2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

කොරෝනා නිවාඩුවේ රෝහලක් ගොඩ නැගූ දොස්තර මහත්තයා

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

අගමැතිතුමනි...

දවසක් මගේ තාත්තා මාව බයිසිකලයේ ඉන්දවාගෙන ගමේ කඳු පාරක් දිගේ යද්දි කහට ගහක ඔබතුමාගේ පින්තූරයක් ගහලා තියෙනවා දැකලා බයිසිකලය නවත්වලා මට කීවා පුතේ අර බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අත දිහා. ඒ අත හරි වාසනාවන්ත අතක් කියලා. කුරුණෑගල නාගොල්ලාගම කියන දුප්පත් ගමේ වියළී ගිය හේන් සාරෙට අස්වද්දන්න මහ වැවක් ඉදිකරලා ඔබතුමාගේ අතින් ඒ වැව විවෘත කරන්න ආව දවසේ මට මගේ තාත්තා කියපු ඒ වචන ටික මතක් වුණා. අගමැතිතුමනි... ඒ වාසනාවන්ත අතින් මගේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුව රෝස්වුඩ් රෝහලේ වාට්ටු සංකීර්ණය විවෘත කරන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ...

සිංහ ස්‍යෙයාවෙන් වේදිකාව මත සිටි දෙරණ මළ ගමක් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වියරු ත්‍රස්තවාදයෙන් ලක් පොළොව මුදාගත් නිර්භය රාජ්‍ය නායකයාගේ දෙඇසෙහි කඳුළක් උපද්දවන්නට තරම් දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර දොස්තර මහත්තයාගේ ඒ සංවේදී හැඟුම්බර වදන් වියමනට හයියක් තිබූ බවට සියක් මිනිසුන් අතර මම ද එක් සාක්ෂිකාරයෙක් වීමි. අඹ වාරයට අඹ ගෙඩියෙන් බඩගින්න නිවාගත්, වර්ණය කවරක්දැයි කියන්නට බැරි තරමට අවර්ණ වූ සරමට උදේ පාන්දර බිම වැටී ඇති ගඩා ගෙඩි ඇහිද පුරවාගෙන ආ, ළඳු දෙනි කැලෑ මැද හරක් පසුපස දුවමින් ගොපලු කොලුවකු සේ ගම් පුරා ඇවිද ගිය, රොටියක්, මයියොක්කා වෑංජනයක් ඉදෙන දවල් බතට සරිකර ගන්න හරකුන් බැඳි ඉහත්තාවකින් මුකුණුවැන්න නෙලාගෙන ආ, හරකුන් පසුපස දුවන දිවිල්ලට කටු ඇනී ලේ ගලනතුරු සීරුණු යටිපතුල්වල වේදනාව ආදරණීය අම්මා තෙල් බින්දුවක් ගා පිරිමදිද්දී ඉවසිල්ලෙන් දරාගත් ඒ දුප්පත් දරුවා අද කඩවත රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය. ඉරුණු බෑගයක සන්තකේට තිබූ පරණ කමිස කලිසම් දෙක තුනක් දාගෙන පේරාදෙණිය සරසවිය වෙත ගිය ඔහු පසුව පශ්චාත් උපාධිය හදාරන්නට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට ගියේය. ඉන් නොනැවතී දන්තරෝපණය (Implant) පිළිබඳව ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් මේ ධෛර්යවන්තයා කඩවත කුලියට ගත් කඩ කාමරයක ඇරඹූ දන්ත සායනය අප්‍රතිහත ධෛර් යේ ප්‍රතිඵලයක් ලෙස රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් රෝහල දක්වා ගොඩනැගුවේය. තනි මිනිසෙකුගේ දිරිය ශක්තිය, අධිෂ්ඨානය, විශ්වාසය සහ ඉවසිලිවන්ත දුරදැක්ම ඒ පවුරු පදනම් පිටුපස තුළ තිබුණ එකම රහසයි.

ළය ලෙය කිරි කර පෙවූ රුවැති ගුණැති යසසීලී මාතාවගේත් ගුණරත්න විජේසුන්දර තාත්තාගේත් ලෙයින් සහ කිරෙන් ලද ජීවයට දුප්පත් නාගොල්ලාගම ගමේ පරිසරයෙන් උකහා පෙරාගත් අව්‍යාජ රසසාර කැටිවී නිර්මාණය වූ පරිණත මිනිසාගේ හදගැස්ම තුළ අපූර්ව කලාවේදියෙක්ද ජීවත් වූයේය.

