තම ගම්මානයට නිතර නිතර කඩාවදින රිලවුන්ට සහ වඳුරන්ට ගම බාර දී වෙනතක යන්නට සිදුව ඇතැයි පවසන ගම්වැසියන් පිරිසකගේ මේ හඬ පොළොන්නරුවේ ශ්‍රී නිශ්ශංකමල්ලපුර පෙදෙසෙනි.
එපමණටම රිලා, වඳුරු හිරිහැර උග්‍ර වී ඇතැයි ඔවුහු කියා සිටිති. දිනපතාම පාහේ රංචු පිටින් ගම්වදින මේ වනසතුන් ගෙවතුවල වගා කර ඇති බෝග වර්ග සියල්ලක්ම කා දමන බව බොහෝ දෙනෙක් පැවැසූහ. එපමණක් නොව නිවෙස් තුළට රිංගා එහි තිබෙන බඩු බාහිරාදිය වනසා දමා හානි සිදු කරන බවත් ආහාර ද්‍රව්‍ය කෑමට ගන්නා බවත් කීහ. රිලවුන්ගෙන් සහ වඳුරන්ගෙන් නිතර නිතර සිදුවන හිරිහැර පිටුදැකීමට මඟක් නොමැති හෙයින් ගම් හැරදා යන්නට සිදුවී ඇතැයිද එම ජනයා කියා සිටියහ.
රිලා, වඳුරැ හිරිහැර පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානයේ වෙසෙන ඩබ්ලිව්. ඩබ්ලිව්. වසන්ත (52) මහතා
වඳුරන්ගේ, රිලවුන්ගේ හිරිහැර කරදර අද, ඊයේ නෙවෙයි දැනට අවුරැදු 6ක 7ක ඉඳලා තියෙනවා. දැන් එන්න එන්නම වැඩියි. වත්තක කිසිම ගහක් කොළක් වවාගන්න විදියක් නෑ. කාලා විනාශ කරනවා. පොල් ගහක කුරැම්බා ඇට්ටියක්වත් තියන්නේ නෑ. වතුවලට පැනලා සේරම විනාශ කරනවා. රිලවුන්ට වඳුරන්ට ගම දීලා අපිට යන්නයි දැන් වෙලා තියෙන්නේ. මේ කරදරයට කාගෙන්වත් විසඳුමක් නෑ. අපි රජයෙන් ඉල්ලන්නේ අපිට වායු තුවක්කු හරි දෙන්න, එතකොට අපි රිලව්, වඳුරෝ එළවාගන්නම්. එහෙම කළොත් අපේ ගෙවතුවලත් මොනවා හරි බෝගයක් වගා කර ගන්න පුළුවන්. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ. අපි කොයි තරම් බලධාරීන්ගෙන් ඉල්ලීම් කරලා තියෙනවද? මේ වෙනතෙක් විසඳුමක් ලැබුණේ නෑ.
ජේ.ඩී. රෑබි විජේසිංහ (68) මහත්මිය මේ වනසතුන්ගේ හිරිහැර පිළිබඳව මෙසේ විස්තර කළාය.
රිලව්, වඳුරෝ දෙගොල්ලම මේ ගමට එනවා රංචු පිටින්. ඇවිල්ල කරන්න තියෙන හැම විනාශයක්ම කරනවා. මේ ළඟ ගෙදරක දරැවෙක්ගේ අතක් හපා කාලා තුවාල කළා. ගිය සතියේ රිලවෙක් ගෙට පැනලා. ඒ දරුවගේ අම්මත් රට ගිහිල්ලා ඉන්නේ. දරැවා ඇළට නාන්න ගිහිල්ලා දවල් ගෙදරට එනකොට ගෙදර ඇතුළේ හිටපු රිලවා පැනලා ඒ දරැවගේ අත හපා කාලා. දකුණු අතේ ඇඟිල්ලක් වෙන්වෙන්නම කාලා. මේ ගෙවල් තියෙන්නේ පොළොන්නරැව පුරාවිද්‍යා භූමියට යාබදව. ඒ කැලේ ඉන්න රිලව්, වඳුරෝ තමා මේ ගමන එන්නේ. දැන් දැන් එනවා වැඩියි. ඒකට හේතුව කෑම හිඟකම. කලින් වන්දනාවේ එන අය බස් පිටින් වන්දනා නඩ මේ ගල් විහාරය තියෙන පුරාවිද්‍යා භූමියට ආවා. ඒ අය මේ සතුන්ට කෑම දුන්නා. කාලා ඉතුරුවෙන දේවල් සත්තු කෑවා. දැන් සතුන්ට කෑම හිඟයි. ඒ නිසා ගම්වලට එනවා වැඩිපුරම. ගෙවල්වලට පැනලා ගෙවල් ඇතුළේ තියෙන කෑම ජාති අරගෙන යනවා. සමහරුන්ගේ උයලා තියෙන බත්මුට්ටි කෑම භාජන පවා රිලව් උස්සාගෙන යනවා. අපිට කිසිම දෙයක් මේ වතුවල වගා කරන්න බෑ. රිලව්, වඳුරෝ දෙගොල්ලම කාලා විනාශ කරනවා.
ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානයේ වෙසෙන දෙදරැ මවක වන කේ.ජී. මාලනී (54) මහත්මිය
අපේ ගමේ මේ කොටසට එන්නේ වඳුරෝ විතරයි. රිලව් එන්නේ නෑ. වඳුරෝත් 25ක විතර රංචුවක් එනවා. කිසිම වත්තක වගාවක් කරන්න බෑ. කාලා විනාශ කරනවා. මේ ප්‍රශ්නයට විසඳුමකුත් නෑ. අපි ඉතින් මේ හිරිහැර විඳදරාගෙන ජීවත් වෙනවා. අපිට ඉතින් වෙන යන්න කියලා තැනක් ඇත්තේ නෑ.
