2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

රට වටෙන්ම අහුවෙන කහ හොරු

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

දේශීය කුළුබඩු සඳහා ස්ථාවර මිලක් ඇතිකිරීමටත් විදේශවලින් ගෙන්වන කුළුබඩු සඳහා වැයකරන මුදල් මෙරටට ඉතිරි කිරීමත් අරමුණු කොටගෙන කුළුබඩු වර්ග දහයක් ආනයනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සඳහා වූ අති විශේෂ ගැසට් පත්‍රය 2019 දෙසැම්බර් 6 වැනිදා නිකුත් කෙරිණ. එම නියෝගයත් සමඟ ආනයනය කිරීමට සූදානම් වූ ඇණවුම් අවලංගු කිරීමට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට සිදුව තිබිණ. මෙකී තත්ත්වය හමුවේ රටේ උග්‍ර කහ හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ කහ ජාවාරම්කරුවන්ද බිහිකරමිනි.

ගැසට් නිවේදනයක් හරහා කුළුබඩු ආනයනය කිරීම තහනමට ලක්කිරීමට සිදුව තිබුණේ එතරම් විනිමයක් ඒ සඳහා වැය කිරීම වළක්වාලීමටය. ඒ සමඟ ඇතිවූ කහ හිඟය අනුව පැහැදිලි වන්නේ රටේ පරිභෝජනය කරන කහවලින් බහුතරය ආනයනය කර ඇති බවකි. දේශීය වෙළෙඳපළේ ඉල්ලුමට ප්‍රමාණවත් කහ සැපයුමක් නොමැතිකම හේතුවෙන් කහ මිල අධික ලෙස ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය පාලනය කිරීම උදෙසා කහ කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 750ක් ලෙසට පාරිභෝගික අධිකාරිය නියෝග කළද මේ වනවිට කහ කිලෝව රුපියල් 4000 ඉක්මවා අලෙවි කෙරේ. ඒ අනුව කහ මිල පාලනයට අදාළ බලධාරීන් අපොහොසත්ව ඇති බවද කිවයුතුය.

කහ ආනයනය නොකොට රට තුළ වගා කිරීම සුදුසු බවට රජය යෝජනා කොට ඒ සඳහා යොමුවන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීම් කළේය. එහෙත් එම ඉල්ලීමෙන් පසුව වගා කටයුතු කළත් අස්වැන්න ලබාගෙන කහ කුඩු වශයෙන් වෙළෙඳපළට ඉදිරිපත් කිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇත. ඒ බව සනාථ කරන අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ. හීන්කෙන්ද මහතා පවසන්නේ මෙම හිඟය ලබන ජනවාරි මාසය අවසන් වනවිට යථා තත්ත්වයට පත්වනු ඇති බවය.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන්නේ කහ කුඩු මිලදී ගැනීමට නොමැති බවය. තිබුණත් ඒවා අධික මිලකට අලෙවි කරන බවද එවැනි කහ කුඩුවලට වෙනත් යමක් මිශ්‍රකර අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක බවද දැනගන්නට තිබේ. මේ අතර කහ කුඩු සඳහා පාන් පිටි, හාල් පිටි හෝ වෙනත් කෘත්‍රිම වර්ණක යෙදූ පිටි වර්ග කළවම් කරමින් කහ අලෙවි කරන බවට බොහෝ ප්‍රදේශවලින් චෝදනා නැගෙයි. එවැනි කහ කුඩු පැහැයන් කිහිපයකින් දැකිය හැකි බවත් නියම සුවඳ හෝ රසය නොමැති බවත් කියති. මේ අතර සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ මේ වනවිට වෙළෙඳ පොළේ පවතින කහ කුඩුවල 80ක් පමණ විෂ රසායන, වර්ණක හෝ වෙනත් පිටි වර්ග අන්තර්ගත බවය.

කහ හිඟය මැද අධික මිලකට කහ කුඩු අලෙවි කිරීම සිදුවෙන අතර නීති විරෝධී ආකාරයට කහ තොග මුහුදු මගින් මෙරටට ගෙන්වන ජාවාරම්කරුවෝ ආනයන වියදම දේශීය කුළුබඩු නිෂ්පාදනය ගැසට් නිවේදන සෞඛ්‍ය ආරක්ෂාව හෝ රටේ නීතියද මායිම් නොකරති. මේ ආකාරයට නීති විරෝධීව ගෙන්වූ රුපියල් මිලියන 60කට අධික වටිනා වියළි කහ තොගයක් බේරුවල ධීවර වරායට පැමිණි යාත්‍රාවක තිබී සොයාගත් බවට පොලිසිය අනාවරණය කළේය. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිලෝග්‍රෑම් 2,230කට අධික වියළි කහ තොගයකි. මේ ජාවාරම පසුපස සිටින පිරිස සොයා විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ පසුගිය 3 වැනිදාය.

ඊට පෙර ජූලි 28 වැනිදා නාවික හමුදාව විසින් මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට රුගෙන එමින් සිටි වියළි කහ තොගයක් සමඟ සැකකරැවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මුහුදු මගින් කොවිඩ් ආසාදිතයන් මෙරටට ඇතුළුවීම අවහිර කිරීම සඳහා ක්‍රියාත්මක නාවික හමුදා මුර සංචාර අතරතුරදී උතුරුමැද නාවික විධානය විසින් ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කහ ගෝනි කිහිපයක් සමඟය. එම කහ තොගයේ බර කිලෝග්‍රෑම් 999 ඉක්මවන බව නාවික හමුදාව වාර්තා කළේය. අගෝස්තු 29 වැනිදා නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 1428ක් සොයාගැනීමට සමත්ව තිබුණි. ඒ නොරොච්චෝල සහ කල්පිටිය වෙල්ල දූපත ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදීය.
මෙම කහ තොගය නීති විරෝධී ලෙස මෙරටට රුගෙන විත් ගෝනි මලු 26ක අසුරා තිබී ඇත. මේ සමඟ සැකකරැවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෝටර් රථයක් හා ලොරි රථයක්ද හමුදා බාරයට ගෙන ඇත. වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීමේදී කල්පිටිය තොරෙයිඅඩි ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒවා ප්‍රවාහනය කිරීමට එරෙහිවය.

මේ ආකාරයට අගෝස්තු 21 සිට 27 දක්වා කාලය තුළ මන්නාරම, සවුත්බාර්, තාල්පාඩු, නාඩුකුඩා, අරිප්පු, තලෙයිමන්නාරම, පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකදී කළ වැටලීම්වලදී වියළි කහ කිලෝ 3861ක් පමණ අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. එසේම අගෝස්තු 11 වැනිදා හලාවත දඹුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ සිදුකළ මෙහෙයුමකදී ට්‍රෝලර් යාත්‍රාවකින් රැගෙන එමින් තිබූ කහ කිලෝ 6381ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව සිටී. මෙම ජාවාරමට සැකපිට පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වත්තල, කටුගස්තොට, නුවර, බේරුවල හා තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

අගෝස්තු 18 වැනිදා නොරොච්චෝලෙ, දලුව සහ මන්නාරම ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙස මෙරටට රුගෙන ඒමට සඟවා තිබූ කහ කිලෝ 700කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබුණි. මේ අනුව ගතවූ මාසයකට ආසන්න කාලයේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 13,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවේ ගෙන ඇතැයි වාර්තා වේ.


 සමන්ත විල්තෙර