2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

කාලේ බෝතලේට සැෂේ පැකට් එකට වෙන්න යන වැඩේ

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

අරක්කු කාලේ බෝතල් සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල සැෂේ පැකට් තහනම් කිරීමට කටයුතු කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවසීය. මෙම ප්‍රකාශ පාරිභෝගික සමාජයේ යම් ආන්දෝලනයකට හේතුවිය. දුප්පතාට පහර වදින තීරණයක් ලෙස පිරිසක් මෙම තීරණය පිළිබඳ අදහස් දැක්වූහ. ඒ අතර පරිසර ක්‍රියාකාරීන් මෙම තීරණය පිළිබඳ ප්‍රසංසාත්මකව අදහස් දක්වා තිබුණි. මෙම තත්ත්වයන් හේතු කොටගෙන අප මෙම කාලේ බෝතල් සැෂේ පැකට් තහනම පිළිබඳ කාලීන සංවාදයක් ඇති කර ගතිමු.

අප මෙම සංවාද පාර්ශ්ව තුනක් නියෝජනය වන පරිදි ගොඩනැගුවෙමු. ඒ අනුව ප්‍රකාශය සිදුකළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාව පළමුව සංවාදයට සම්බන්ධ කරගතිමු. මෙම තීන්දුවට හේතු කාරණා විෂයභාර අමාත්‍යවරයා ලෙස ඔහුගෙන්ම විමසීමට උත්සුක වීමු.

සැෂේ පැකට් නිසා මේ වනවිටත් විශාල පරිසර හානියක් සිදුවෙලා තිබෙනවා. වැව්, ඇළවල්, දොළවල් ආදී ස්ථාන සැෂේ පැකට් නිසා විශාල වශයෙන් දූෂණය වෙලා. විශේෂයෙන්ම ෂැන්පෝ, ජෙල් ආදී විවිධ සැෂේ පැකට් මේ විනාශයට හේතුවල්. මේවා දිරන්නේ නෑ. සතුන්ගේ ජීවිතවලට හානි පමුණවනවා. එමනිසා පළවෙනි අදියරේ අත්‍යවශ්‍ය නොවන මේ සැෂේ පැකට් අපි තහනම් කරනවා. නමුත් පළවෙනි අදියරේදී සැෂේ පැකට් විදිහට එන ආහාර ද්‍රව්‍ය තහනම් කිරීමක් සිදුවෙන්නේ නෑ. ආහාර ද්‍රව්‍ය සැෂේ පැකට් විදිහට ඇසුරැම් කරන අයට අපි කතාකරලා වෙනත් විකල්ප හඳුන්වා දෙන්න කියනවා. ඊට පස්සේ ඊළඟ අදියරකදී ඔවුන් පිළිබඳවත් අපි කටයුතු කරනවා.

මීට අමතර අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි කාලේ බෝතල් හේතුවෙන්ද විශාල පරිසර හානියක් සිදුවී තිබේ. ඊට අමතර මෙම බෝතල් කුඩුකර ජල ප්‍රවාහයන්ට එකතු කිරීම නිසා විශාල අනතුරැ ප්‍රමාණයක්ද වෙයි. ගොවියෝ බොහෝ දෙනෙක් මෙම ගැටලු හේතුවෙන් අපසුතාවට පත්වී සිටිති.

මෙම තීරණය දෙස පරිසර විද්‍යාත්මක ප්‍රවේශයකින් බැලීමද වැදගත්ය. පරිසරවේදී සජීව චාමිකර මහතා අප සංවාදයට එකතුකර ගත්තේ එබැවිණි.

මෙය තහනමක් විදිහට ඉතාම යෝග්‍ය තීරණයක්. මෙහි දෙවැනි පැතිකඩ විදිහට අපි මේ තීන්දුව ගන්න ඕනෑ දූෂකයා ප්‍රතිපූර්ණ කරනවා කියන පරිසර විද්‍යාත්මක මූලධර්ම යටතේ. සැෂේ පැකට් තහනමට අමතර අපි මෙතැනදී යෝජනා කරන්නේ මේ නිෂ්පාදනවල ඇති දවටන පිළිබඳ වගකීම අදාළ නිෂ්පාදකයාට ලබාදෙන්න ඕනෑ. ඒ සියලු ද්‍රව්‍ය නැවත භාවිත කිරීම, ප්‍රතිචක්‍රීකරණ, ප්‍රතිසංස්කරණ කිරීම, ප්‍රතිභාවිතය කිරීම, වෙනත් භාණ්ඩයක් බවට පරිවර්තන හෝ අගය එකතු වෙනත් භාවිතාවක් සඳහා ගන්න ලබාගන්න කියන තැනට නිෂ්පාදකයාව යොමු කරවන්න ඕනෑ. එහෙම නැති වුණොත් වෙන්නේ සැෂේ පැකට් වෙනුවට පැමිණෙන ආදේශ හරහා නැවතත් පරිසරයේ රැඳීම.

