2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

දශක දෙකක් දැරූ ලේකම් ධූරය අත්හැර ගිය ඩිව් කියන කතාව

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙසය. ඊට ප්‍රධාන හේතුව වන්නේ දකුණු ආසියාවෙන් මුලින්ම සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ ශ්‍රී ලංකාවට වීමය. 1928 දී එංගලන්තය තම රටේ අවුරැදු 21කට වැඩි පිරිමි පාර්ශ්වයට හඳුන්වා දුන් ඡන්ද බලය ඉන් වසර තුනකට පසු ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණ.

ඒ අනුව 1931 දී අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දී, රාජ්‍ය පරිපාලනය බ්‍රිතාන්‍ය මාදිලියට හුරුපුරුදු වීම උදෙසා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් ‌ද බ්‍රිතාන්‍යයන් විසින්ම ලබා දී තිබිණි. බ්‍රිතාන්‍ය අනුගමනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා යාන්ත්‍රණයක්‌ ලෙසින් භාවිත කිරීමට අවැසි දේශපාලන පක්‌ෂ ක්‍රමය මෙරටට ද හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1935 දී ප්‍රථම දේශපාලන පක්‌ෂය ලෙසින් ආචාර්ය ඇන්.එම්. පෙරේරාගේ නායකත්වයෙන් ලංකා සමසමාජ පක්‌ෂය ලියාපදිංචි කෙරිණි.

ඉන් අනතුරැව එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් සිංහල මහ සභාව දේශපාලන පක්‌ෂයක්‌ ලෙසින් ලියාපදිංචි කළ අතර, හතළිහේ දශකය ඇරඹෙද්දීම ලංකා සමසමාජ පක්‌ෂය දෙකඩ වී එස්‌.ඒ. වික්‍රමසිංහ වෛද්‍යවරයාත්, පීටර් කේනමන් නීතිවේදියා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය නිර්මාණය කර ගත්හ.

ලාංකික දේශපාලනයේ සලකුණු තැබූ වමේ නායකයන් බොහෝ දෙනකු අද අප අතර නැත. ඩිව් යනු වර්තමානයේ අප අතර ඉතිරිව සිටින, තවමත් ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු සැබෑ වාමාංශික නායකයෙකි. සිය දේශපාලන දිවියේ හැට එක් වසරක් ගත කළ ඩිව් ගුණසේකර මෙරට රජයන් රැසකම ප්‍රබල අමාත්‍යධූර කිහිපයක් හෙබවීය.

වමේ ව්‍යාපාරයේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරමින් වසර ගණනක සිටම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධූරය දැරෑ ඩිව් ගුණසේකර පසුගියදා එම පක්ෂයේ මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්විය. එහෙත් ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන නැත.

‘’පළමුව කියන්නේ මම පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා සිටියා මේ ලේකම් ධූරයෙන් වගකීම්වලින් මුදාහරින්න කියලා. ඊටපස්සේ අපි සාකච්ඡා කරලා දේශපාලන මණ්ඩලයට දැම්මට පස්සේ ඔවුන් ඒක පිළිගත්තා. ඊටපස්සේ මම එම තනතුරෙන් ඉවත්වෙලා වෙනත් ලේකම්වරයෙක් පත් කරනු ලැබුවා.

මේ වන විට අභියෝග රුසකට රට මුහුණ දීලා තියෙනවා ගෝලීය අභියෝග, කලාපීය අභියෝග, ජාතික අභියෝග යනුවෙන්. ඉතින් මේ අභියෝගයන්ට මුහුණදෙන වකවානුවක තමයි රටේ වෙනස්වීම් රැසක් ඇතිවෙන්නේ. ඒ වගේම කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ ප්‍රධාන රටවල් මුහුණදෙන අභියෝග එකිනෙක එළියට ආවා. දැන් මේ නව ලිබරල් ප්‍රතිපත්තිය නිසා ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම අපේ රටෙත් අර්බුද මතුවෙලා තියෙනවා. ඉතින් රට හමුවේ ඇති අභියෝගවලට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දෙන්න තරැණ නායකත්වයක් අවශ්‍ය වෙලා තිබුණා අපිට. මොකද, මම තුන්වැනි පරම්පරාව නියෝජනය කරන කෙනෙක්. ඉතින් හතරවැනි පරම්පරාවට නායකත්වය පවරන්න ඕන කියන එක මගේ හිතේ කාලයක ඉඳන් තිබුණා. ඒක නිසා තමයි මේ වෙනස ඇති කළේ.

කොහොමත් පක්ෂ ලේකම්ධූරයෙන් ඉවත් වුණත් මම දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ. මම පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙත් ඉන්නවා. ඒ වගේම පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් මම නියෝජනය කරනවා. නව පරම්පරාවට ඉඩකඩ ලබාදීමේ මුල් පියවර ලෙස තමයි මම මේ පියවර ගත්තේ. කොහොමත් ජාතික ලැයිස්තුවට මගේ නම ඇතුළත් කළේ නැහැ. එහෙම ඇතුළත් කළා නම් මගේ නම කැපෙන්නෙත් නැහැ. එහෙනම් සමහරවිට අමාත්‍යධූරයක් හිමිවෙන්නත් තිබුණා. නමුත් මම අපේ පක්ෂයේ වෙන කෙනෙක් තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට නම් කර යැව්වේ. නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් එයාට හිමිවූයේ නැහැ.

වමේ ව්‍යාපාරයේ තුන්වැනි පරම්පරාවට අයත් ඩිව් ගුණසේකරයන් හට බොහෝ වමේ නායකයන් සමඟ සමීපව ගනුදෙනු කිරීමට අවකාශය ලැබිණි. දොස්තර වික්‍රමසිංහ, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් ද සොයිසා ආදී පුරෝගාමී නායකයන් ඒ අතරින් කිහිප දෙනෙකි. මෙරට සිටි රාජ්‍ය නායකයන් ද මුණගැසීමට ඩිව් වාසනාවන්ත විය. ඩී.එස්. සේනානායක මහතා ඔහුට මුණගැසී ඇත්තේ තමා පාසලේ ශිෂ්‍ය නායකයකුව සිටි අවධියේ පාසලේ පැවැති උත්සවයකදීය. එදින විදුහල්පතිවරයා පාසල් ශිෂ්‍ය නායක ලෙසින් සේනානායක මහතා සමඟ කටයුතු කිරීම ඩිව්ටම පැවරීම සුවිශේෂී සිදුවීමකි. පසුව ද විවිධ අවස්ථාවල මෙරට බිහිවූ සියලු රාජ්‍ය නායකයන් හමුවීමට තරම් ඩීව් ගුණසේකරයන් වාසනාවන්ත විය. 

රාජ්‍ය සේවකයන් සඳහා දෙමළ භාෂාව අනිවාර්ය කිරීමේ තීරණයෙහිද පෙරගමන්කරු වූයේ ඩිව් ගුණසේකරයන්ය. විවිධ හේතු දක්වමින් දේශපාලන වාසි අවාසි සලකා කල් දැමූ මෙම තීරණය අද ද ක්‍රියාත්මක වන්නේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය මතය. මේ ආදී තවත් විශිෂ්ට ක්‍රියා රුසක් ඔහුගේ දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත. ඒ සියල්ල මෙහි ලියා තැබීම කළ නොහැක්කකි. ඩිව් ගුණසේකර නම් විශිෂ්ට චරිතය ලක් දේශපාලන වාමාංශික සලකුණක් බැව් අවසානයේ අපි ලියා තබමු.

 සටහන - හසිත් අංජන