2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

අහස උසට නැග්ග වාහන මිල

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

මේ වනවිට අපේ වෙළෙඳපොළේ වාහන මිල ඉතාම අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු පසුගිය මැයි මස 22 දා අගමැති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වාහන ආනයනය මුළුමනින්ම තහනම් කිරීම හේතුවෙනි. එම නිවේදනය අනුව ආනයනය තහනම් කළ බොහෝ ආහාර ද්‍රව්‍යවල සහ අනිකුත් භාණ්ඩවල තහනම බලපැවැත්වූයේ මාස තුනක කාලයකට පමණක් වන නමුත් වාහන ආනයන තහනම පමණක් යළි දැනුම් දෙනතුරැ බලපැවැත්වෙන බව දක්වා ඇත.

ආණ්ඩුව මෙලෙස වාහන ආනයනය මුළුමනින්ම තහනම් කළේ මේ වනවිට රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට බව බලධරයන් ප්‍රකාශ කර තිබේ. රට වර්තමානයේ වැසී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හැර සෙසු සියලු දෑ ආනයනය කිරීම දුර්වල කිරීමට විවිධ උපක්‍රම භාවිත කර ඇත. ඉන් එකක් වන්නේ ආනයන බදු සියයට සියයක් වැඩි කිරීමය. එසේම ඇතැම් භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම තහනම් කළේය. කහ ආනයනය සඳහා බලපත්‍ර නොදීම එක් උදාහරණයකි. එසේම වාහන ආනයනය කිරීමේදී අලුත් නීති පැනවූ අතර ද්විත්ව ආරක්ෂක බැලුම් dual air bag සහිත වාහන මෙන්ම ආරක්ෂක පටි සහිත Euro 4 Emission මට්ටමට අනුගත වාහන ගෙන්වීමට ද නීති පනවා තිබිණ.

පසුගිය යහපාලන රජය මෙන්ම අලුත් ආණ්ඩුවද වාහන ආනයනය අකාර්යක්ෂම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබුණි. යහපාලන ආණ්ඩුවේ රවි කරැණානායක මුදල් ඇමැතිව සිටියදී වාහනවලට බදු අය කිරීමට එතෙක් පැවති ක්‍රමය වෙනුවට ඇන්ජින් ධාරිතාව මත බදු අයකිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එසේම 2016 අයවැයෙන් මුදල් ඇමැති යෝජනා කළේ 2020 වනවිට ආනයනය කරන වාහන සියල්ලම Hybrid හා Electric විය යුතු බවට නීති පනවන බවය.

මෙම අලුත් බදු ක්‍රමය සහ නව ප්‍රමිති රෙගුලාසි අනුව වාහන මිල දෙගුණ තෙගුණ වනු ඇති බවට ඒ දිනවල වාහන ව්‍යාපාරිකයන් අනතුරැ හැඟවූවා අපට මතකය. කෙසේ වුවද අපට පෙනී යන්නේ පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තුළ පැවැති ආණ්ඩු වාහන ආනයනය අධෛර්යමත් කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ බවය. මේ හැමවිටම ක්‍රියා කළේ අනවශ්‍ය ලෙස වාහන ආනයනය කර විදේශ විනිමය නාස්ති කිරීම අවම කිරීමට සීමා මායිම් පැනවීමය. එහෙත් බලාපොරොත්තු වූ පරිදි වාහන ආනයනය අවම වීමක් සිදු නොවූ බව කිව යුතුය. එයට හේතුව එම රජයන්ම අනුමත ප්‍රතිපත්තිවලට අනනුකූල ලෙස ක්‍රියා කිරීමය.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ ආණ්ඩුවේ කාලය තුළ පොදු ජනතාවට වාහනයක් සතුකර ගැනීම සිහිනයක් බවට පත්කර තිබියදී දේශපාලකයන් සහ වෙනත් හිතවතුන් සඳහා සීමාවකින් තොරව තීරු බදු සහන සහිත අධි සුඛෝපභෝගී වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම දිගටම සිදුවිය. වාහන බලපත්‍ර නිල බලයෙන් හිමි රාජ්‍ය නිලධාරීන් සඳහා ද යම් යම් සීමා පැනවූ නමුත් දේශපාලනඥයන්ට එලෙස සීමා කිරීම් තිබුණේ බොහෝ අඩුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුවද වාහන ආනයන සීමා තවත් පුළුල් කළ අතර වාහන සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීමේදී වාහනයේ මුළු වටිනාකමම ගෙවිය යුතු බවට නීති සංශෝධනය කෙරිණි. එසේම ආනයනය කළ වාහන වරායෙන් ගොඩබෑමේදී වැඩි කළ ආනයන බදු ගෙවිය යුතු බවට නියම කිරීම නිසා ගෙනා වාහන විශාල සංඛ්‍යාවක් රේගුවේ හිර වී තිබූ බවද වාර්තා විය. ඉන් නොනැවතුණු ආණ්ඩුව මේ වනවිට වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර අලුත් වාහන මෙන්ම පාවිච්චි කළ වාහන සහ වාහන අමතර කොටස් ගෙන්වීමද තහනම් කර ඇත.

