2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

අවුරුදු පහෙන් බෙහෙත් ඔක්කෝම මේ රටේ හදන කතාව

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

රටක් ලෙස අපට වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කිරීමට සිදුව තිබේ. ඉන් බොහොමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකිය. මේ පිළිබඳ සංවාදය අදක ඊයේක ඇති වූවක් නොවේ. එහෙත් මේ දක්වා එම සංවාදය ඵලදරා නැත. පසුගියදා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ හා සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. ඒ සමඟම මෙරට තුළ ඖෂධ පිළිබඳ සාකච්ඡා නැවත කරළියට පැමිණියේය. එනිසාම අපිද මේ සංවාදයේ කොටස්කරුවන් වීමු.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ රටට අවශ්‍ය ඖෂධ ඉදිරි වසර පහ තුළදී රට තුළම නිෂ්පාදනය කළ යුතු බවයි. ජනාධිපතිවරයා ලබා දී ඇති ඉලක්කයට අනුව ඊට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඔහු කියා තිබුණි. එසේම පිළිකා වැනි රෝග සඳහා අවශ්‍ය ඖෂධ ඉදිරි වසර එකහමාර තුළ මෙරටදීම නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය ඇති බවද මේ සමඟම කියැවුණි. කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදන සම්බන්ධ ප්‍රායෝගික තත්ත්වය සැලකූ විට වසර පහක් ඇතුළත මෙය සිදුකළ හැකිද යන්න පිළිබඳව කතිකාවක් මේ සමඟම නිර්මාණය විය.

කෙසේ නමුත් දැනගන්නට ඇති තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් වාර්ෂිකව ඖෂධ ආනයනය සඳහා වැයකරන මුදල රුපියල් බිලියන 45 කට ආසන්නය. පෞද්ගලික අංශද සැලකූ විට මෙම ප්‍රමාණය දෙතුන් ගුණයක් විය හැකිය. ඒ පිළිබඳ සලකා බලන විට රටට අවශ්‍ය ඖෂධ රට තුළ නිපදවන්නේ නම් රටක් ලෙස අපට ඉතිරිවන ජාතික ධනය සුවිශාලය. එම නිසා සහමුලින්ම රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන කිරීම සම්බන්ධව තිබෙන ප්‍රායෝගිකත්ව ගැටලු කෙසේ වෙතත් මෙම උත්සාහය ප්‍රසංසනීයය.

දැනට මෙරට තුළදී ඖෂධ නිෂ්පාදන කරනු ලබන එම රාජ්‍ය ආයතන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවයි (SPMC). ඖෂධ වර්ග 80කට ආසන්න ප්‍රමාණයක් ඔවුහු නිෂ්පාදනය කරති. 1971 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද බිබිලේ - වික්‍රමසිංහ වාර්තාවේ යෝජනා වූ පරිදි ජපන් රජයෙන් ලැබුණු ආධාර ප්‍රදානයක් මත පදනම්ව 1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) පිහිටුවා ඇත. මෙම අයතන රටේ ඖෂධ අවශ්‍යතාවය සියයට 12ත් 15අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරන බව සඳහන් කරයි. එසේම ඖෂධ නිෂ්පාදනය පාඩු ලබන කර්මාන්තයක් නොවන බව ආයතනය මේ වනවිටත් ඔප්පු කර පෙන්වා ඇත.

කෙසේ නමුත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති අනුව දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට මෙරට රජයන් උනන්දු වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඖෂධ නිපදවීමේදී පහසු ක්‍රමය වනුයේ ලෝක ප්‍රකට ඖෂධ සමාගම් සන්නාමයන් සහිත නිෂ්පාදනාගාර මෙරට ආරම්භ කිරීමයි. විවිධ කාලවකවානුව ඇරඹී එවන් කර්මාන්ත කිහිපයක් දැනටද අප ක්‍රියාත්මකය. ඉදිරියේදී එවන් ව්‍යාපෘති වෙනුවෙන් ගිවිසුම්ද අත්සන් කර ඇත. කෙසේ නමුත් එය විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ සාර්ථකම ක්‍රමවේදය නොවේ.

