2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

බුලත්විට රුපියල් 50යි: පුවක් ගෙඩිය 22යි

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 639

මේ වනවිට බුලත්විටක මිල රුපියල් 50 දක්වා ඉහළ නැග ඇත. එම බුලත් විටේද ඇත්තේ කුඩා ප්‍රමාණයේ බුලත් කොළ දෙකක් සහ බාගෙට පැසුණු පුවක් කැබලි දෙක තුනක් බව බුලත් විට හපන අය කියති. බුලත්විට මෙලෙස දුප්පත් වී මිලද ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ මේ වනවිට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 22ක් තරමට ඉහළ නැග තිබීම සහ බුලත් කොළයක මිල රුපියල් 7 – 8 පමණ වීම බව ලියුම්කරු වෙළෙඳපොළේ කළ ගවේශණයකදී හෙළි විය. බුලත්විටට ගන්නා ලංකා දුම්කොළයක මිලද රුපියල් 100 පමණ වෙයි.

මෙයට වසර දෙක තුනකට පෙර රැපියල් පහක් ගෙවා මිලට ගත් බුලත්විටක විශාල ප්‍රමාණයේ බුලත් කොළ හතරක් පමණද පුවක් ගෙඩියක්ද අඩංගු වීම නිසා නිසා එම බුලත්විට දෙතුන් වාරයක් පාවිච්චි කිරීමට පාරිභෝගිකයකුට හැකිවිය. එසේ වුවද අද රුපියල් පනහකට මිලදී ගන්නා බුලත් විටකින් පිරිමසා ගත හැකි වන්නේ එක වේලක් බව බුලත් සපයන්නෝ කියති. මෙයට පෙර බුලත්විට සමඟ බුලත්, පුවක්, හුණු, දුම්කොළවලට අමතරව කරදමුංගු, කරාබුනැටි, ඉඟුරැපියළි, වසාවාසි ආදි සුවඳ ගෙනෙන වර්ගද ඇතුළත්ව තිබුණද අද වනවිට බුලත්විටක ඒ කිසිවක් ඇතුළත්ව නැත. ඇත්තේ දුම්කොළ කැබැල්ලක් හා හුණු ස්වල්පයක් පමණි. මුලදී රුපියල් 5ක් වූ බුලත්විට අනතුරුව රුපියල් 10, 15, 20, 25, 30 ආදී වශයෙන් ඉහළ ගොස් අනතුරැව එකවරම පිම්මක් පැන රුපියල් 50 ළඟ නතර වී ඇත. දිනපතා ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල ගණන්වලට සාපේක්ෂව බුලත්විටක මිල අනාගතයේදී කොතැන නවතීදැයි කිව හැකි නොවේ.

සිගරුට් මිල දිනෙන් දිනම වැඩිවන පසුබිමක බොහෝ දෙනා බුලත් විටට මාරුවනු දැකගත හැකිවිය. එසේ වුවද බුලත් විටක මිලද සිගරැට්ටුවක මිලට ළංවනවිට බුලත් විටක් සැපීම ද සිහිනයක් වන දිනය අත ළඟය. එසේම සිගරට්ටුවට සාපේක්ෂව බුලත්විට ශරීර සෞඛ්‍යයට අහිතකර නොවේ. පිළිකා රෝග බෝවීමේ ප්‍රවණතාව ඇත්තේ නිතරම බුලත්විට සැපීම සහ බුලත් හප මුව තුළ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම බව වෛද්‍ය මතය වේ. ඒ අනුව සිගරට්ටුව තරම් බුලත් විට ශරීරයට අහිතකර නැත. බුලත් පිළිකා නාශක ගුණයෙන් යුතු වටිනා ඖෂධයක් බව වෛද්‍යවරු කියති. එසේම බුලත්විට සපන්නේ බොහෝවිට සමාජයේ පීඩිත පන්තියේ ජනතාවය. අඩු ආදායම් ලබන වෙහෙසකාරී රැකියාවල නියුතු බොහෝ දෙනෙක් සිය වැඩවලින් විරාමයක් ලබා ගැනීමේදී බුලත්විට සැපීම පුරැද්දක්ව පවතී. ඒ නිසා මෙලෙස බුලත්විටක් රුපියල් 50ට ඉහළ යාම නිසා සාමාන්‍ය දුප්පත් ජනතාව පීඩාවට පත්ව සිටින බව කිව යුතුය. ඒ හැර බුලත් අපේ සංස්කෘතිය හා බැඳී පවතින අතර විවිධ උත්සව ආදිය සඳහා බුලත් කොළ යොදාගනී. මංගල්‍ය, අවමංගල්‍ය උත්සව සහ අවුරුදු චාරිත්‍ර පිළිපැදීමේදී ද බුලත් සිංහලයාට නැතිවම බැරිය. එය අපේ සිංහලකම හඟවන අංගයකි. ගෙදරට ගොඩ වදින අයට ප්‍රථමයෙන්ම සංග්‍රහ කරන්නේ බුලත් විටෙනි. එසේම බුලත්විට සැකසීම මේ වනවිට ස්වයං රැකියාවක් බවට ද පත්ව ඇත. ගෙදරට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනැවිත් බුලත්විට සකසා නගරයට අලෙවි කිරීම සමහරුන්ගේ ආදායම් මගක් වී තිබේ.