චාමිකර මහතා ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ තුනී පොලිතීන් තහනමයි. තුනී පොලිතීන් වෙනුවට කැබැලි වශයෙන් දිරාපත්වන ඝන පොලිතීන් භාවිතයට එක්කිරීමට පසුගිය කාලයේ බලධාරීහු කටයුතු කළහ. නමුත් අද වනවිට එලෙස දිරාපත්වන අංශු ජෛව හානියට ලක් නොවන බව හෙළිදරව් වී ඇත. ඒ අනුව සජීව චාමිකර මහතා පෙන්වා දෙන පරිදි මිනිසුන් ඇතුළු සියලු සතුන්ට දිරාපත් නොවන මෙම ක්ෂුද්‍ර අංශු හරහා විශාල බලපෑමක් එල්ල වෙයි. එනිසාම සැෂේ පැකට් තහනමද මතුපිටින් නොව ගැඹුරින් සිතා බලා සිදුකළ යුත්තක් බව ඔහු පෙන්වා දෙයි.

අපි සංවාදයට පාරිභෝගික පාර්ශ්වය නියෝජනය වන පරිදි පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සම්බන්ධ කර ගතිමු.

පාරිභෝගිකයෝ විදිහට සැෂේ පැකට්වල සහ කාලේ බෝතල්වල අවශ්‍යතාවක් අපිට තිබෙනවා. මේ රටේ තිබෙනා ආර්ථික තත්ත්වය එක්ක පාරිභෝගිකයාට සමහර භාණ්ඩ ලබාගන්න බෑ. උදාහරණක් විදිහට හොඳ ෂැන්පෝ බෝතලයකට එකපාර මුදල් යොදවන්න ගොඩක් දෙනෙක්ට බෑ. ඒ නිසා සැෂේ පැකට් එකක් ගන්නවා. මේ රටේ දෛනික ආදායමක් ලබන ජනතාව විශාලයි. එදා වේල පිරිමසා ගැනීමේදී තොගේට බඩු ගන්න පාරිභෝගිකයින්ට බෑ. මේක පාරිසරික අයිතියක්. ලෝකේ කොහෙවත් එකපාරට මෙහෙම තහනමක් ගෙනැත් නෑ. බලධාරීන් කරන්න ඕනෑ විධිමත් වැඩපිළිවෙළක් හදන එක. ප්‍රතිචක්‍රියරණ වැඩසටහනක් වගේ දෙයක් නිර්මාණය කිරීම. මේක නීතියෙන් තහනම් කිරීම නොකළ යුතු වැඩක්. ඒකෙන් පේන්නේ ඔවුන්ගේ නොහැකියාව. කොහොම වුණත් පාරිභෝගික අයිතීන් වෙනුවෙන් අපිට අවශ්‍ය වුණොත් අධිකරණය හමුවට වුණත් යන්න සූදානම්.

මෙහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මතුකරන්නේ වෙනත් අදහසකි.

මෙතැන ප්‍රශ්නයක් නැහැ කියලා මං කියන්නේ නෑ. නමුත් හැම පැත්තක්ම බැලුවොත් මුකුත්ම කරන්න වෙන්නේ නෑ. මෙතැනදී සැෂේ පැකට් විදිහට එන ආහාර ද්‍රව්‍යත් තහනම් කරන්න කියලා තමා අපට නි‍ර්දේශය ආවේ. එහෙම වුණොත් කිරිපිටි පවා තහනම් කරන්න වෙනවා. නමුත් මෙතැන තිබෙන ගැටලුව ගැන සැලකිලිමත් වෙලා තමා මම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තහනම් නොකරන්නේ. මේ නිෂ්පාදන විකල්ප ක්‍රමවලට එනවා නම් අපිට ගැටලුවක් නෑ. කොහොම වුණත් අපිට පරිසරය විනාශ කරන්න දෙන්න බෑ.