වෛද්‍යවරයාගේ සිට රෝගියා දක්වා නතුව සිටින ඖෂධ මාෆියාව බිඳ දැමීම ප්‍රධාන වශයෙන් වැදගත් වෙයි. එසේම දේශීය ඖෂධ නිෂ්පාදනය සාර්ථක කරගැනීමට දේශීය සන්නාමයන් දීම දේශීය ආයෝජයන් සොයාගැනීම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ආදිය පිළිබඳවද සැලකිලිමත් වීම අතිශය වැදගත් වනු ඇත. කෙසේ නමුත් ගොඩනැගෙමින් පවතින සංවාදය දෙස සුහවාදීම බැලීමේ වරදක් නැත.

අපි ඔක්කොම කළා: දැන් තිබෙන්නේ විවෘත කිරීමයි

රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී (හිටපු සෞඛ්‍ය අමාත්‍ය)

මේක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කරලා ඉවරයි. මං හදපුවා විවෘත කරන්න තමා මේ කතාව කියන්නේ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ තුන්වැනි කරුණ ඖෂධ නිෂ්පාදනය. මුලින්ම මම කළේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම. ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බිලියන දෙකක තිබ්බ කරල් සහ පෙති නිෂ්පාදන ධාරිතාව බිලියන හතරක් දක්වා වර්ධනය කරන්න කටයුතු කළා. ජපානයේ ජයිකා ආධාර යටතේ අලුත් ප්ලාන්ට් එකක් හැදුවා. දෙවැනුව අපි ආරාධනා කළා පෞද්ගලික අංශයට රට තුළ ඖෂධ නිෂ්පාදනය කරන්න. නිෂ්පාදනය කරන්න මිනිස්සු එන්නේ නෑ. ලේසිම දේ ආනයන කරලා ගාණක් තියාගෙන විකුණන එක.

ඒ නිසා මම හැදුවා ආකර්ෂණීය වැඩපිළිවෙළක්. පළවැනි දේ අපි කිව්වා ඔවුන් රට තුළ ස්වාධීන ඖෂධ නිෂ්පාදන කරනවා නම් අවුරුදු 10ක නිෂ්පාදන මිලදී ගැනීම සම්බන්ධව වගකීමක් අපි දෙනවා. ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ සම්බන්ධ වෙලා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ගොඩනගාගෙන නිෂ්පාදන කරනවා නම් අවුරුදු 15ක වගකීමක් අපි දෙනවා කිව්වා. මෙතැනදී ලාබයෙන් 10ඔවුන් අපේ සංස්ථාවට ගෙවන්න ඕනෑ.

ඒ කරලා මම මේ අයගේ වෙළෙඳ මණ්ඩලය කැඳවලා කිව්වා මාත් එක තරහා වෙන්න එපා ඖෂධ ආනයනය ඉදිරියේදී බිඳ වැටෙනවා. පෙති දහදාහක් පහළොස් දාහක් වගේ පොඩි ප්‍රමාණයක් විතරක් ආනයන කරන ඖෂධ ඉතුරැ වෙයි. අනික් ඔක්කොම ඒවා මෙහෙ නිෂ්පාදන වෙනවා අවුරුදු තුනක් විතර යනකොට කියලා කිව්වා. ඊටපස්සේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් රැසක් තමන්ගේම කර්මාන්තශාලා හදන්න පටන්ගත්තා. ඒ අනුව ඖෂධ නිෂ්පාදන සමාගම් 36ක් නිර්මාණය කරන්න ගිවිසුම් අත්සන් කළා. එයින් 18ක් විතර දැන් ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව හදලා ඉවරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමැතිය දීලා තියෙන්නේ. අවුරුදු එකහමාරක් යන්නේ නෑ. ඖෂධ හදන්න පුළුවන්. නමුත් මේ සමාගම ඖෂධ ආනයනය කරද්දී මොකක්ද ප්‍රශ්නයක් වුණා කියලා ඔක්කොම තහනම් කරලා මේක විවෘත කරන්න දෙන්නේ නෑ. මේ සමාගම් අපිට හිතවත්ව මේ වැඩපිළිවෙලේ සිටීම තමා ප්‍රශ්නය. නමුත් අපි හිතවත් අහිතවත්කම් බලන්නේ නැතුව හැමෝටම උදව් කළා. කොරෝනා වසංගතය වෙලාවේ ලංකාවට ඖෂධ ආවේ නෑ. ඉන්දියාවෙන් ආපු ඖෂධ ප්‍රමාණවත් වුණේත් නෑ. ඒ වෙලාවේ දිව්වේ අපි හදපු ඖෂධවලින්.