පෙර රජවරුන් පවා බුලත් විට ආහාරයට පසුව පාවිච්චි කර ඇත. රාජකීය ඉලත්තට්ටුවක්ද රජ ගෙවල තිබී ඇත. අපේ රටේ හිර බත් කෑ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් පවා බුලත්විට සැපීමට පුරුදුව සිටි බවට ඉතිහාසය දෙස් දෙයි. බුලත් කොළවල පවතින පීනෝල් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණ ඇතිව තිබේ. බුලත්වල පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, සින්ක්, යකඩ සහ ඛනිජ අඩංගුය. ඒ නිසා ශරීරය නිරෝගී කිරීමේ හැකියාව බුලත්වලට ඇත.

මිනිසා පුරාණයේ සිටම අද දක්වාම බුලත් සැපීම පුරුද්දක් ලෙස කළ අතර පිරිමියා මෙන්ම කාන්තාවද බුලත්විට කෑමට රුසියක් දක්වා ඇත. කාන්තාවන් ස්වකීය දෙතොල් රතු පැහැ ගැන්වීම සඳහා බුලත් සැපීමට පුරැදුව සිටි බව පැවසේ. බුලත් වර්ග රාශියක් මෙරට පැතිර පැවති අතර, නාගවල්ලි යන නාග ලොවෙන් ගෙනාවා යැයි සැලකෙන බුලත් වර්ගය මත් ගතියෙන් යුතු නිසා පාවිච්චියට ගැනීම අඩුය. රට කොළ, ගස් බුලත්, රට දළු, ගැරඬි මානෙරැ සහ කහ මානෙරැ සහ වැම්මල් බුලත් අනෙක් වර්ග අතර ඇත.

බුලත් සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුව බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයි. බුලත්විට නිසා සිරැර කාර්යක්ෂම වන අතර උත්තේජනය ද ඇති කරයි. බුලත්විට සමඟ පාවිච්චි කරන පුවක් හා හුණු නිසා මුඛයේ භාෂ්මික තත්ත්වය ඇතිවන අතර රබ්බඩ පුවක් හෙවත් පැසීගෙන එන පුවක් නිසා මුඛයේ පණුදොස් නැසෙන අතර, වාතය කිපීමෙන් ඇතිවන ආබාධද සමනය කෙරේ. ගොලෑ පුවක් මගින් උණ හා පිපාසාව සංසිඳුවයි. පුවක් පාවිච්චියේදී ඇතැමුන් එහි මදය සූරා ඉවත් කිරීමට පුරුදුව ඇත්තේ එයින් මත් බව ඇතිවේයැයි අදහස් කරගෙනය. පුවක් කල් තබා ගන්නා ක්‍රම දෙකක් වෙයි. එනම් මඩේ දැමීමෙන් සාදාගන්නා මඩ පුවක් සහ දුමේ දමා වේලා ගන්නා කරැංකා පුවක්ය. මෙලෙස කල් තබාගන්නා පුවක් ඒවා හිඟ කාලවලදී පාවිච්චි කරනු ලැබේ. බුලත් පුවක් හා හුණු සංයෝග වූ විට තුන්දොස් නසන බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන්ය.

