ජීවිතේ හීන කප්පරක් සමඟ නොහිතු මොහොතක එක්වරම ඒ දෑස් පියවී ගියේය. එක් නිමේෂයකින් ඒ දෑස් ඉදිරියේ අම්මා, තාත්තා, එකම නංගී වගේම ජීවිතේ පුරාවට ඇවිද ගන්න පෙරුම්පුරාගෙන හිටපු ඒ ආදරවන්තියගේ රුවද ඔහු දකින්නට ඇත. නමුත් එක් තත්පරයෙන් ඒ සියල්ල බොඳවී ගියේය.
සමිත් රංගන සමරවීර මාතර වැලිගම ප්‍රදේශයේ තරැණයෙකි. වරකපිටිය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ සමිත් ශිෂ්‍යත්වයෙන් සමත් වී මාතර මහ විද්‍යාලයට ඇතුළත් වූයේය. මව පියා මෙන්ම තම එකම නැගණියගේ ජීවිතය එළිය කරන්නට හීන ඇහිඳපු සමිත්ගේ ජීවිතය ගෑස් කාන්දුවකින් විනාශ වේයැයි කවුරුත්ම කවදාකවත්ම හිතුවේ නැත. නමුත් අද ඒ සියල්ල සිදු වී හමාරය. සමිත් අබුඩාබි රාජ්‍යයේදී ගෑස් ගබඩාවක පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්විය.
පවුලේ කුළුඳුල් දරුවා පිරිමි දරැවකු වෙද්දී සරත්ගේ හීනේ සතුට දෝර ගැලුවේය. ඔහු තම කුළුඳුල් දරැවාට සමරවීරගේ සමිත් රංගනයැයි නම් තැබීය. සමිත් උපත ලැබුවේ එක්දාස් නවසිය අනූ දෙකේ ජූනි මාසයේදීය.
සමිත්ගේ ආදරණීය නැගණිය හංසනී මධුරංගි (22) වූවාය. සැබැවින්ම සමිත් තම නැගණියට ආදරණීය සහෝදරයෙක් වී සිටියේය.
අම්මේ මම රට යන්නම්. කොහොමහරි කීයක් හරි හොයාගෙන කීයක් හරි ඉතුරැ කරගෙන ආයෙ මම ලංකාවෙම නවතින්නම්
සමිත් තම මවගෙන් විදෙස්ගත වෙන්නට අවසරය ඉල්ලුවේය. දෑස් වන් තම දරැවන් දෑස් මානයෙන් පිටමං කරන්නට මව අකමැති වූවාය. නමුත් දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ දියුණුව වෙනුවෙන් අවසානයේදී මව සමිත්ගේ විදෙස්ගතවීමට ආශිර්වාදය ලබාදුන්නාය.
සමිත් රංගන කා අතරත් ආදරණීය චරිතයක් වූයේය. ඔහු දෙමව්පියන්ට හොඳ පුතෙක් විය. යහළුවන්ට ආදරණීය සමියා වූවේය. ලක්මිණීට ආදරණීය පෙම්වතා වූයේය. ලක්මිණීගේත් සමිතගේ ආදර කතාවේ සුවිශේෂී දිනයක් සටහන් කරමින් පසුගිය 2019 වසරේ මැයි මාසයේදී ඔවුහු තම විවාහය ගිවිස ගත්හ.
අබුඩාබි දේශයේ සිටියද සමිත් නිතර තම දෙමව්පියන්ට, නැගණියට මෙන්ම ලක්මිණිටද දුරකථනයෙන් කතා කොට සුවදුක් විමසීය. ඔහු සේවය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හලක වැඩ පරීක්ෂකවරයකු වශයෙනි. සමිත් නිතරම තම අනාගතය වෙනුවෙන් හීන දැක්කේය. දියුණු වන්නට මහන්සි වූයේය. ඉක්මනින් විවාහ වී ලංකාවේම නතර වන්නට ලක්මිණිට පොරොන්දු වූයේය. ඒ නිසාම ඔහු මහන්සි වී වැඩ කළේය. එමෙන්ම තම යුතුකම් දෙමව්පියන්ට, නැගණියට සිදු කරන්නත් වගබලාගත්තේය. නිතරම තම මවට කතාකොට අම්මේ නංගි හොඳින් නේද? එයා ගැන බයවෙන්න එපා. මම හැමදේම නංගි වෙනුවෙන් කරන්නම් යැයි කීවේය.
