2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

කාසියේ වාසියට තීන්දු වේන්න යන චොකා මල්ලිගේ මන්ත්‍රී පදවිය

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

මෙරට සක්‍රීය දේශපාලන පක්ෂ 15 මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනුණු 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය ආරම්භ වූයේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය. එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රීධූර දෙක ඒ වනවිටත් මැතිවරණ කොමිසමට දන්වා නොතිබූ හෙයින් මන්ත්‍රීවරුන් 223 දෙනකු පසුගිය 20 වැනිදාට පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දිවුරැම් දීමට නියමිතව තිබිණි. එහෙත් එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 220 දෙනකු පමණි. එජාප මන්ත්‍රී ආසනය සහ අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ආසනය හැරුණු විට එදින පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිසබයට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීය. එදින ඔහුට පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රිවරයකු ලෙස දිවුරැම් දීමට නොහැකි වූයේ ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නිසාවෙනි.

දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පසුගිය ජූලි තිස් එක් වැනිදා අමතක නොවන දිනයකි. එයට හේතුව වූයේ රටේම කතාබහක් ඇති කළ නඩුවක තීන්දුව ලබා දුන් බැවිනි. මෙම නඩුවේ විත්තිකරුවන් වූයේ එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමැති හා රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘‘චොකා මල්ලි’, සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරැණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ, වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාය.

ඔවුන් තිදෙනාට එරෙහිව තිබූ චෝදනාව වන්නේ 2015 වසරේදී පැවති ජනාධිපතිවරණය අතරතුර එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන සහභාගි වීමට සිටි කහවත්ත ප්‍රදේශයේ රැස්වීමකට වෙඩි තබා දෙමටගොඩගේ සුනිල් පෙරේරා ‍‍හෙවත් ශාන්ත දෙමටගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමය.

මෙම චෝදනාවට වරදකරු වූ චොකා මල්ලී ඇතුළු තිදෙනාටම රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මරණ දඬුවම නියමක කළේය. චොකා මල්ලීට දුන් මරණ දඬුවම පිළිබඳව සමාජයේ ආන්දෝලනයක් ඇති වූ‍යේ එතැන් පටන්ය. ඒ වනවිටත් ඔහු මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව සිටියේය. ඒත් මරණ දඬුවම හිමි වූ චොකා මල්ලී ඡන්දයට ඉදිරිපත් වීම ගැන මුලින්ම විරෝධය දැක්වූයේ සමගි ජන බලවේගයයි. මරණ දඬුවමට ලක්වූ ඔහුට පුරවැසිකම අහිමි වන නිසා ඡන්දය ඉල්ලිය නොහැකි බවත් සමගි ජනබලවේගය නිවේදනය කළේය. නමුත් ඒ කතාවන් පසෙකට දමමින් ඔහු රත්නපුරෙන් දියවන්නාවට පැමිණීම සඳහා අවශ්‍ය ටිකට් පත ඔහුට ලබාදීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කළහ.

කෙසේ නමුදු චොකා මල්ලි මෙදා සැරේ ඡන්දය පමණක් නොව 2015 මහ මැතිවරණ කාලයේ උන්නේ ද රක්ෂිත බන්ධනාගාරයේය. 2015 ඔහු හිරේ ඉඳන් ඡන්දය කර රත්නපුරයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට ගියේය. එදා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට හැකි වුවද මෙවර පාර්ලිමේන්තුවට ඒමට ඔහුට නොහැකිව ඇත්තේ ඔහු එල්ලුම්ගසට නියමව සිටින බැවින්ය.

ලබන 8 වැනිදා පැවත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සහභාගී කරවන ලෙස කථානායක මහින්ද යපා අබේවර්ධන බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට දන්වා තිබිණි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තමන් කටයුතු කරන්නේ නීතිපතිවරයා ලබාදුන් නීති උපදෙස් ප්‍රකාරව බවය. නීතිපති විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ මරණ දඬුවම හිමි වූ අයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් නැති බවය. එහෙත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා මනාප ලබාගත් ප්‍රේමලාල් ජයසේකර මේ වනවිට මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිගේ පාර්ලිමේන්තු අසුන පිළිබඳව සමාජයේ මේ වනවිට ගොඩනැගී ඇති කතාබහ පිළිබඳව අපි පාර්ශව කිහිපයකින් විමසීමක් කළෙමු.