උත්සාහය හොඳයි: හැබැයි දීර්ඝකාලීන සැලැස්මකුත් ඕනෑ

වෛද්‍ය හරිත අලුත්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක

අපි දිගින් දිගටම කතා කළා ඖෂධ ප්‍රමිතිය ගැන සහ ඖෂධ ආනයනයේදී සිදුවන වංචා පිළිබඳව. මේ ගැටලු දෙකටම විසඳුමක් තමයි නියමිත ප්‍රමිතිය යටතේ අපේ රටේම ඖෂධ නිෂ්පාදනය. දැනට සමස්ත අවශ්‍යතාවයෙන් සීයට 12ත් 15අතර ප්‍රමාණයක් තමා දේශීයව නිෂ්පාදනය වෙන්නේ. ඖෂධ සම්බන්ධව විදේශ රටවල් මත යැපීම නිසා කොරෝනා සමයේ අපි අර්බුදවලට මුහුණ දුන්නා. අපි ප්‍රධාන වශයෙන් ඖෂධ මිලදී ගන්න ඉන්දියාව එක් අවස්ථාවක සැපයුම නතර කළා.
එනිසා සැලසුමක් සහිතව ප්‍රමිතියෙන් යුතු ඖෂධ රට තුළ නිෂ්පාදනය අතිශය වැදගත්. ඒ සඳහා දීර්ඝකාලීන සැලසුමක් තියෙන්න ඕන. ඒ වගේම මධ්‍යකාලීන සැලසුම් තියෙන්න ඕනෑ. සමහර ඖෂධ තියෙනවා අවුරුදු පහක් ඇතුළත අපිට ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. නමුත් පිළිකා ඖෂධ වගේ නිෂ්පාදන කරන තාක්ෂණය අවුරුදු පහක් ඇතුළත දියුණු කරගන්න පුළුවන් වෙයිද කියන ගැටලුව තිබෙනවා. සමහරැ මේ ප්‍රශ්නය මතු කරනවා. ඒත් උත්සාහ කරන එක හොඳයි. කොහොම වුණත් අවුරැදු පහකට එහා ගියපු දීර්ඝකාලීන සැලැස්මකුත් අපිට තියෙන්න ඕනෑ.

ඖෂධ නිෂ්පාදන අතරේම වෙන්න ඕනෑ වැදගත්ම දෙයක් තිබෙනවා. ඒ තමා අපේ ඖෂධ තත්ත්ව රසායනාගාරය සෑදීම. ලංකාවේ හැදුවත් පිටරට හැදුවත් ඖෂධ ප්‍රමිතිය නියාමනය කරන්න ක්‍රමවේදයක් නැත්නම් එතැනම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තිබෙන ප්‍රමිතියෙන් යුතු තත්ත්වය රසායනාගාරයක් මෙරට තුළ ස්ථාපිත කරයුතුයි. රාජිත සේනාරත්න යුගයේදීත් අපි මේ පිළිබඳ කතා කළා. මුල් අවස්ථාවේ චීන රජයේ ආධාර ඇතිව රසායනාගාරය හදන බව කිව්වා. නමුත් ඒක සිදුවුණේ නෑ.

 

 චමිඳු නිසල් ද සිල්වා