂ්ටාචාරයක් යාපනයේ නොතිබුණු බවය. අනුරාධපුරයේ අභයගිරියේ සෙල්ලිපි දෙකක ද දෙමළ බෞද්ධ උපාසකයන් ගැන සඳහන්ය. ඒත් ඒ සෙල්ලිපි ලියා ඇත්තේ සිංහලෙනි. යාපනයේ දෙමළ බෞද්ධයන් සහිත රාජ්‍යයක් පැවතියා නම් ඔවුන් සිංහලෙන් සෙල්ලිපි පිහිටවූයේ ඇයිද යන්න ගැටලුවකි.

අනුරාධපුර යුගයෙන් පසු දෙමළ ශිලා ලේඛන කිහිපයක් යාපනයෙන් හමුවේ. කයිට්ස් ශිලා ලේඛන, යාපන කොටුවේ ශිලා ලේඛනය ඒවා වේ. එම ලේඛන 11 වැනි සියවසට අයත් අක්ෂරවලින් රචනා වී තිබේ. ඒවා අනුරාධපුරය යටත් කරගත් දකුණු ඉන්දියානු ආක්‍රමණික චෝල රජවරු වන රාජ රාජ චෝල සහ රාජේන්ද්‍ර චෝල රජ යුගයන්ට අයත් වේ. ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙරින් ද මේ රජවරැන්ට අයත් දෙමළ සෙල්ලිපි 18ක් හමුව තිබේ. එම දෙමළ ශිලා ලේඛන මගින් ද මහාවංශයේ කරුණුවල සත්‍යතාව හෙළිදරව් වේ. මහාවංශයේ විජයබාහු රජු චෝල රජවරු පරාජය කිරීමේ පුවත සඳහන් වන අතර ඊට පසු පළමුවැනි පරාක්‍රමබාහු රජු නාගදීපයේ දෙමළ බසින් ශිලා ලේඛනයක් පිහිටුවන්නේය. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු ද යාපනය නගරයේ දෙමළ බසින් සෙල්ලිපියක් පිහිටුවන්නේ එය ඔවුන්ගේ පාලන ප්‍රදේශයට අයත් බව සනාථ කරමිනි.
මේ භාෂාමය කරුණු ගැන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි පැවසුවේ මෙලෙසය.

මහාවංශයේ සඳහන් වන විජයගේ පැමිණීමත්, භද්දකච්චායන කුමරියගේ පැමිණීමත් සලකන්නේ ආර්යයන්ගේ ලංකාවතරණය හැටියටයි. ඔවුන් පැමිණෙන විටත් ලංකාවේ දමිළ ජනතාවක් සිටි බව මේ මිත්‍යාමතවාදීන් ප්‍රකාශ කරනවා. එසේ දමිළ ජනතාවක් හිටියා නම් ඔවුන් කතා කරපු දෙමළ භාෂාවක් තිබිය යුතුයි. එසේ රට පුරා දෙමළ භාෂාවක් තිබුණා නම් ආර්ය භාෂාවට සිංහල භාෂාවට ඒ භාෂාව යටවුණා නම් දෙමළ භාෂාවේ වචන ආර්ය භාෂාවෙත් පැවතිය යුතුයි. ඕනෑම භාෂාවක් යටපත් වන විට ඒ භාෂාවට අයත් වචන කිහිපයක් හෝ අලුත් භාෂාවට එකතු වෙනවා. එහෙම එකතු වුණු වචන සිංහල භාෂාවේ දැකගත නොහැකියි. පොතපතක හෝ ශිලා ලේඛනයක හෝ එහෙම දෙමළ වචන දකින්න ලැබෙන්නෙ නෑ.
මම නම් හිතන්නේ මේ රටේ හිටපු යක්ෂ, නාග, දේව ආදී මුල් ගෝත්‍ර ජනතාව අතර වැදි භාෂාව වගේ භාෂාවක් ව්‍යවහාර වන්නට ඇති බවයි. ආර්යයන් ගෙනා භාෂාව සිංහල භාෂාව ලෙස බෙදී යන්නට ඇති. දේශයක් ජයගැනීමට ඇති හොඳම ආයුධයක් ලෙසත් භාෂාව සැලකෙනවා.

මෙතනදී විග්නේෂ්වරන් මහත්තයා කරන ප්‍රකාශය පදනම් විරහිතයි. සාක්ෂි තිබෙන බව ඔහු කිව්වට එකම නිදර්ශනයක්වත් ඉදිරිපත් කරන්නෙ නෑ. මේක ජාතිවාදයේ පතුලටම බැහැපු ප්‍රකාශයක් විදිහටයි මම දකින්නේ.
ශ්‍රී ලංකාවේ මුල්ම අක්ෂර ලෙස සැලකෙන්නේ බ්‍රාහ්මී අක්ෂරය. ඉන්දියාවෙත් පැවතුණේ එම අක්ෂරමය. පසුව එම අක්ෂර බෙදී යාමෙන් පසුව හින්දු, කන්නඩ, දෙමළ ආදී භාෂා වෙන වෙනම බිහිවිය. අප රටේ අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් ක්‍රි.පූ. 6 වැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කැබැල්ලක් හමුවී තිබේ. ඒ දැනට අක්ෂර පිළිබඳව ලැබෙන පැරණිම සාක්ෂියයි. එහි අනුරද යන නම කොටා තිබිණි. මෙවන් දෙමළ මේ රටේ පැරණිම භාෂාවක් ලෙසට පුරාවිද්‍යාත්මක සාක්ෂි නම් ලැබී නැත.

මේ රටේ මුල්ම පදිංචිකරුවො දෙමළ ජනතාව කියලා කියන්න කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඓතිහාසික සාධකයක් නෑ. මම පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු දෙමළ නිජබිම ගැන විවිධ පුහු තර්ක ඉදිරිපත් කළා. මම ඒවාට සාධක සහිතව කරුණු දැක්වූවා. පාර්ලිමේන්තුවෙ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු මම අහපු ප්‍රශ්නවලට නිහඬ වුණා මිසක් උත්තර දුන්නෙත් නෑ. එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත් කීහ.

 කුසුම්සිරි විජයවර්ධන