පෙර පැනවූ විශාල බද්ද සහ දැනට පනවා ඇති ආනයන තහනම නිසා වෙළෙඳපොළේ සියලුම වාහනවල මිල අසීමාන්තික ලෙස අද වනවිට වැඩි වී ඇත. යතුරැපැදියේ සිට සුඛෝපභෝගී බෙන්ස් රථය දක්වාම මිල දෙගුණ තෙගුණ වී ඇත. මෙයට පෙර ලක්ෂ 20 – 25ට මිලට ගත හැකිව තිබූ ඉන්දියානු මෝටර් රථවල මිල පවා එකට එකක් වැඩි වී තිබීම නිසා මධ්‍යම පාන්තික ජනතාව තුළ තිබූ වාහන සිහිනය මුළුමනින්ම බොඳ වී ඇත.

පසුගියදා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පැවසුවේ රට තුළ තව වසර 2 ½කට අවශ්‍ය වාහන අතිරික්තයක් තිබෙන බවය. මේ නිසා අලුත් වාහන ආනයනය තහනම් කිරීමෙන් වාහන හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදු නොවන බවද ඔහු කීවේය. වාහන ආනයනය යනු පූර්ණ වශයෙන් විදේශ විනිමය රටින් පිටතට ඇදී යන ව්‍යාපාරයක් බව ඔහු පවසයි. පසුගිය වසර කිහිපය තුළ රථවාහන අමතර කොටස් සඳහා වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1000 – 1200 අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බව ඔහු කියා ඇත. 2020 වසරේ පැනවූ ආනයන බාධක හේතුවෙන් වාහන හා කොටස් ආනයනය කිරීම අඩුවීම නිසා 2020 ජූනි වනවිට ඒ සඳහා වැය වී ඇති විදේශ විනිමය අමෙරිකානු ඩොලර් මිලියන 9.2 දක්වා අඩු වනු ඇති අතර එය 2019 වසර හා සැසඳූ විට සියයට 80.9ක පහළ යාමක් බව ඔහු පෙන්වා දෙයි. 2019 වසරේදී රථවාහන ආනයනයට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 48.1ක් වී තිබුණි. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී වාහන ආනයනය තවත් දුරට අඩු වී ඇති අතර දැනට අවශ්‍ය තරම් වාහන රට තුළ ඇති බැවින් ආනයනය අඩු වීම නිසා ගැටලු ඇති නොවන බවය.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2020 ජූලිවල එම ප්‍රමාණය 28752 දක්වා පහළ වැටී ඇත. වාහන ආනයනය තහනම් කිරීම නිසා අගෝස්තු මාසය වනවිට ගෙන්වන වාහන සංඛ්‍යාව බොහෝදුරට පහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි. මෙම ජූලි මස මෝටර් රථ ලියාපදිංචිය 1712ක් වූ අතර ඒවායින් 272ක් අලුත් රථ විය. ජූනිවල මෝටර් රථ 2032 ගෙන්වා ඇති අතර 2019 මෙම ප්‍රමාණය 2584ක් වූ බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියයි. 2020 ජූලිවල ත්‍රීවිල් රථ 635ක් ආනයනය කර ඇති අතර ජූනි මාසයේ ගෙන්වා ඇති ත්‍රීවිල් සංඛ්‍යාව 1098ක් විය. 2019 මේ මාසයේ 1118ක් ගෙන්වා තිබුණි. යතුරුපැදි ආනයනයද පහළ ගොස් ඇති අතර 2020 ජූනි මස ගෙන්වූ 25162 වූ යතුරැපැදි සංඛ්‍යාව ජූලිවලදී 22419ක් විය. පෙර වර්ෂයේ මෙයට සාපේක්ෂව ගෙන්වා ඇති යතුරැපැදි සංඛ්‍යාව 24739 වූ බව දෙපාර්තමේන්තුව කියයි.