අභියාචනය ගොනු කළාම තීන්දු අත්හිටවෙනවා

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා 

ප්‍රේමලාල් ජයසේකර පර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ වෙලාවේදී මේ නඩු තීන්දුව ලබා දීමක් සිදු වී තිබුණේ නැහැ. මේ නඩු තීන්දුව ප්‍රේමලාල් ජයසේකරට හම්බවෙන්නේ මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමෙන් අනතුරැව. මේ තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට ප්‍රථමයෙන් ඔහු අභියාචනයක් සකස්කොට අපරාධ නඩු විභාග සංග්‍රහ පනතේ 331 වගන්තිය ප්‍රකාරව අභියාචනයක් ගොනුකර තිබෙනවා. ඒ අභියාචනය ගොනුකළ වහාම ඒ තිබෙන තීන්දුව ක්‍රියාත්මක වීම අත්හිටවෙනවා. ඒක තමයි නීතියේ ක්‍රමවේදය.

ඒක තීන්දු කරන්න නීතිපතිට බලයක් නෑ

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායකාර

ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු එන්න බැහැ කියලා නීතිපතිවරයා කියලා තියනවා. ඒක තීන්දු කරන්නේ කතානායකවරයා සහ පාර්ලිමේන්තුව නීතිපතිවරයාට ඒක තින්දු කරන්න බලයක් නැහැ. නීතිපතිවරායට බලය තියෙන්නේ අධිකරණයේදී. අධිකරණයේදී ඔහුට පුළුවන් පෙනී සිටින්න හෝ නොසිටින්න. දැන් නීතිපතිවරයා පෙනී සිටින්නේ පැමිණිල්ල වෙනුවෙන්. ඒ අනුව තමයි ඔහුට මරණ දඬුවම දුන්නේ. ඒ තීන්දුව දැන් අභියාචනය කරලා තියනවා අභියාචනයේදීත් ඒ දුන්න තීන්දුව ස්ථිර කරන්න ඉතින් ඒක ඔහුගේ රාජකාරිය. දැන් අභියාචනයක් කරපු තැන ඉදන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරැ වීමේ තීන්දුව අත්හිටුවෙනවා. නීතියට අනුව අවසාන තින්දුව වෙන්නේ අභියාචනාධිකරණයේ තීන්දුව.
මරණ දඬුවම නිසා පාර්ලිමේන්තුවට එන්න බෑ

සමගි  ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසි බලය අහිමි වෙලා තියනවා. නමුත් ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. ඔහුට පාර්ලිමේන්තුවට එන්න මනාප ලැබිලා තිබුණා. නමුත් මරණ දඬුවම හිමි වෙලා තියන නිසා පාර්ලිමේන්තු එන්න බැහැ. නීතිපතිවරයත් ඒක පෙන්නලා දීලා තියනවා. නමුත් මේ රජය කටයුතු කරන්නේ කොහොම හරි මොහුව පාර්ලිමේන්තුවට ගේන්න. සරත් ෆොන්සේකා මහතා සිරගත වෙලා හිටියදී ඔහුට අවස්ථාවක් දුන්නේ නැහැ. දැන් ප්‍රේමලාල් ජයසේකරට දෙන්න හදනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව යම් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට නොදන්වා මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි වනු ඇත. කෙසේවෙතත් පාර්ලිමේන්තුවට තේරිපත් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවේද යන්න පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම මුළු රටේම ජනතාව බලා සිටින්නේ විමසිල්ලෙනි. යම් හෙයකින් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ප්‍රේමලාල් ජයසේකර හට අවසර නොලැබුණහොත් අවස්ථාව ලැබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාටය. එහෙත් මෙවර එයටද ගැටලුවක් මතුව ඇත්තේ පරාජිත ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ සම මනාප ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනකු බැවිනි.

ඔවුන් එක් අයෙක් වන්නේ රංජිත් බණ්ඩාරය. අනෙක් අපේක්ෂකයා වන්නේ සනි රෝහණ කොඩිතුවක්කුය. ඔවුන් දෙදෙනාම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද පනස් තුන්දහස් දෙසිය හැටඑකක් බැගින් ලබා සිටිති. 
යම් හෙයකින් ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවහොත් ඊළඟ අවස්ථාව හිමිවන්නේ කාටදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් අපි විමසීමක් කළෙමු.

යම් හෙයකින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි වුණොත් පරාජිත ලැයිස්තුවේ මුලින්ම ඉන්න අපේක්ෂකයට තමයි අවස්ථාව තියෙන්නේ. ඒ වුණාට රත්නපුර දිස්ත්‍රික්කයේ සම මනාප ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉන්නවා. මේ නිසා කුසපත් ඇදීමක් මගින් හෝ කාසියක් උඩ දැමීමක් මගින් තමයි මන්ත්‍රිවරයා තෝරාපත් කර ගන්න වෙන්නේ. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසයේ කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීමක් මේ වන තෙක් සිදු කර නැහැ.

 සටහන හසිත් අංජන