පැරැණි ගැමියන් තම බුලත් මඩිස්සලය හැඩවැඩ දමා සකස් කිරීමට පෙළඹී සිටි අතර බොහෝ ගෙවල්වල බුලත් හෙප්පු සහ බුලත් තැබීම සඳහා බුලත් වට්ටි භාවිතයට පුරැදු වූ අතර ලී වංගෙඩි බුලත් විට කෙටීමට යොදා ගැනිණ. පුවක් කපන ගිරයද කෞතුක වස්තුවක් බවට පත්ව තිබේ.

මේ වනවිට බුලත්, පුවක් අපට විදේශ විනිමය ගෙන දෙන සම්පතක් වී ඇත. මැද පෙරදිග රටවලට බුලත් අපනයනය කිරීමෙන් අපට විදේශ විනිමය උපයාගත හැකිව තිබේ. එසේ වුවද අද ඇතිව ඇති ගැටලුව වන්නේ සාමාන්‍ය ජනතාවට දරාගැනීමට නොහැකි තරමට බුලත්, පුවක් මිල ඉහළ යාමයි. අනවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති වකවානුවක බුලත්විටේ මිල වැඩිවීමද ජීවන වියදම් ප්‍රශ්නය උග්‍රවීමට හේතුවක් වී ඇත. ඒ නිසා වගකිව යුතු අංශ උනන්දු වී ජනතාවට පහසු මිලකට බුලත් විටක් මිලදී ගැනීමේ පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබේ. බුලත් හපා පුරුදු වූ විට එය අත්හැරීමට අපහසු වීම නිසා කීයක් මිල වුවද බුලත් විට සමහරුන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්ව ඇත. ඒ නිසා බුලත්විටට ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. එහෙත් ආහාර මිල වැඩිවීම ගැන කතා කරන බොහෝ අංශ බුලත් විට රුපියල් 50ට ඉහළ යාම ගැන මුනිවත රුකීම කනගාටුදායකය.

ගැටඹේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර පවසන්නේ වර්තමානයේ ඇතිව ඇති බුලත් පුවක් මිල ඉහළ යාමට මෙම ද්‍රව්‍ය අපනයනය කිරීම හේතු නොවන බවය. බුලත් පුවක් අපනයනය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කරගෙන එන අතර එම තත්ත්වය නිසා බුලත් පුවක් මිල වැඩිවීමක් සිදුවිය නොහැකි බව ඔහු පවසයි.

පසුගිය සමයේ පැවැති වියළි කාලගුණය මෙන්ම කොරෝනා රෝග තත්ත්වය නිසා රට අකර්මන්‍යව තිබීමද මෙම ද්‍රව්‍යවල නිෂ්පාදනය පහළ යාමට හේතුවුණා. ඒ නිසා මිල ඉහළ යාමට මෙම වෙළෙඳපොළට ඌණ සැපයීමද බලපාන්නට ඇති. ඒ තත්ත්වය තවම නිවැරදි වී නැහැ.

අප බුලත් අපනයනය කරන්නේ විශාල වශයෙන් පාකිස්ථානයටයි. මාලදිවයින, බංගලාදේශය, ඉන්දියාව වැනි රටවලට ස්වල්ප වශයෙන්. සාමාන්‍ය වෙළෙඳපොළට එන බුලත් නොව කළු බුලත් තමා අපනයනය කරන්නේ. ගල් දළු, රට දළු වශයෙන් හැඳින්වෙන මෙම බුලත් වගාකර දින 21කින් තමා කඩන්නේ. දින 21කට පසු මෝරපු බුලත් අපනයනය කරන අතර සාමාන්‍යයෙන් බුලත් විටට ගන්නා බුලත් සතියකින් පසු වෙළෙඳපොළට එනවා. දෙආකාරයකට නිෂ්පාදනය වෙන නිසා අද රටේ බුලත් හිඟවීමට අපනයනය බලපාන්නේ නැති බව කිව යුතුයි.