කෙසේ වුවද මේ අනුව පෙනී යන සත්‍ය නම් වාහන ආනයනය සමස්ත ලෙස 2019 – 20දී පහළ යමින් පවතින බවය. එසේම නව රජයේ සංශෝධිත නීති අනුව ඉදිරි මාසවල කැපී පෙනෙන ලෙස වාහන ආනයනය පහළ යනු ඇති බව කිව හැකිය. මෙම තත්ත්වය වාහන වෙළෙඳපොළට කෙසේ බලපායිද යන්න පිළිබඳ සමාජ කතිකාවතක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

දේශීය අලෙවි නියෝජිතවරැ තුළින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් සමඟ කටයුතු කරන වාහන ව්‍යාපාරික සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ පවසන්නේ රජය වාහන ආනයනය අත්හිටුවීම නිසා දිවයින පුරා වාහන වෙළෙඳ ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රුකියා සපයන 20,000කට අධික සංඛ්‍යාවකගේ රුකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවය.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ජාත්‍යන්තර සන්නාමවල මෝටර් රථ මෙන්ම ටයර් සහ ලිහිසි තෙල් ආනයනය කරන සහ අලෙවි කරන සියලුම අලෙවි නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනයකි. ඔහු පෙන්වා දෙන්නේ අද ඇතිව ඇති ව්‍යාකූල තත්ත්වය පහකිරීම සඳහා රජයේ නීති රීතිවලට අනුකූලව ලියාපදිංචි වාහන ව්‍යාපාරිකයන් මගින් පමණක් ආනයනය කිරීමට අවසර දිය යුතු බවකි.

ඔහු මෙසේද පවසයි.

මේ වනවිට වාහන ආනයන තහනම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒ නිසා වාහන ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට තමන්ගේ කටයුතු කල් තබා සැලසුම් කිරීමට හැකිවන පරිදි පනවා ඇති තහනම කවදා ඉවත් කළ හැකිදැයි රජය ප්‍රකාශ කිරීම වැදගත්. එසේ නැතිවනවිට අනාගතයේ කුමක් සිදුවේදැයි නොදන්නාකම නිසා මුළු ක්ෂේත්‍රයටම සම්බන්ධ අය අමාරැවේ වැටෙනවා. අවිනිශ්චිත තත්ත්වයකුයි ඇතිවී ඇත්තේ.