දිනය අගෝස්තු තිස්එක්වැනිදාය. වෙනදා රාත්‍රී කාලයේදී සේවය කරන සමිත්ගේ මිතුරෙක් දහවල් කාලය තමන් වෙනුවෙන් වැඩ කරන්නයැයි සමිත්ගෙන් ඉල්ලා සිටියේය. සමිත් තම මිත්‍රයා වෙනුවෙන් වැඩ මුරය වෙනස් කරගත්තේය. නමුත් ඒ තම අවසන් වැඩමුරය වේයැයි සමිත් සිතන්නට නැතිව ඇත.
සුපුරුදු පරිදි සමිත් තම මවටත් දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. සුවදුක් විමසා අවසානයේදී සමිත් &තියන්නම් අම්මා. බුදු සරණයි කියමින් දුරකථනය විසන්ධි කළේය. ඒ ඔහුගෙන් ලද අවසන් දුරකථන ඇමතුම යැයි ඇය ද නොසිතන්නට ඇත. මවගේ හඬ ඇසුණු අවසන් දිනය වේයැයි ඒ තරුණ පුතනුවන්ටත් නොසිතෙන්නට ඇත.
එක් නිමේෂයකින් අවන්හල පුපුරා ගියේය. අවන්හලේ ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම පිපිරීම සිදු වී තිබුණි. එම පිපිරීමෙන් පුද්ගලයෝ තිදෙනෙක් මියගියහ. තවත් කිහිපදෙනෙක් තුවාල ලැබූහ. මෙම අවාසනාවන්ත ආරංචිය මෙරටට සැලකර ඇත්තේ සමිත්ගේ මිතුරෙකු විසිනි. කිහිපවතාවක්ම දුරකථනය ඔස්සේ ඇමතුම් ලබා දෙමින් සමිත්ගේ මිතුරන් පවසා ඇත්තේ සමිත් අවන්හලේ සිර වී සිටින අතර ඉතා ඉක්මනින් ඔහුව බේරාගන්නට කටයුතු කරන බවත්ය. නැවතත් දුරකථනය ඔස්සේ ඔවුන් පවසා ඇත්තේ සමිත්ව ඉක්මනින් රෝහල්ගත කළ බවය. අවසානයේදී නිවෙසට දුරකථනය ඔස්සේ පවසා ඇත්තේ කෙසේ හෝ හිත හදාගන්නා ලෙසය.
අනේ මගේ පුතා... කොහොමද දෙයියනේ මෙහෙම වුණේ? අනේ මගේ පුතාව ලංකාවට ගෙනත් දෙන්න සමිත්ගේ මව හඬන්නීය. දරු දුක කෙසේ ඉවසා ඉන්නද? මාතර, වැලිගම වරකාපිටිය ප්‍රදේශය සමියා නැති සොවින් අද එකට හඬා වැටේ. මවගේ ඇස්වලින් ගැලූ කඳුළුවල නිමක් නැත. පියාගේ හදවතේ ගිනි ගැහෙන වේදනාවට නිමක් නැත. රජකු වගේ පවුලට හිටි එකම පිරිමි දරැවා වයස අවුරැදු විසි අටක් වෙද්දී සොරු අරගෙන ගියා වැනිය.
අබුඩාබි රාජ්‍යයේ KFC අවන්හලේ අගෝස්තු තිස් එක්වැනිදා සිදුවූ අනතුරෙන් මියගිය සමිත් රංගන වෙනුවෙන් එම රටේ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයෝ තම ශෝකය මුහුණුපොත හරහා පළකළහ. ගුවන් තොටුපොළ අසල පිහිටා තිබූ මෙම අවන්හල එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රිය අවන්හලක් විය. කෙසේ වුවද ජීවිතයේ සොඳුරුතම අවදියේ තමන්ගේ කියා කාත්කවුරුවත් නැති දේශයක තම අවසන් හුස්ම පොදු හෙලද්දී සමිත් මොනතරම් දුකක් ඒ හිතින් විඳින්නට ඇත්ද? ජීවිතය දිනන්නට එරටට ගිය සමිත්ගේ ජීවිතය එරට අවාසනාවන්ත ලෙසින් නතර වුණි.
නොහිතපු වෙලාවක උඹත් ගියා ලොකු අයියේ
ආයේ අපි අතරට එන්න
අපි හැමෝම මේක හීනයක් විදිහට දකින්නේ
(මුහුණුපොතේ ඔහු වෙනුවෙන් තබා තිබූ සටහනකි)
දිශානි ජයමාලි කරුණාරත්න