මෙහිදී කාලේ බෝතල් තහනම නිසා තමන් මුහුණදී සිටින ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වූහ.

අරක්කු බොන මිනිස්සු මට කතා කරනවා. අපි හැන්දෑවට කාලක් තමා ගැහුවේ. දැන් මොකද වෙන්නේ? මේ වගේ චෝදනා හැම පැත්තෙන්ම එනවා. ඒ හැම පැත්තම බලන්න බෑ. ඒත් මේ නිෂ්පාදන ආයතන සමඟ කතාකරලා විකල්පවලට යන්න කාලයක් දීලා තමා අපි තහනම ක්‍රියාත්මක කරන්නේ. මේක පළමු පියවර විතරයි. ඉදිරියේදී මේ වගේම තහනම් ලැයිස්තු කිහිපයක්ම තියෙනවා.

කාලේ බෝතල් තහනම පිළිබඳ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාද සිය අදහස් එකතු කළේය.

අපිට ඇත්තටම සැකයක් තිබෙනවා මේක බියර් ප්‍රවර්ධන කරන්න කරනවාද කියලා. හවසට මේසන් බාස් කෙනෙක් වගේ දෛනිකව වැඩකරන කෙනෙක් බොන්නේ කාලේ බෝතලයක්. ඉස්සරහ ගන්න වෙන්නේ භාගේ බෝතලයක්. බොන කෙනා භාගයක් අරගෙන අද කාලයි හෙට කාලයි බොන්නේ නෑ. භාගෙම බොනවා. එතකොට භාගේ බෝතල්වලින් හානියක් වෙන්නේ නැද්ද? මෙතැන වෙන්නේ පරිභෝජනය වැඩිවීමක්. මේවා තහනම් කරන එක නෙවෙයි වැඩේ ප්‍රතිචක්‍රීකරණය වැඩපිළිවෙළක් හදන එක.

කෙසේ නමුත් මෙම තහනම් පිළිබඳ සතුටු විය හැකි බව පරිසරවේදීන්ගේ පාර්ශ්වයේ අප සංවාදයට එකතුවූ සජීව චාමිකර මහතා පවසයි. එහෙත් පාරිභෝගිකයා කෙරෙහි මෙම නිෂ්පාදන දවටන පිළිබඳ වගකීම පැවරීම දෙස ඔහු මතුකළේ වෙනත් අදහසකි.

රාජ්‍ය ප්‍රතිපත්ති හැමවිටම සකස් වෙන්න ඕනෑ දූෂකයා ප්‍රතිපූර්ණ කරනවා කියන සංකල්ප යටතේ. මෙතැනදී වගකීම හැමවෙලාවෙම දිය යුත්තේ නිෂ්පාදකයාට. පාරිභෝගිකයට නෙවෙයි. මොකද නිෂ්පාදනය කරන භාණ්ඩ නිවැරදිව සෞඛ්‍ය ආරක්ෂිතව පාරිභෝගිකයා දක්වා ගෙනියන්න තමා දවටන පාවිච්චි කරන්නේ. ඒ නිසා කිසිම වෙලාවක පාරිභෝකයා දවටන භාවිතයට ගන්නේ නෑ. අන්තර්ගතයයි ඔවුන් භාවිතා කරන්නේ. දවටන සම්බන්ධ වගකීම ගන්න ඕනෑ නිෂ්පාදකයා ගතයුතුයි. තමන්ගේ නිෂ්පාදනයේ ඉතිරියෙන් පරිසර හානියක් කරන්න ඔවුන්ට ඉඩදෙන්න බෑ.

කාලේ බෝතල් සැෂේ පැකට් තහනම පිළිබඳ සංවාදයක් තුළ එකින් එකට වෙනස් මත ඇති බව පැහැදිලිය. එම නිසා පුළුල් සංවාදයක් හරහා අවසන තීරණයට එළඹෙන්නේ නම් වටියි. කෙසේ නමුත් අවසානයේ ඉදිරිපත් වන සියලු විසඳුම් පාරිභෝගිකයාද පරිසරය ආරක්ෂා වන තිරසාර වන්නේ නම් යහපත්ය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02