තහනම ඉවත් කිරීමට අනතුරැව අනෙක් වැදගත් කාරණය වන්නේ වාහන කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙනයාම සඳහා අවශ්‍ය රෙගුලාසි හඳුන්වා දීමයි. අප සංගමය ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය අතර වාහන නිෂ්පාදකයන් සම්බන්ධ කරන පාලමක් ලෙස ක්‍රියාත්මක කරනවා. 2019 වසරේදී සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රවාහන සැලසුමක් සඳහා ප්‍රතිපත්ති නිර්දේශ ලේඛනයක් සකස් කිරීමේ කාර්ය අරඹා තිබෙනවා. මේ පිළිබඳ අප ජාත්‍යන්තර ව්‍යවහාරික පර්යේෂණ ආයතන සමඟ කටයුතු කරමින් සිටින අතර එම සැලසුම සකස් කර අවසන් වූ වහාම රජයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.

අප ආයතනය ජාත්‍යන්තර හා දේශීය ලෙස කටයුතු කරමින් මෝටර් රථ කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කරමින් පවතිනවා. දිගටම අපේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ආනයනය නැවත ආරම්භ කළ හැකි ස්ථිර කාලවකවානු දැනුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. දැනට වාහන ආනයනය නොකිරීම නිසා නොබෝ කලකින් වාහන තොග සියල්ල අවසන් වී කිසිදු අලෙවි ආදායමක් ලබාගත නොහැකි තත්ත්වයට පත්විය හැකියි. ආනයන තහනම ඉවත් කිරීමට තවත් ප්‍රමාද වන්නේ නම් ව්‍යාපාරිකයන්ට සිය නඩත්තු වියදම් පියවා ගැනීමට රජයෙන් යම් සහනයක් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. එසේ නොවන්නේ නම් මෙම ව්‍යාපාරය කඩාවැටීමට ඉඩ ඇති අතර එය මුළු රටේම ආර්ථිකයට අහිතකර විය හැකියි. දෙපාර්ශවයටම එකඟ විය හැකි පසුබිමක් නිර්මාණය කිරීම සඳහා අපි රජය සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටිනවා

කෙසේ වුවද රජය මගින් වාහන ආනයනය කිරීම පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා පසුගිය සතියේ තිදෙනකුගෙන් යුතු කමිටුවක් පත්කර ඇත. කමිටුවේ සභාපති වන්නේ වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා වන අතර විශ්‍රාමික අතිරේක විගණන අධිකාරී ඩබ්ලිව්. ප්‍රේමානන්ද සහ ලේකම් වශයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයකු කටයුතු කරයි. මෙම කමිටුවට මාස තුනක් තුළ ස්වකීය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබී තිබේ. මෝටර් වාහනවලට අතිරේකව අලුතින් බස් රථ ආනයනය හා දුම්රිය මැදිරි ආනයනය කිරීම පිළිබඳවද සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වුවද අලුතින් බස් රථ ආනයනය නොකර දැනට ඇති අබලි බස් රථවල කොටස් එකලස් කිරීම පිළිබඳ සහ පවතින දුම්රිය මැදිරි ප්‍රතිනිර්මාණය කිරීමට ද එම අංශ අවධානය යොමු කර තිබේ. මේ පිළිබඳ අදාළ වෘත්තිට සමිතිවල සහය ලබාගැනීමට ද රජය අපේක්ෂා කරයි.

එසේම මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ මැති ඇමැතිවරුන් සඳහා වාහන අලුතින් ආනයනය කිරීමට බදු සහන බලපත්‍ර නිකුත් නොකරන අතර ඒ අයට ලැබෙන සහනය යටතේ දැනට වෙළෙඳපොළේ ඇති වාහන අතරින් සුදුසු ඒවා තෝරා ගැනීමේ ක්‍රමවේදයකට රජය අවතීරණ වී ඇති බවද දැනගන්නට ඇත.

දැනට පවතින පරිසරය අනුව ඉදිරියේදී වාහන ආනයනය වෙනුවෙන් විශාල ලෙස වැය වූ විදේශ විනිමය අවම කිරීමට හැකිවනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළකරති. එසේ වුවද වාහන මිල අහස උසට නොනංවා රටේ මධ්‍යම පාන්තික ජනතාවට සාධාරණ මිලට වාහනයක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම රජයේ යුතුකම බවද පෙන්වා දෙමු.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02