බුලත් අපනයනය රටට විදේශ විනිමය ගෙනෙන මාර්ගයක්. 2018දී මෙට්‍රික් ටොන් 4000 පමණ අපනයනය කර රුපියල් මිලියන 2615ක ආදායමක් ලබා තිබෙනවා. 2019දී මෙට්‍රික් ටොන් 4677ක් අපනයනයෙන් රුපියල් මිලියන 3406ක් උපයාගෙන තියෙනවා. 2020 වසරේ ජූලි වනවිට බුලත් මෙට්‍රික් ටොන් 2318ක් අපනයනය කර මිලියන 1731ක ආදායමක් ලැබී ඇති අතර මේ වසර අවසන් වනවිට මිලියන 4000 පමණ උපයාගත හැකියැයි බලාපොරොත්තු වෙනවා.

මහලෙඩේ ලෙස හැඳින්වෙන බැක්ටීරියා රෝගය නිසා නිෂ්පාදනය අඩුවීමද බුලත් මිල ඉහළ යාමට හේතුවෙනවා. මේ රෝගය වැළඳුණු විට බුලත් කොටු සම්පූර්ණයෙන් ගලවා පුළුස්සා දැමීමට සිදුවෙනවා. නාරම්මල පිහිටි කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයෙන් බුලත් වගාව පිළිබඳ උපදෙස් දෙන අතර රෝගවලට ද පිළියම් ගැන දැනුවත් කරනවා

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුවක් අපනයනය කරන නමුත් පුවක් මිල ඉහළ යාමට ද අපනයනය හේතු නොවන බව ඔහු කියයි. පුවක් නිෂ්පාදනය මේ වසරේ අඩුවීම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්ව ඇති බවද ඔහු කියයි. පුවක් ගස් උත්සව ආදියට කපා දැමීම නිසා පලදාව දෙන ගස් විනාශ වීමද හිඟයට බලපානවා. එසේ කපා දමන ගස් වෙනුවට ගස් සිටවන්නේ නැහැ. පුවක් ගස් විවිධ හේතුවලට කපා දැමීම පාලනය කළ යුතුය යන්න ඔහුගේ අදහස වේ. කරැංකා ලෙස කල්තබා ගන්නා පුවක් ද වෙළෙඳපොළට මුදාහරින නමුත් එය හිඟය පියවීමට ප්‍රමාණවත් නොවෙයි. යැයිද ඔහු සඳහන් කරයි

අධ්‍යක්ෂවරයා පවසන පරිදි පුවක් නිෂ්පාදනය පහළ යාම නිසා අපනයනය ද අඩු වී ඇත. මේ වනවිට ප්‍රති අපනයනය ද නවතා තිබේ. 2020 ජූලි දක්වා වසර තුළ පුවක් මෙට්‍රික් ටොන් 1037ක් අපනයනය කර රුපියල් මිලියන 6928ක ආදායමක් ලබා තිබේ. එහෙත් මේ ප්‍රමාණය වර්ෂයේ නිෂ්පාදනය නොවන අතර පෙර වර්ෂවල පුවක් ද ප්‍රතිඅපනයනය කළ ඒවාද මෙයට අඩංගු වෙයි. ඒ නිසා පුවක් නිෂ්පාදනය වැඩි වී ඇතැයි සැලකිය නොහැකියි. 2019 පුවක් මෙට්‍රික් ටොන් 6134ක් රට යවා රැපියල් මිලියන 3628ක් උපයා තිබේ. 2018 අපනයන ප්‍රමාණය අඩුව ඇති අතර මෙට්‍රික් ටොන් 4948ක් අපනයනය කර තිබේ. ලැබූ ආදායම රුපියල් මිලියන 2864කි.

පුවක් අපනයනය කරන ප්‍රධාන රට ඉන්දියාව වන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය අපනයනය පහළ යාමට හේතු වී නැත. දැනට ඇති පුවක් හිඟයට පැළ රෝපණය කර විසඳුමක් ලබාගත නොහැක්කේ ගස් පීදෙන්නට සිටුවා වසර 6 – 7ක් ගතවන බැවිනි. දෙපාර්තමේන්තුව මගින් වර්ෂයකට පුවක් පැල ලක්ෂ 2ක් පමණ නොමිලයේ බෙදා දෙයි. වර්තමානයේ ඇති පුවක් හිඟයට පිළියමක් ලෙස වගාකරැවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද දියත් කර ඇති බව අධ්‍යක්ෂ ලින්දර පවසයි.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02