ඩබ්ලිව්.ඒ. සුමිත් විජේතුංග (54) මහතා
අපි මේ පදිංචිවෙලා ඉන්නේ පොළොන්නරුව අභයභූමියත්, පුරාවිද්‍යා රක්ෂිතයත් පිහිටලා තිබෙන ආසන්නයේ. රිලවුන්, වඳුරන් විතරක් නෙවෙයි මොණරු, මුවෝ ආදී සතුනුත් මේ ගම්මානවලට එනවා. කිසිම දෙයක් වගා කරන්න බෑ. ඒ සත්තු ඒවා කනවා. නමුත් අපිට කරන්න දෙයක් නෑ. අද ඊයේ නෙවෙයි මේ සත්තු ගමට එන්නේ. දැනට අවුරැදු 10ක 12ක ඉඳලා එනවා. දැන් එන්න එන්න වැඩියි. පායන කාලෙට කැලෑවේ වතුර නැති නිසා මුවෝ එනවා වැඩියි. අපි ඉතින් මුවන්ට වතුර භාජන තියනවා. ඒ අය ඇවිල්ලා වතුර බීලා යනවා. අපි කිසිම හිරිහැරයක් කරන්නේ නෑ.
ජී.එච්. නන්දාවතී (74) මහත්මිය
අපි මේ ගම්වලට ආපු මුල් කාලේ මේ රිලා, වඳුරු හිරිහැර කිසිම දෙයක් තිබුණේ නෑ. දැන් අවුරුදු දහයක, පහළොවක කාලයේ තමයි මේ හිරිහැර තියෙන්නේ. වඳුරෝ රිලව් 25 – 30 රංචු දැන් ගමට එනවා. එළවාගන්න විදියක් නෑ. අපිට කරන්න දේකුත් නෑ.
ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානයේදී අපට මුණගැසුණු ඩබ්ලිව්.එම්. ලක්ෂ්මන් බණ්ඩාර (48) මහතා කියා සිටියේ රිලවුන්ගෙන් සහ වඳුරන්ගෙන් ගමට එල්ල වී තිබෙන තර්ජනය කවුරුන් හෝ වළක්වා දෙනවා නම් එය ලොකුම පින්කමක් බවයි.
අපි කිසිම දෙයක් රජයෙන් ඉල්ලන්නේ නෑ. අපිට කරන ලොකුම උදව්ව, උපකාරය තමයි මේ රිලා, වඳුරු හිරිහැරය නතර කරලා දෙන්න. එපමණයි අපි ඉල්ලන්නේ. ඒක ලොකුම පිනක්.
අප රටේ පැරණිම අභයභූමියක් වන පොළොන්නරුව අභයභූමිය 1938 වසරේදී පමණ ප්‍රකාශයට පත් කරන ලද්දකි. එකල අක්කර දහස් ගණනකින් සමන්විතව පැවැති එය අද අක්කර දෙතුන් සීයයකට සීමා වී තිබේ. පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයද පිහිටා තිබෙන්නේ මේ අභයභූමිය තුළ වීම විශේෂිත තත්ත්වයක් වන අතර මෙහි කුරුළු වර්ග රාශියක් මෙන්ම රිලවුන්, වඳුරන්, මුවන් ඇතුළු වනසිවුපාවුන් ද රංචු පිටින් වාසය කරති.
ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානය පිහිටා ඇත්තේ මේ පුරාවිද්‍යා රක්ෂිතයට සහ අභයභූමියට යාබදවය. එම ගම්මානය ජනාවාස වීම පිළිබඳ ඉතිහාසය අභයභූමිය හෝ පුරාවිද්‍යා භූමිය තරම් ඈතට දිවෙන්නක් නොවේ. එය වසර 30 – 40ක් හෝ ඊට මඳක් පැරණි විය හැකිය. රිලවුන් සහ වඳුරන් ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානයට පැමිණෙන්නේ මේ පුරාවිද්‍යා බිමේ සිට බව ගම්මුන්ද අප සමඟ පැවසූ කාරණයකි. එමෙන්ම මේ දිනවල වන්දනාකරුවන් වැඩි වශයෙන් පොළොන්නරැව පූජාභූමිය වෙත නොපැමිණෙන නිසා එහි වෙසෙන රිලා, වඳුරු ආදී සතුන්ටද ආහාර හිඟයක් ඇතිවී තිබෙන බව සැබෑවක් බව අපට ද පැහැදිලි විය.
කෙසේ නමුත් රිලවුන් සහ වඳුරන් නිතර නිතර තම ගම්මානයට කඩාවැදී කරන හිරිහැර නිසා සිය ගම්බිම් හැර යාමට පවා සිදුව තිබෙන බවට ගම්මුන් කරනු ලබන ප්‍රකාශය ඉතා බරපතළය. එහෙයින් ඔවුන් විසින් ඉල්ලා සිටින වායු තුවක්කු හෝ එම ජනතාවට ලබා දී මේ රිලවුන් සහ වඳුරන් නැවත කැලෑවට පන්නා දැමීමට හැකි උපායක් කල්පනා කිරීම කෙරෙහි වගකිව යුතු සැමගේ අවධානය යොමුවිය යුත්තක් බව අපට ද හැඟී ගිය කාරණයකි.
කරුණාරත්න ගමගේ