2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

ඉර මුදුන් සමයමේ ඇදහැළුණු මහ වැස්ස

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

දිවයිනේ ප්‍රදේශ රැසක පැවැති උණුසුම් කාලගුණික තත්ත්වය පහව යමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් පසුගියදා ඇද හැලුණේය. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි කාලයේදී අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට වර්ෂාව වාර්තා වුණා. පසුගිය දින ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 වැඩි තද වර්ෂාවක් ද වාර්තා වුණා. මෙම තද වැසි දින කිහිපයක් වැනි කෙටි කාලයක් පවතින අතර නැවතත් වර්ෂාව අඩු වී යථා තත්ත්වයට පත්විය හැකියි. යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුවද අගෝස්තු මස විසි අටවැනිදා සිට සැප්තැම්බර් මස හත්වැනිදා දක්වා සූර්යයා කෙළින්ම දකුණට ගමන් කිරීම හේතුවෙන් ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම සූර්යයා ඉහළින් පවතී. මෙම හිරැ මුදුන් වීමත් සමඟම ඇතැම් ප්‍රදේශවලට දැඩි හිරැ රශ්මියක් ලැබේ. විශේෂයෙන් දහවල් කාලයේදී මදුරන්කුලිය, තල්ගස්වැව, හුණුගල්ලෑව, මනම්පිටිය, කල්කුඩා ඇතුළු දිවයිනේ උතුරු ප්‍රදේශවලට හිරැ මුදුන් වීම දැඩි ලෙස පවතින බැවින් මේ කාලයේදී හිරැ රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා පියවර ගත යුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතුල කරැණානායක සඳහන් කරයි. එමෙන්ම දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් මෙලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රුසක පැවැති වියළි කාලගුණික තත්ත්වයේ හදිසි වෙනසක් පෙන්නුම් කරමින් පසුගිය සතියේ දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි සමඟ දැඩි සුළං ඇතිවුණි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. දෙසීය ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැළුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුළ කරැණානායක මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරැ අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
පැවැති තද වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හානි සිදුවිය. ප්‍රදේශ ගණනාවක ගස් කඩාවැටීම හේතුවෙන් සහ නිවාසවලට හානි සිදුවීමෙන් මාර්ග කිහිපයකම ගමනාගමන තත්ත්වය ඇණහිටිණි. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාව පීඩාවට පත්ව සිටිනා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. විශේෂයෙන් බදුල්ල, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පවුල් ගණනාවක් පීඩාවට පත්ව සිටිනා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇදහැළුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ගාල්ල පෝද්දල ප්‍රදේශයේ නිවසක් තුළ නිදා සිටි දැරියක් මතට කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී ඇති පුවතක් ද වාර්තා වේ. දස හැවිරිදි මෙම දැරියගේ හිසට බරපතළ හානියක් සිදුව තිබේ. ගම්වාසීන්ගේ මැදිහත් වීමෙන් ඇයව කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. මෙම හේතුවෙන් දියණියගේ මවද තුවාල ලැබූ අතර ඇයද මේ වනවිටත් කරාපිටිය ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනී. නිවාසයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවද වාර්තා වේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර ගමනාගමනයට බාධා ඇති වී ඇත. කරාපිටිය, නැගෙනහිර, හිරිපිටිය මැද සහ වේයන්ගොඩ ප්‍රදේශවල ග්‍රාම වසම් එලෙසින් ජලයෙන් යට වී ඇත. මීට අමතරව වේයන්ගොඩ තවත් ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී ජනතාව පීඩාවට පත්ව ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ අඟුරුවාතොට, මිල්ලනිය, මතුගම, බදුරලිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක කඳු නායයෑම් අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. එබැවින් ඒ අවට පදිංචිකරුවන් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, ගස්, කණු ඇලවීම, බිත්ති හෝ පොළව ඉරි තැලීම් ආදී වෙනසක් ඇතිවෙන්නේනම් වහාම එවැනි ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02