තාත්තා සවසට මාව වැව ළඟට එක්ක ගිහින් ඔඩොක්කුවේ ඉන්දවාගෙන මට සොබාදහමේ අපූර්වත්වය ගැන ලස්සන ගැන කියා දෙනවා. කලාවේ මුල් අකුරු මම ඉගෙන ගත්තේ ඒ ස්වභාව ධර්මයෙන්. තාත්තා මට කියලා දුන්නා පුතේ ඔයා ගුරුවරයෙක් වුණොත් ඔයාට මේ විදිහට සල්ලි හම්බකරන්න පුළුවන්. දොස්තර මහත්තයෙක් වුණොත් මේ විදිහට සල්ලි හම්බ කරන්න පුළුවන්. පුතේ ඔයා කවදා හරි ඉගෙන ගෙන සාධාරණව සල්ලි හම්බ කරලා ඔයාගේ සහෝදරයන්ට පවුලට සලකන්න. ඊළඟට ගමට රටට සේවාවක් කරන්න. ඔයාට කාලය තිබුණොත් ඔයා ලෝකයටත් සේවයක් කරන්න කියලා. 

නොරිදෙන්න දතක් ගලවන්න මට කියා දුන්නේ පේරාදෙණියෙදිවත්, එංගලන්තයේදිවත්, අමෙරිකාවේදිවත් හම්බවුණු මහාචාර්යවරයෙක් නෙවෙයි. අටේ පන්තියට අකුරු ඉගෙනගත්ත මගේ දුප්පත් තාත්තා. ඒ හින්දා මගේ දුප්පත් තාත්තා මට මහාචාර්යවරයෙක්. ඔහු හැමදාමත් කීවේ එලෙසය.

එදවසක උදේ 6.45ට රැජන කෝච්චියෙන් කුරුණෑගලට පන්ති එන්නට පෙර ඔහු දුවගෙන ගියේ පොළටය. ඒ පොළේ බඩු විකුණන තාත්තාගෙන් පන්ති ගාස්තු ගෙවන්නට සල්ලි ඉල්ලා ගන්නටය. එක දවසක් තාත්තා වචනයක්වත් පවසනු නොහී අසරණ දෑසින් තම පුතුගේ දෑස් දෙස බලා සිටියේය. පුතේ කිසි දෙයක් විකුණාගන්න බැරිවුණා.... උඹට දෙන්න රැපියලක්වත් මට නෑ.... ඒ දෑසේ ලියැවී තිබුණේ එවන් බැල්මකි.

මගේ කොස් කොළ ඔටුන්න
මුතු මැණික් රජ ඔටුන්නක් වූදා
දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට
කෝ මගේ ළඟ තාත්තා....ඒ ඔහු ලියූ කවියකි

කටුක අතීතය සඟවමින් ජීවිතය උදෙසා එලාගත් විල්ලුද බුමුතුරුණුවල පැහැය ගැන පමණක් කතාකරන මිනිසුන් අතර වනස්පතියක් සේ ඉහළට එසවුණත් අතීත මුල් මරා නොගත් මිනිසුන් විරලය. මා දැන හඳුනාගත් මා ආදරය කරන අප ආදරය කරන මේ දත් දොස්තර මහත්තයා එවන් සොඳුරු මිනිසෙකි.

ජීවිතය කියන කටුඅත්ත මත වැර වෑයමින් මල් පුබුදුවා ලූ ඔහුගේ ධෛර්යයට අධිෂ්ඨානයට හොඳම සංනිදර්ශනය ඔහු විසින්ම සපයන ලදී. ඒ කොරෝනා ව්‍යසනය කාලයේ කර්යබහුල ජීවිතයේ නිදහස 2016 ජනවාරි 29 වැනි දින රෝස්වුඩ් රෝහල විවෘත කළ දිනයේ කළ අදිටන යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා යොදාගැනීම ඔස්සේය. ව්‍යාපාර අස්ථාවර වීම් කඩා වැටීම් නිතර අසන්නට ලැබෙන වත්මනෙහි ඔහු රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් රෝහලේ නව වාට්ටු සංකීරණය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය සහ රසායනාගාරය ඉදිකිරීමට තරම් ව්‍යාපාරික ඥානයෙහි සහ කළමනාකාරීත්වයෙහි නිපුණයෙකු වූයේය. ප්‍රායෝගික නොසැලෙන බුද්ධිමතෙකුද වූයේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයෙකු වූ හේම නලින්  කරුණාරත්න වරක් හක්ක පටස් මුව තුළ පිපිරී වේදනාවෙන් දඟලන අලි පැටියෙකු ගැන කියද්දී ඒ අලි පැටියා සුවපත් කරන්නට සැතපුම් ගාණක් දුර ගෙවාගෙන යන්නට තරම් අසේල විජේසුන්දර දොස්තර මහත්තයා ළඟ තිබූ මනුෂ්‍යත්වය,

රාගම රෝහලට ඇතුළත් කළ කෙනෙක් ළංවීම පවා ප්‍රතික්ෂේප කළ මුවින් සැරව වැගිරෙන රෝගියකු සුවපත් කිරීම දක්වාත් කොරෝනා සමයේ දන්ත වේදනාවන් නිසා ප්‍රතිකාර ලබාගත නොහැකිව අසරණ වූ රෝගීන් නොමිලේ සුවපත් කිරීම දක්වාත්, අත්‍යවශ්‍ය බෙහෙත් ලබාගත නොහැකිව අසරණ වූ රෝගීන්ට නොමිලේ බෙහෙත් ලබාදීම දක්වාත් ගැඹුරු වූයේය.

කොළොම්තොට ගෙන්දගම් පොළොවේ සිල්ලර සෝබන ආලවට්ටම් මැද මනුෂ්‍යත්වයත්, අව්‍යාජත්වයත් මරා නොගත් ඒ සොඳුරු දත් දොස්තර මහත්තයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැඳින්වූයේ වෛද්‍යවරයෙකු මෙන්ම කලාකරුවෙකුද ලෙසය. ඒ ගී පද රචකයෙකු, ගීත විචාරකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ඔහු ආ ගමන් මගේදී ඔහු විසින් රචිත ගීතයකින් ජීවිතය කියවමු යන ග්‍රන්ථය අගමැතිවරයාට ජනාධිපතිවරයාට මින් පෙර පිළිගැන්වීම ඔස්සේ ඔහු පිළිබඳව ඇතිවූ ප්‍රසාදය කරණ කොටගෙනය.

කොළඹ හුණුපිටිය ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ ආශීර්වාදය පෙරදැරිව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාට්ටු සංකීර්ණයත්, රසායනාගාරයත් විවෘත වෙද්දී එදිනම ඔහු කොරෝනා සමයේදීම සැලසුම් කළ Rosewood Beauty Clinic රූපලාවන්‍යාගාරයද විවෘත විය. ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, කඩවත බිම්බාරාමයේ හිමි ඇතුළු යතිවරයාණන් වහන්සේලාද රජයේ දන්ත වෛද්‍යවරැන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපති දීපානි සමරසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීයන්ගේ ආශීර්වාදය මැද. ප්‍රවීණ කලාවේදීන් වන අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, රෝහණ බෝගොඩ, බිමල් ජයකොඩි, සුජානි මේනකා දහනායක, දේවිකා මිහිරාණි, බන්දුල නානායක්කාරවසම්, නිලන්ති ඩයස්, රජිත හිරාන් ඇතුළු කලාකරැවන් පෙරටුව ඉටිපන්දම් දල්වා ආශීර්වාද කර Rosewood Beauty Clinic විවෘත කළහ.

සැබෑ ආදරය ඇති තැනක අව්‍යාජත්වයත්, ආදරය හා අව්‍යාජත්වය ඇති තැනක සත්‍යවාදී බවත්, ඒ සියල්ල ඇති තැනක කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් පවතී නම් එය අතිශය සොඳුරු ආශීර්වාදයක්මය. ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, අගමැති මහින්ද රාජපක්ෂ, අමරසිරි පීරිස් ඇතුළු ආදරණීයයන් වෙතින් පිදුණේ ඒ ආශීර්වාදයයි. ඒ ආශීර්වාදය හෙට දවසේ දිගු ගමනක අද දවසේ පවුරු පදනම හා මුහුවනු නිසැකය.

 චන්දන වරාවිටගේ
සේයාරූ - චන්න කස්සප කෝරලේආරච්චි